’ආණ්ඩුවේ හාල් මෝල’- ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ආර්ථිකයේ පැත්තක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ද මීට පෙර සඳහනක් කළේය. දේශපාලන නායකයන් ඇතැමුන් මේ ගැන තර්ක කරන්නේ සීනි, හාල්, කිරිපිටි ඇතු`ඵ ආහාර තොග සඟවාගෙන සිටීම නීතිවිරෝධීය යන පදනමෙනි. එවැනි ස්ථාන වැටලීම, සඟවා ඇති තොග රජය භාරයට ගැනීම සහ ජනතාව සඳහා මුදාහැරීම යන අර්ථයෙන් මැදිහත්වීම කළ බව බැලූ බැල්මටම පෙනේ. සීනි තොග වටලන දර්ශනත් පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල්වලට රජයේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ නියෝජිතයන් යන දර්ශනත් පාරිභෝගික ජනයාට උණුසුමක් එක් කර තිබේ. මීට පෙර ද ආණ්ඩුව මේ ආකාරයේ වැටලීම් කළේය. බැලූ බැල්මට මේ සියල්ලෙන් ඉස්මතු වන්නේ ද ආර්ථිකමය කරුණුය. එහෙත් ඒ පසුපස දේශපාලනයක් තිබිය නොහැකිද? ඇතැමුන්ට ඇති පැනය එයයි.

ව්‍යාපාරිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය නම් සිය ලාභ උපරිම කරගත හැකි පරිදි තීන්දු ගැනීමය. ආනයනය කළ දේ අත්‍යවශ්‍යයෙන්ම වෙළෙඳපොලට මුදාහැරිය යුතු යැයි ලංකාවේ නීතියක් නැත. ඩොලරයේ හැසිරීම අනුව ඉදිරියේදී ආනයනවල මිල ඉහළ යනු ඇතැයි ඕනෑ කෙනෙක් උපකල්පනය කිරීම සාමාන්‍යය. එවැනි විටෙක ආනයන ඉක්මන් කිරීමට ව්‍යාපාරිකයෝ පෙළඹෙති. දුම්වැටි සඳහා අවශ්‍ය බීඩිකොල මෙන්ම උත්සව කාලවලට අවශ්‍ය ආහාර ඔවුන් මෙසේ කල්තියා ගෙන්වන දේට නිදසුන්ය. මේ අවස්ථාවේ තත්ත්වය ද තරමක් ඊට සමානය. එහෙත් මෙවැනි වසංගත අවස්ථාවක සමාජයකට ව්‍යාපාරිකයන්ගෙන් එවැනි හැසිරීමක් අපේක්ෂා කිරීමට නොහැකිය. ආණ්ඩුව ප්‍රමුඛ ලෙස අයුතු ලාභ ලැබිය නොහැකිය යන තර්කය ඉදිරිපත් කරන්නේ ඒ අනුවය.

පසුගිය මාස පහළොවක පමණ කාලයේදී ආහාරවල උද්ධමනය සෑම මාසයකම 12-15% ක අතර අගයක් දක්වා වැඩිවිය. එය සරලව කිවහොත් පසුගිය වසරේ සැප්තැම්බරයේ රුපියල් 100ට තිබූ ආහාර ද්‍රව්‍යක් මේ සැප්තැම්බරය වනවිට රුපියල් 112- 115ක් වීමකි. පුද්ගල ආදායම් මාර්ග කඩාවැටී ඇති තත්ත්වයක මෙසේ අයුතු ලාභ දීමට සමාජයක කිසිසේත් එකඟවන්නේ නැත. එනිසා රජයේ වැටලීම් කිසියම් ආකාරයකට සාධාරනීකරණයට හැකියාවක් ඇත. එහෙත් මේ වැටලීම් යනු මොනවාද? මේවායෙන් නැවත වටලන්නේ බදු අඩු කළ කාලයේ ආනයනය කළ සීනිය. එවිට ආණ්ඩුවෙන් මේ සීනි මිලදී ගෙන නැවත ජනතාවට දීමෙන් වෙනසක් නොවේ. ජාවාරම්කරුවන්ට ඒත් ලාභය. එය තවත් මෙසේ පැහැදිලි කළ හැකිය. ආණ්ඩුව වැඩට බැස්සේ සීනි මිල සීමාමායිමක් නැතිව ඉහළ ගිය පසුය. එහෙත් ලංකාවට ආනයනය කළ සීනි තොග සම්බන්ධයෙන් රජයේ දත්ත පවතී. ආණ්ඩුවට අවශ්‍ය නම් සොයාගැනීමට තිබෙන්නේ ඒවා ගබඩා කළ තැන් පමණි. එවිට ආණ්ඩුවට ක්‍රියාත්මක වීමට තිබුණේ ආරම්භයේදීමය. එසේ වී නම් රුපියල් 85.00 පාලන මිල එම අගයේම පවත්වාගෙන යන්නට තිබිණි. ආණ්ඩුව සීනි ගැන වැඩට බහින්නේ ගෑස්, පාන්, පිටි ආදී අනෙක් සියල්ල ඉහළ ගිය පසුය. එනිසා මගේ පළමු තර්කය නම් ආණ්ඩුව ගත් මේ තීන්දු අවංකද යන්න ප්‍රශ්නකාරී බවය.

දෙවැනි කරුණ නම් සහල් හා වී සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුවයි. මේ ගැන ද අප තරමක් පරෙස්සමින් බැලිය යුතුය. ආණ්ඩුවේ තීන්දුව ඉලක්ක වන්නේ දේශීය ව්‍යාපාරික පන්තියටය. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මුලින්ම වී වලට ගෙවන උපරිම මිල රුපියල 42.00 පමණ සිට රුපියල් 50.00 පමණ දක්වා ඉහළ දැම්මේය. වී වල උපරිම මිල ඉහළ දැමූ විට අනිවාර්යෙන්ම සහල් මිල ඉහළ යන බව ආණ්ඩුව නොදන්නවා නොවේ. සාමාන්‍යයෙන් වී වල මෙන් දෙගුණයක් සහල් කිලෝව සකසා අවසන් වනවිට මිල නියම වේ. ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100.00 ක පමණ මිලකට ඉහළ යන බව ආණ්ඩුව දනී. තෙල් මිල ඉහළ යාම සමග ප්‍රවාහන වියදම් ද ඊට අමතරව කම්කරු පිරිවැය ද එකතුවීමෙන් මේ අගය තවත් වැඩිවේ. මේ නිසා රුපියල් 98.00 ක පාලන මිලක් නියම කරනවිට ආණ්ඩුව මේ කරුණුවලට අවධානය යොමුකළේද යන්නත් ප්‍රශ්නයකි. ඒ අනුව කරුණු ගැන ගැඹුරින් නොබලා පාලන මිලක් දමා වැටලීම් කිරීමෙහි විය හැකි අහිතකර ප්‍රතිවිපාක ද වේ.

මෙරට සහල් වෙළෙඳපොලට ගුණාත්මක වශයෙන් විශාල වටිනාකම් කීපයක්ම එකතු වූයේ 1990 දශකයෙන් පසුය. ගල් වැලි නැති සහල්, වර්ගීකරණය කළ සහල්, කිලෝ පනහේ මිටිය කිලෝ දහයේ හා පහේ මිටි දක්වා සිල්ලර වීම ආදිය සිදුවූයේ ඒ සමගය. මහා පරිමාණ කර්මාන්තකරුවන් කළ මෙම අගය එකතු කිරීම් හමුවේ සෙසු මෝල් හිමියන්ට ද සිය පාරිභෝගිකයන් සඳහා වඩා ගුණාත්මක තත්ත්වයෙන් සහල් නිෂ්පාදනයට බල කෙරිණි. මා සිතන ආකාරයට මේ පාලන මිලෙන් සහල්වල ගුණාත්මකභාවයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකිය. අනෙක් කරුණ අදාළ වන්නේ කාර්මීකරණයටය. මෙම සහල් කර්මාන්තය නිසා පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල විශාල කාර්මීකරණයක් විය. එය කේන්ද්‍ර කරගෙන තවත් ව්‍යාපාරික පිරිසක් බිහි වූ අතර ඔවුහු වෙනත් ආයෝජනවලට ද යොමුවනු පසුකාලීනව දක්නට ලැබිණි.

ආණ්ඩුව මෙමගින් ආර්ථික වශයෙන් මැදිහත්වීමක් කරන බව කීව ද ඊට වෙනස් ආකාරයකට ප්‍රතිඵලදායී මැදිහත්වීමක් කළ හැකිය. එය මෙසේ විග්‍රහ කළ හැකිය. පාලන මිලට සහල් අවශ්‍යතාව තිබෙන්නේ පහළ ආදායම් ලබන හා දුප්පත් මිනිසුන්ටය. ආණ්ඩුවට තිබුණේ එවැනි පිරිස්වලට සහල් ලබාදෙන ක්‍රමයක් සැකැසීමටය. අද ඇතැම් මිනිස්සු බුලත් විටකට රුපියල් 50.00 ක් වැය කරති. එය සහල් කිලෝවක මිලෙන් අඩකි. ඒ අනුව ගොවියෙකුට බුලත් විටක් කෑමටත් වී කිලෝවක් විකුණාගැනීමට සිදුවේ. එනිසා සියලු දෙනාටම බලපාන ආකාරයේ මිල පාලනය යනු තේරුමක් නැති වැඩකි.

ලංකා ඉතිහාසයේ ආණ්ඩු මාරු කාල පරිච්ඡේදවලදී වැඩියෙන්ම බියට පත්වන්නෝ ව්‍යාපාරිකයෝය. ඒ අලුත් ආණ්ඩුව සමග සිදුවන වෙනස්කම් දේශපාලනික නිසාය. ජේ.ආර් ජයවර්ධන බලයට පත් වූ විටදී සිරිමාවෝට උදවු කළ ව්‍යාපාරිකයන්ට යන එන මං නැති විය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග පාලනය ආරම්භ වූයේත් ඒ සන්තෑසියටම එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වූ ව්‍යාපාරිකයන් තල්ලු කරමිනි. මේ නිසා බොහෝ දෙනෙක් පක්ෂය මාරු කළහ. පසුකාලීනව පක්ෂ දෙකටම හොර රහසේ හෝ ප්‍රසිද්ධියේ උදවු කරන පිළිවෙතක් අනුගමනය කරන්නට ඇතැමුන් පෙළඹුණේ ද මේ කරදරයෙන් බේරෙන්නටය. සහල් සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ මේ ආලය ගැන සැකයක් ඇතිවෙන්නේ මේ පරිසරයෙහිය.

පොළොන්නරුවේ සහල් රාජධානිය හිමි සිරිසේනලා යනු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නෑයෝය. පැවැති පාලන කාලයේ හිටපු ජනාධිපතිවරයාට දේශපාලනික වශයෙන් විශාල හයියක් වූවෝය. ඒ අනුව පොළොන්නරුවේ මේ ආර්ථික රාජධානිය බිඳවැට්ටවීම කිසියම් ආකාරයකට මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙන දේශපාලන කණ්ඩාමට ද එල්ල කරන වක්‍ර ප්‍රහාරයකැයි කෙනෙකුට සාධාරණ සැකයක් මතුවිය හැකිය. අනෙක් අතට ආර්ථික හෝ දේශපාලනික ප්‍රවේශයකින් වුව මේ අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා ඇතැම්විට බිඳවැටෙනු ඇත්තේ දේශීය ව්‍යාපාරික පන්තියයි.

දේශපාලන ආර්ථික විද්‍යාවේ පැත්තෙන් බැලුවොත් ඕනෑම පාලක පන්තියක් දේශපාලන මෙන්ම ආර්ථික බලය ද එකට ගොනුකරගැනීමට මාන බලන බව අපි දනිමු. දේශපාලනයෙන් තොරව ආර්ථිකයක්වත් ආර්ථිකයෙන් තොරව දේශපාලනයක්වත් නැති ලංකාව වැනි රටවලට මේ තත්ත්වය වඩාත් බලපායි. මේ නිසා දේශපාලන හයියත් ආර්ථික හයියත් එකිනෙකට ප්‍රතිබද්ධව පවතී. ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන සංස්ථාව ද ඊට නිදසුනක් ලෙස ගතහැකිය. ඔවුන් මතවාද බිහිකළත් ඊට ප්‍රමුඛ වන්නේ ඔවුන් විසින් මෙහෙයවනු ලබන පසුබිමේ ඇති ව්‍යාපාරයි. ඔවුන් සිය මාධ්‍ය ආයතන මෙහෙයවන්නේ සිය ව්‍යාපාරික අභිලාශයන්ට හානියක් කරගන්නේ නැතිවය. සිය දේශපාලනික හයිය තිබෙන්නේ ආර්ථික හයිය තිබෙනතුරු පමණක් බව ඔවුහු දනිති.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති බොහෝවිට ක්‍රියාවට නැගෙන්නේ දේශපාලනය පදනම් කරගෙනය. එහෙත් බැලූ බැල්මට එය පෙනෙන්නේ නැත. සීනි ආනයන බද්ද සත ගණනට බැස්සීම ඊට ආසන්නම එක් උදාහරණයකි. බදු අඩු කළ අවස්ථාවේ එය ඒ තරම් මහජන අවධානයට ලක්වුණේ නැත. එහෙත් ඉන් උපරිම ප්‍රතිලාභ ගත්තේ කවුදැයි දැන් රටම දනී. ඇන්ටිජන් කට්ටල ගෙන්වීම තවත් ආසන්න උදාහරණයකි. ඒ උදවුව කුමක් වෙනුවෙන්දැයි කවුරුත් දනිති. කෙසේ වෙතත් ආණ්ඩු දේශපාලනික කෝණයෙන් බලා ආර්ථික තීන්දු ගැනීම සෑමවිටම බල ව්‍යාපෘතිවලට වුවත් සුබදායක වන්නේ නැත. එසේ පාඩම් ඉගෙනගත් අවස්ථා ද ඉතිහාසයේ තිබේ. එනිසා අතීතය දෙසත් බලා මේ මොහොතේ උද්ගතව ඇති ප්‍රශ්නවලට ආර්ථික විද්‍යාත්මක පිවිසුමකින් විසඳුම් සොයන්නට හැකි නම් එය සෑම ආකාරයකින්ම ආණ්ඩුවටත් රටටත් යහපතට හේතු වනු ඇත.

කතාබහ- බිඟුන් මේනක ගමගේ