වැලිකඩ බන්ධනාගාර හිස්වන ඉඩමට සුපිරි හෝටලයක් … අක්කර 35 ක් ගන්න දැනටමත් ආයෝජකයන්

වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 40ක බන්ධනාගාර භූමියෙන් අක්කර 5ක් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

බන්ධනාගාර භූමියේ ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් පිහිටා ඇති භුමී ප්‍රමාණය ඒ සඳහා වෙන්කර ඇත.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයාබැලීමට සූම් තාක්ෂණය ඔස්සේ සාකාච්ජාවක් සැප්තැම්බර් 06 වෙනි දින පවත්වා තිබුණි.

මීට අමතරව  වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කර ඇති අතර ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එම ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා ඇත.

රුපියල් බිලියන 30ක් වැයවන එම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත අතර රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදුනොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ඊට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසා ඇත.

මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා ඇත.

දැනට කැමැත්ත පළකර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.