මේක රටක්ද? ටයිටැනික් නැවද? මහබැංකු අධිපති ඉල්ලා අස්වෙන බවට කරපු සංවේගජනක කතාව

මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සැප්තැම්බර් 14 වැනිදා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරලා. ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දීමට සැප්තැම්බර් 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.

තමන් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් තිබුණ රටක් බව සිහිපත් කළ ඔහු වැඩිදුරටත් කීවේ රට සංවර්ධනය සඳහා ලංකාවේ පක්ෂ දේශාපලනයට සැලසුමක් නැතැයි තමන්ට පෙනී ගිය බව. ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කිරීමේදී තමන් තිරය පිටුපස කාර්යභාරයක් ඉටු කළ බවත් ඔහු කීවා.

එහිදී ඔහු කරපු අදහස් දැක්වීම ඉතා තීරණාත්මක එකක් වුණේ ඔහුගේ සංවේගජනක ස්වරය සහ මේ තනතුරත්, ඒ පසුපස තිබෙන දේශපාලනයත් පිළිබඳ ඔහුගේ කතා විලාසයෙන්ම පෙනුණු ඛේදජනක තත්වය නිසා. ඔහුගේ ප්‍රකාශයෙන් ඍජුව කිසිවක් නොකීවත් ඉල්ලා අස්වීම පසුපස බරපතල සිදුවීම් තිබෙන බව පෙනුණා. ඒ වගේම ඉල්ලා අස්වීමට සිදුවීම සැඟවී ආපු ආශිර්වාදයක් බව ඔහු කෙළින්ම කිව්වා.

ඔහුගේ ස්වරය, පාවිච්චි කළ වචන එක්ක දැනෙන්නේ ටයිටැනික් නැවේ කපිතාන්වරයාට නැව ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී වගකීමෙන් ඉවත්වෙන්න ලැබුණ චාන්ස් එකක් ගත්තා වගෙයි.

දේශපාලන පක්ෂ භේද පැත්තකට දැම්මත්, මහබැංකු අධිපති වැනි තනතුරකින් නිලධාරියෙකු ඉවත් වෙද්දී මේ වගේ ප්‍රකාශයක් කරන තැනට රට ගමන් කිරීම ගැන අපි හැමෝම කණගාටු වෙන්න ඕනෑ.

ඔහුගේ ප්‍රකාශයෙන් කොටසක් මේ,

‘මා  අධිපති ධුරයේ වැඩ බාරගත් දිනට සතියකට දෙකකට පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතාගෙන් මහබැංකු අධිපතිධුරය බාරගන්නැයි ලද ඉල්ලීම ගැන මා විස්මයට පත් වූ අතර එය කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්වයක් වුණා.

මීට පෙරත් මා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ සිටි 2004 වසරේදී මහ බැංකුවේ අධිපතිධුරය බාරගැනීමට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළා මතකයි.

මෙවර කරන ලද ඉල්ලීමද මා එකහෙළා ප්‍රතික්ෂේප කළ විට යටත් පිරිසෙයින් වසරකටවත් ඒ පදවිය දරමින් ප්‍රතිපත්ති සම්පාදනයට මාද උදව් කළ ආණ්ඩුවකට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට මා අවසානයේ එකඟ වුණා.

එහි ප්‍රතිඵලයක් විදියටයි මා මහබැංකු අධිපතිධුරය බාරගෙන දෙවසරකටත් වැඩි කාලයක් ගතව ගියේ.

මෙම කාලයේදී මා විශ්වාස කළ මූල්‍ය හා ආර්ථික ප්‍රතිප්තති රාමුව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය මෙහෙයවීමට කටයුතු කරලා තියෙනවා.

මෙම තනතුරෙහිදී මෙම තනතුරේ කිසිම තිරණයක් මගේ හෘදය සාක්ෂියට විරුද්ධව කළ නැහැ. වසරක් බාරගන්නා සෙ ඉලලීම පරිදි බාරගත් මා වසර දෙකකටත් වැඩි කාලයක් තනතුරේ සේවය කිරීගෙන සිට මා තීරණය කරගෙන හිටියේ ලබන මාසයේ මගේ අසූ වැනි උපන්දිනයේදී විශ්‍රාම යෑමටයි. එහෙත් පසුගිය සතියක් හෝ දින දහයක් තුළ සිදු වූ සිත් රිදවන සිදුවීම් මගේ එම විශ්‍රාම යෑම් සති හයකින් පමණ ඉක්මන් කළා.

මම ලබන සතියේ 14 වැනි අඟහරුවාදා මෙම තනතුරෙන් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන බව ඔබට හා මහජනතාවට දැනුම්දීමටයි මේ අදහස් දක්වන්නේ.

මෙලෙස මා විශ්‍රාම ගන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ගෞරවණීය තනතුරකින්. මේ තනතුරේ ගෞරවය නොපිරිහෙලා ඉටු කිරීමට රෑ දවල් නොබලා වෙහෙස වී කටයුතු කරලා තියෙනවා.

එහෙත් අපගේ පාලනයෙන් බැහැරව පවත්නා බොහෝ ස්වාභාවික හා මානුෂීය බලවේග හේතු කරගෙන අප අපේක්ෂා කළ ප්‍රතිඵල හැමවිටම ඒ ආකාරයෙන්ම ලැබුණේ නැහැ.

එහිලා සඳහන් කළ යුතු ප්‍රධාන කරුණ 2020 මාර්තු මස සිට බලපැවැත්වෙමින් බලපෑ කොවිඩ්19 රැළි. බලපෑ මානුෂික හා ආයතනික කාරණාත් තිබුණා.

මේ දුෂ්කරතා මැද්දේ වඩා යහපත් ප්‍රතිඵල කළ යුතු ප්‍රතිපත්ති වෙනස්කම් ගැනත් හිතමින් මානසික පීඩනයෙන් ගත කළ දින ගණන් බොහෝයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙලෙස මහබැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම ගැන මා හා මගේ හිතවතුන් හිතන්නේ සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙසයි.’