ආරක්ෂක අංශවලට පැහැරගැනීම්, වධහිංසා, දූෂණ චෝදනා ඇතුළත් අලුත්ම වාර්තාවක් ඇවිත් (PDF)

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තවමත් තරුණ දෙමළ ජාතිකයන් විවිධ විරෝධතාලට, සැමරුම්වලට සහභාගී වූ බව කියමින් පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම සහ දූෂණය කිරීම සිදු වන බව දරුණු චෝදනා ගණනාවක් එල්ල කරමින් සැප්තැම්බර් 08 වැනිදා ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන් වාර්තාවක් නිකුත් කරලා.

2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වුණාට පස්සේ එවැනි සිදුවීම්වලට මුහුණදුන් අවස්ථා පිළිබඳ සිදුවීම් 15ක තොරතුරු පවා මේ වාර්තාවේ සඳහන්. පී2පී නමින් හැඳින්වූ නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට ගිය පාගමනට සහභාගී වූ අයට පවා එවැනි අත්දැකීම්වලට මුහුණදීමට සුදු වූ බව ඒ වාර්තාවේ සඳහන්. හය දෙනෙකු සුදුවෑන් මගින් පැහැරගෙන ගිය බවත් ප්‍රකාශ කරලා.

පහරකෑමට ලක් වූ ඇතැම් අය යට ඇඳුම පිටින් තුවාල සහිතව බිම වැටෙන්නට දමා තිබුණු බවත්, ලේ සහ ඇඟ මත වැටුණු ශුක්‍ර පිස දමන්නට රෙදි කැබැල්ලක් පමණක් තිබුණ බවත් ඒ වාර්තාවේ සඳහන්. දෙමළ වීම පදනම් කරගත් දරුණු වාචික හිංසනයකට ඇතැම් අය මුහුණදුන් බවත් කියා තිබුණා.

කෙසේ වෙතත් මේ වාර්තාවේ තියෙන්නේ රාජපක්ෂ සමයේ කතා විතරක් නෙවෙයි. ‘යහපාලන’ ආණ්ඩුව කාලයේ් දරුණු සිදුවීම් සිදු වූ බව ඒ වාර්තාවේ සඳහන්.

අයිටීජේපී හෙවත් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ සංවිධානය මානව හිමිකම් නීතිවේදිනී යස්මීන් සුකා මහත්මිය විධායක අධ්‍යක්ෂ ධුරය දරන සංවිධානයක්. පුද්ගල ප්‍රකාශ පදනම් කරගනිමින් ඉතාම බරපතල ගණයේ චෝදනා ශ්‍රී ලංකා රජයට මෙම සංවිධානය මීට පෙරත් එල්ල කර තිබෙනවා.

මෙම කරුණු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරනු ඇති.

මීට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ පුද්ගලයන්ට වධ දීම පිළිබඳ චෝදනා කරමින් ඇමෙරිකාවේ නඩු පැවරීමට පවා එම සංවිධානයේ කරුණු පදනම් කරගෙන තිබුණා.

මේ වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු පුද්ගල ප්‍රකාශ මත පමණක් පදනම් වූ කරුණු බව පැහැදිලිව කිව යුතුයි. මේවා පිළිබඳ විධිමත් අපරාධ විමර්ශන සහ නඩු විභාගයක් සිදු නොවී මේ සිදුවීම් ඇත්තටම සිදු වුණාදැයි කියන්න අමාරුයි. එහෙත් මෙවැනි ආයතනවලින් ඉදිරිපත් කරන ලද කරුණුවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙනවා.

එවැනි පසුබිමක ජිනීවාවලදී මෙවැනි සිදුවීම් ගැන චෝදනා මතු වුණොත් හුදෙක් මේවා ප්‍රතික්ෂේප කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ. මේ චෝදනාවලින් රජයේ ගෞරවයට තවත් හානි විය හැකියි. විශේෂයෙන් එදිනෙදා අප දකින පොලිස් වධහිංසන සිදුවීම් නිසා උක්ත චෝදනාවලට විශාල පදනමක් ලැබෙනවා. ආණ්ඩුව පවා දැඩි මර්දනකාරී රාමුවක ක්‍රියාත්මක වීමෙන් ඔය චෝදනා ශක්තිමත් වෙනවා.

එම නිසා මෙවැනි චෝදනා ගැන විධිමත් සහ සාධාරණ නඩු විභාග කර, චෝදනාවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීමෙන් පමණයි අපට චෝදනාවලින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ.

වාර්තාව මේ ලිපිනයෙන් බලන්න