නැගෙනහිර වැලි මාලදිවයිනට පටවන ජාවාරමක් රාසමානික්කම් හෙළි කරයි..

එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා  නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාණක්‍ය  රාසමානික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 07 වෙනි දින පැවසීය.


මෙම ජාවාරමට සම්බන්ධවී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු බවත් වැලි පටවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත්  හෙතෙම සඳහන් කළේය.

වියත්මග සංවිධානය නියෝජනය කරමින්  පැමිණි ආණ්ඩුකාරවරිය  ඊට සහයෝගය දෙන බවත්  මන්ත්‍රීවරයා පැවසීය.

මෙම වැඩපිළිවෙළ හරහා  රටට ඩොලර් එන්නේ නම්  එය ගැටලුවක් නැති බවත්   රටට ඩොලර් නොඑන බව  තමාට දැනගන්නට ලැබුණු බවත් ඒ මහතා පැවසීය.

මේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි රාසමානික්කම්  මන්ත්‍රීවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් දැක් වු අතර ඔහු මෙසේ පැවසීය.

“කිසිම ප්‍රශ්ණයකට රජය උත්තර නොදී පැනලා යන්නේ නැහැ. මේ ගැන බලන්න අදාල විෂයභාර අමාත්‍යවරයාට අපි දැනුම් දෙන්නම්.ඇත්තටම මම චාණක්‍ය මන්ත්‍රීවරයා ගැන කනගාටු වෙනවා. මෙතුමාගේ මේ සියලුම කයිවාරු තියෙන්නෙ මාධ්‍ය ඉදිරියේ විතරයි.”