මහින්ද ජීඑල් ඉතාලි ගිහින් පාප්තුමාටත් බොරු කියන කූඨ උපක්‍රමයක්ලු! කාදිනල් හිමිගෙන් දරුණුම ප්‍රහාරයක්!

කාදිනල් මැල්කම් රංජිත් හිමි සැප්තැම්බර් 08 වැනිදා බිෂොප් හවුස් හෙවත් එහිමියන්ගේ නිල නිවාසයේ හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් එදින ඩේලි මිරර් පුවත්පතේ තිබුණ පුවතක් ගැන දරුණු විවේචනයක් එල්ල කළා. සිරිල් ගාමිණී පියනම ප්‍රමුඛ කතෝලික සභාවේ ඉහළ හිමිවරුන් පිරිසක් එයට සහභාගී වී සිටියා.

එතැනදී කාදිනල් හිමි කී වැදගත්ම කාරණය තමයි ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත වතිකානයෙන් ලංකාවේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු නොවෙන බවත්, එයට අදාල කරුණුත් දැනුම්දීමට නියමිත බව.

එහිමියන්ගේ ප්‍රකාශය මේ,

‘සත්‍ය්‍ය යටගැසීමේ කුමන්ත්‍රණය ඉතාමත්ම සූක්ෂම ලෙස ඉදිරියට ගෙනයෑමේ ක්‍රියාදාමයක් අපට පෙනෙන්නට තියෙනවා. එය මෙහෙයවන්නේ වර්තමාන රජයයි. ඒ නිසා අපි මේ විශේෂ මාධ්‍ය ප්‍රකාශය කිරීමට තීරණය කළා. මේ ඩේලි මිරර් පුවත්පතේ අද පළවැනි පිටුවේ සඳහන් වෙනවා පුවත්පත් දැන්වීමක්. (ලිපියක්.)

අගමැතිවරයා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන සමුළුවකදීත්, පසුව වතිකානයට ගිහින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැහිලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.

එයාලා කරගෙන යන වැඩපිළිවෙලක් ගැන. රජයෙන් ක්‍රියාත්මක කරන වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමේ වැඩපිළිවෙලක් සහ මේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච අයට සහන සහ උදව් පදව් පිළිබඳ විස්තර කිරීමක් කරන්න යනවා කියලා දාලා තියෙනවා ඒ වාර්තාවේ.

ඒ ගමනට අපේ ජනතාවගේ බදු මුදල් යොදවා මේ අය යන්නේ මොනවටද? අගමැතිතුමාත් විදේශ කටයුතු ඇමතිතුමාත් ඔවුන් සමග යන කණ්ඩායමත් මේ යන ගමන අපි ප්‍රයෝගකාරී ගමනක් ලෙස හඳුන්වනවා. ඒ යන ගමන මම තරයේම හෙළා දකිනවා.

ඒ යන ගමන ගිහිල්ලා ඒගොල්ලන් උත්සාහ කරන්නේ සත්‍යය යටගැසීමේ ක්‍රියාදාමයක්. විදේශීය රටවල් පවා, ඒ වගේම ශුද්ධෝත්තම පාප් වහන්සේව පවා නොමඟ යවන්නට බොරු කියලා යුක්තිය අපට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදියට හැමදේම කරමින් සත්‍යය යට ගහන්නට මේ රජය ගෙනියන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්තිවෙන්නේ.

ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමාත් ඒකට සහභාගී වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා.

අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් තමයි රජය වෙත යොමු කළේ. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක මහජනතාව ඉතාම ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් වේවි කියා බලා සිටියා. දැන් අපව තල්ලු වෙනවා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට මේගොල්ලන් යන්න තීරණය කරන නිසා, අපේ තත්වය මොකක්ද කියලා ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට.

අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම්දීලයි තියෙන්නේ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණ යටගහන උත්සාහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට උත්සාහ කිරීමක් අපට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා.

ඒ නිසා අපි මේ අවස්ථාවේ ලාබාල ප්‍රයත්නය හෙළා දකිනවා. විදේශ ජනතාව බොරු කියමින් නොමග යවන්නට.

අපි මේ අයට පැහැදිලිවම කියා සිටියා ජනාධිපතිතුමාට ජුලි මාසයේ 12 වැනිදා දිනය දරන ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් අපට ඒකට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මඟහැරලා යන පිළිතුරක් අපට ලැබුණේ.

ජාත්‍යන්තරයත් රවට්ටන්න අපට ඉඩ දෙන්න බෑ. රජය ජාත්‍යන්තරයට යනවානම් අපිත් යනවා. අපටත් වෙන විකල්පයක් නෑ.

මේ සම්බන්ධව අපි වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදරිපත් කරලා තිබුණා කලින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගේ මාර්ගයෙන් අපේ මේ දුක් ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නට සූදානම් කියලා.

අපට තියෙන්නේ ඒ කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. රජය මේ තීන්දුව ගත්ත නිසා අපට වෙන මාර්ගයක් නැහැ.’