‘ඉඩ මදි’ කියමින් විදේශ අමාත්‍යාංශය ඓතිහාසික බිල්ඩිමෙන් දොට්ට! කැබිනට් අනුමැතිය

  • පෝට් සිටි ළඟ තවත් වටිනාම ගොඩනැගිල්ලක්
  • සෙලෙන්දිවා සමාගමෙන් විකුණනවායැයි චෝදනා එල්ල වූ ගොඩනැගිලි අතර මේකත් තියෙනවා.
  • ජනරජ ගොඩනැගිල්ල නමින් හඳුන්වන ඓතිහාසික ගොඩනැගිල්ලක් මේ. ඉස්සර සෙනෙට් සභාව හිටපු තැන.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අංශ කිහිපයක් සඳහා ප්‍රධාන කාර්යාලයේ ඉඩකඩ නොමැති වීම නිසා, ඒ වෙනුවෙන් ඉඩකඩ සහිත නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා.

දැනට විදේශ අමාත්‍යාංශය තිබෙන ජනරජ ගොඩනැගිල්ල මෙරට ඉතා වටිනා ඉඩම් අතරින් එකක්. පෝට් සිටිය අවට කොටුව ප්‍රදේශයේ ඉඩම් රැසක් මෙවැනි විවිධ හේතු මත හිස් වෙන බව මෑත කාලයේ දකින්නට ලැබුණා. තවත් ඉඩම් බොහොමයක් හිස් වීමට නියමිත බව ආරංචි වුණා.

ඊට අමතරව සෙලෙන්දිවා සමාගම හරහා මේ ඉඩම් විකිණීමට නියමිත බවත් වාර්තා වෙනවා. පෝට් සිටිය ඉදිවෙන්නේත් මේ අවට.

අද ෂැංග්‍රිලා හෝටලය තිබෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලෙන් ඒ අමාත්‍යාංශය ඉවත් කරනු ලැබුවේත් ‘ඉඩකඩ ඇති පුළුල් ගොඩනැගිල්ලක්’ වෙනුවෙන් බව කියමිනුයි.

කැබිනට් තීන්දුව මෙහෙමයි.

‘දැනට විදේශ අමාත්‍යාංශය පවත්වානෙ යනු ලබන ජනරජ ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ අංශ කිහිපයක් ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව වෙනත් ස්ථානවල පවත්වාගෙන යනු ලබයි.

ඒ හේතුවෙන් විවිධ පරිපාලනමය ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇත. එසේම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් විදේශ අමාත්‍යාංශය සඳහා ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය සතු විද්‍යා මාවතේ පිහිටි දැනට කාර්මික තාක්ෂණ ආයතනය විසින් භාවිත කරනු ලබන ඉඩමෙන් වෙන් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.’

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි ගොඩනැගිල්ල ගැන ඇති සටහන මේ.

‘විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට නිවහන වී ඇති ජනරජ ගොඩනැඟිල්ල, කොළඹ වරාය ආසන්නයේ, ජනාධිපති නිල නිවසට යාබදව පිහිටා ඇත. 1972 වසර දක්වා මෙම ගොඩනැගිල්ල සෙනෙට් ගොඩනැඟිල්ල ලෙස හඳුන්වනු ලැබීය.

මෙම ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රයෝජනය සඳහා ගොඩනංවන ලද අතර 1930 වසරේ ව්‍යවස්ථාදායක සභාවේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් විවෘත කරන තුරු ම මෙම ගොඩනැඟිල්ල ව්‍යවස්ථාදායක සභාව විසින් භාවිතා කරන ලදී. යටත් විජිත සමයේ දී  රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවකට මෙම ගොඩනැඟිල්ල සෙවණ සැලසීය.

1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසුව, මෙම ගොඩනැඟිල්ල ලංකා සෙනෙට් සභාව, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතන සඳහා නිවහන බවට පත්විය. 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව මෙම ගොඩනැඟිල්ල ජනරජ ගොඩනැඟිල්ල  යනුවෙන් නම් කරනු ලැබිණි.

1977 වසරේ දී  විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය, අමාත්‍යාංශ දෙකක් ලෙස වෙන් වූ තැන් පටන් ගොඩනැඟිල්ල විදේශ කටයුකු අමාත්‍යාංශය වශයෙන් භාවිතයට ගැනිණි. වර්තමානයේ  දී මෙම ගොඩනැඟිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට සෙවණ සලසයි.’

එදා සිතුවමක් (මූලාශ්‍රය- විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය)