බැසිල්ගේ පළමු පාර්ලිමේන්තු කතාවේදී ආර්ථිකයේ ඇත්තම පිළිගනී! විපක්ෂයෙනුත් පැසසුම්!

සැප්තැම්බර් 07 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ පළවැනි පාර්ලිමේන්තු කතාව කළා. ඒ පනත් දෙකක් ඉදිරිපත් කරමින්.

එහිදී ඔහු විවෘතව සහ අවංකව රටේ ආර්ථික තත්වය ගැන කතා කළා. දැන් පවතින තත්වය ගැන විවෘතව කතා කිරීමත්, කලින් ආණ්ඩුවට චෝදනා කිරීමත් මේ කතාවේ විශේෂ තත්වයක්. රටේ ආර්ථිකය ගැන ඉතාම පුළුල් චිත්‍රයක් ඔහුගේ කතාවෙන් ලබාගත හැකියි. විශේෂයෙන් අජිත් නිවාඩ් කබ්රාල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ෂෙහාන් සේමසිංහ වැනි බොහෝ අය පිළිනොගන්නා ආර්ථිකයේ ඇත්ත තත්වය ඔහු පිළිගත්තා.

ඩොලරයේ අගය හිතාමතා බැංකුවලින් පාලනය කිරීම නිසා ඇති වූ තත්වය වන විදේශ රටවල ඉන්න ලාංකිකයන් විධිමත් ක්‍රමවලින් ලංකාවට සල්ලි එවීම අඩු වුණා. සල්ලි එවීම අඩු වූ තත්වය බැසිල් රාජපක්ෂ මහතා පිළිගත්තා.

ඉදිරියේදී ණය රෝල්ඕවර් නොකරන බවත් ඔහු කීවා. අනවශය ව්‍යාපෘති නොකරන බවත්, රටේ ස්වෛරීත්වයට හානිකර ණය නොගන්නා බවත්, ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව වැනි ආයතනවලින් විතරක් ණය ගන්න බවත් කීවා. (මීට කලින් රාජපක්ෂ ආණ්ඩු කාලවලදී තමයි එහෙම නැතිව චීනය වගේ රටවලින් ද්විපාර්ශ්වීය ණය ගොඩක් ගත්තේ.)

බැසිල් රාජපක්ෂ මහතාගේ කතාවෙන් පස්සේ කතාව පවත්වපු සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විවෘතව කරුණු කීම ගැන අගය කිරීමත් විශේෂයි. කෙසේ වෙතත් මේ කතාවත් එක්කම බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පනත් දෙකෙන් එකක් වන්නේ කළු සල්ලි සුදු කිරීමට ඉඩ ලැබෙන බව චෝදනා එල්ලවෙන ‘මුදල්’ පනත. හර්ෂ ද සිල්වා මහතා තමන්ගේ කතාවේදී පෙර කී කතාව අගය කළාට පනත ගැන නම් දැඩි විවේචනයක් ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යවරයාගේ කතාවේ විශේෂ කොටස් ටික මේ,

‘මේ වෙලාවේ මට මතක් වෙන්නේ පරණ කියමනක්.

වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ළිදේ පනිදාය වැටුනොත් ඌ කාය.

අතකින් කරවැලකි අතකින් දඩු බෑය

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය.

මේකෙන් මම සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව සමස්ත ජනතාවත් මුහුණපාලා තියෙන තත්වය සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි මුළු ලෝකයම වැළඳගෙන තියෙන මේ කොවිඩ් වසංගතය නිසා සමස්ත ශ්‍රී ලංකාව ජනතාවත් රටත් ආර්ථිකයත් මේ සියල්ල තුළ මුහුණපාලා තියෙන තත්වයත්, ඒ සමගම ඊට අමතරව අපි දන්නවා අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණපාන්න වෙලා තියෙනවා.

ඒ වගේම දේශීය මුදල් අතිනුත් මහා භාණ්ඩාගාරයත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාලා තියෙන වෙලාවක ඒ සඳහා විසඳුම් හොයන්න මං හිතන්නේ මේ අවස්ථාවේදී සමස්ත රජය හැටියට පමණක් ක්‍රියා කරනවා වගේම වගකිවයුතු සෑම දෙනෙක්ම මේ සඳහා විපක්ෂයත් සහයෝගය ඇතිව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා.

අපි දන්නවා අපි සූදානම් වෙන්නේ නැහැ මෙවැනි අති අමාරු අවස්ථාවක තනියෙන් මේ ප්‍රශ්නය විසඳන්න හෝ දේශපාලන වාසි ගැනීම සඳහා විපක්ෂයට හෝ වෙන කාටවත් දොස් කියන්න අපි සූදානම් වෙන්නේ නැහැ.

නමුත් අපි දන්නවා අද මේ ගැටලුව කොවිඩ් වසංගතය තුළින් උග්‍ර වෙලා තියෙනවා වගේම මේක කාලයක් තිස්සේ අපේ මුළු සමස්ත ආර්ථික තත්වය තුළ ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම අපි දන්නවා රටේ ආදායම අභිබවලා රටේ වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා.

අපි දන්නවා අපේ රටට ලැබෙන ආදායම රටේ වියදම එක්ක බැලුවොත් ඉතා අඩු මට්ටමක තියෙන්නේ.

ඒ තුළ අපට හැකියාව තියෙනවා, අපි දන්නවා සමහර අවස්ථාවල නාස්තිය, දූෂණය, අනවශ්‍ය වියදම තියෙන බවත් අපි පිළිගන්නවා.

ඒක එක කාලයක, එක වකවානුවක නෙවෙයි කාලයක් තිස්සේ සිද්ධවෙච්ච දෙයක්. අපි උත්සාහ කරනවා වියදම අඩු කරන්න පුළුවන් හැම අවස්ථාවකම ඒ කටයුත්ත කරන්න.

ලැබිය යුතු ආදායමත්, රජයට ලබාගත හැකි ආදයමත් අඩු වෙලා තියෙනවා.

කොවිඩ් වසංගත කාලය තුළ මේ වර්ෂයේ පමණක් අද වෙනකොට අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500ත්- 1600ත් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා නිශ්චිත ආදායම ලැබෙන අපි තක්සේරු කරපු ප්‍රමාණයටත් වඩා.

ඒ කියන්නේ ඔබ දන්නවා ප්‍රධාන මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන තුනකින් අපට ආදායම ලැබෙනවා. එක ආදායමක් තමයි රේගුව. රේගුවෙන් අපට ආදායම එන්නේමේ රටට ගෙන්වන බඩුවලින් තමයි වැඩියෙන්ම ආදායම එන්නේ. එහි ප්‍රධානම ආදායම් මාර්ගය ලැබුණේ වාහනවලින්.

අවුරුදු එකහමාරක් පමණ ඉඳලා වාහන ගෙන්වීම නතර කරලා තියෙනවා. ඒ සඳහා ගෙන්වන්න විදේශ විනමය සොයාගන්න අපහසු නිසා. ඒ නිසා රේගුවෙන් ලැබෙන ආදායම වෙන කවදාටත් වැඩිය මේ වර්ෂයේ අඩු වෙලා.

අපට ලැබෙන අනෙක් ආදායම තමයි අපේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක, එහෙම නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම. ඔබ දන්නවා සුරා විකිණුවේ ලොක්ඩවුන් නැති වෙලාවට පමණයි. ඒ කාලය තුළ අපට සම්පූර්ණයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වෙනවා. සංචාරක ව්‍යාපාරය අඩු වීමත් එක්ක ඒ ආදායමත් අපට අඩු වෙලා තියෙනවා. ඒ තුළ ආදායම අඩු වීම විතරක් නෙවෙයි, ඒ තුළින් ජනතාව නීතිවිරෝධී මත්පැන් පානය සඳහාත් විශාල ලෙස යොමුවීම නිසා සුරාබදු පනතේ එම දෙපාර්තමේන්තුවට ප්‍රධාන කාර්යයන් දෙකක් පවරලා තියෙනවා. එකක් ජනතාවට ලැබෙන ආදායම ලැබීම, ජනතාවට සෞඛ්‍ය හිතකර මත්පැන් ලැබීමට පහසුකම් සැලසීම. ඒ අනුව තමයි නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර වටලන්නේ.

තුන්වැනියට ආදායම ලැබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. වැරදිද හරිද කියන එක කෙසේ වෙතත් වැඩියෙන්ම ලැබෙන්නේ ඍජු ආදායම් බදුවලට වඩා වැට් වැනි වක්‍ර බදුවලින්. එය එසේ විය යුතුද නැද්ද කියන එක විවාදාත්මකයි. ඒක තමයි යථාර්තය.

ඒක යම් අවස්ථාවක වෙනස් කරන්න හැකියාවක් ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒකට උත්සාහ ගත යුතුයි.

මේ වර්ෂයේ ඉලක්ක කරපු වැට් ආදායම, අපි දන්නවා දවසක් ලොක්ඩවුන් කළාම කඩ වැහෙනවා. බඩු විකිණෙන්නේ නැහැ. අපට වැට් එක එන්නේ නැහැ. වැට් ආදායම සාමාන්‍යයෙන් මේ එක දවසක සීයට 75-80 විතර ප්‍රමාණයකින් අඩු වෙනවා.

අපි මේ සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන තුනක ආදායම අඩුවෙච්ච ආකාරය.

අනෙක් පැත්තෙන් වියදම මේ ආකාරයට අඩු වෙලා නැහැ. අපි දන්නවා වියදම වැඩි වීමක් වෙනවා.

හිටපු අගමැතිතුමාත් ඇහුවා වැක්සීන් සඳහා වියදම් කරන ප්‍රමාණයත්, ඒවායින් කෙතරම් ප්‍රමාණයක් නොමිලයේ ලැබුණාද කියන එක.

මට වගකීමෙන් කියන්න පුළුවන් අපට ලැබුණ වැක්සීන්වලින් සීයට අසූවක් පමණ ලැබුණේ සල්ලිවලට. ඒවාට මුදල් ගෙවීමක් සිද්ධවෙනවා. සිද්ධවෙලාත් තියෙනවා. ඉදිරියට ඒවා ගෙවන්න වෙනවා.

විවිධ වර්ගයේ බෙහෙත්, උදාහරණයකට ඔක්සිජන් වගේ එකක් භාවිතය දෙගුණයකින් වැඩි වුණා.

ඒ සඳහා විශාල අතිරේක වියදමක් ගිහිල්ලා තියෙනවා. වසංගතය නිසා අතිරේක වියදම වැඩි වෙලා.

අතිරේක සේවකයන්ට දෙන දීමනා වැඩි කරලා තියෙනවා. වැඩි දීමනාවක් ගෙවන්න වෙලා. කිසිම වැටුප් අඩු කිරීමක් කළේ නෑ. දීමනා අඩු කිරීමක් කළේ නෑ.

වියදම් පැත්තෙන් හැම ක්ෂේත්‍රයකම වැඩි වීමක් මිසක් අඩු වීමක් වෙලා නෑ.

ආදායම අඩු වෙලා තියෙනවා. වියදම වැඩිවෙලා තියෙනවා.

මේ නිසා අපි නව මාර්ගවලට යමු.

විදේශ විනිමය තුළත් එවැනිම අර්බුදයකට පත් වෙලා. අපි දන්නවා විදේශ මුදල් ලැබිච්ච ප්‍රධාන මාර්ග කිහිපයක් තිබුණා. එක මාර්ගයක් තමයි අපේ සංචාරක ව්‍යාපාරයෙන් අපට ඇමෙරිකන් ඩොලර් බිලියන 4 සහ 5 වැනි අතිරේක ආදායමක් ලැබුණා. එය සම්පූර්ණයෙන් ගිය මාර්තු මාසයෙන් පස්සේ ඇණහිටලා.

අපට ගිය වර්ෂයේ ප්‍රධානම ආදායම හැටියට ආවේ පිටරට ඉන්න ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ. ඒක වැඩිවීමක් වුණා ගිය අවුරුද්දේ. ගිය මාස තුනේ යම් කිසි අඩුවීමක් වීගෙන යනවා. අදාල ඇමතිවරුන් පියවර ගනිමින් ඉන්නවා. ඒක අනිවාර්යයෙන් වැඩි කරගන්න ඕනෑ.

අනෙක් එක තමයි අපට ලාභ ලැබෙන්නේ අපනයන තුළින්. අපි සතුටු වෙන්න ඕනෑ ගිය මාසය වෙනකොට සාමාන්‍ය වර්ෂවල වගේම ප්‍රමාණයක් අපනයනය කරලා විදේශ විනිමය ලබාගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ වගේම අපට ලැබෙන, තව එකක් තමයි විදේශ ණය සහ ආධාර.

දැන් ආධාර දීම හුඟක් රටවල අඩු වෙලා තියෙනවා. අපේ රටට ලැබෙන ගාණත් ඒ අනුව අඩු වෙනවා. විදේශ ණයත් සීමා සහිතව අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ප්‍රතිපත්තියක් තමයි රජය කරගෙන යන්නේ. අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න, එහි ප්‍රතිඵල රටට ලැබෙන ව්‍යාපෘතිවලට පමණයි ණය ලබාගන්නේ.

ඒ ණය ලබා නොගත්තා කියලා කලින් ගත්ත ණය වාරික ඒ ආකාරයටම ගෙවන්න ඕනෑ. පසුගිය රජයන් කාලවල හැමෝම අරන් තියෙනවා. ඒ ප්‍රතිශත ගැන කියන්නෑ. දේශපාලන විග්‍රහයක් කියා හිතන්න පුළුවන්. ඒ හැම ණය වාරිකයක්ම ගෙවන්න වෙනවා. ඒවා අතහැරලා නෑ.

සංචිත අඩු වුණා කිව්වාට ඒ එක්කම අපේ ණය බරත් අඩු කරගෙන තියෙනවා. ඉස්සර අපි කළේ ණය නැවත දීර්ඝ කිරීමක් කරන්න උත්සාහ කළා. අතිරේක පොළියක් හෝ ගෙවලා. අපි එවැනි උත්සාහයකට වඩා බලාපොරොත්තු වෙන්නේණය සියල්ලක්ම වගේ ගෙවලා අඩු කරගෙන ණය නැති රටක් බවට පත් කරගන්න උත්සාහ කරන්නේ. හැම ණයක්ම ඉතාම සරල සහනදායී කොන්දේසි මත ලබාගන්නවා වගේම විශේෂයෙන්ම දේශපාලන කොන්දේසි හෝ රටේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට හානි නොකරන ණය ආධාර ලබාගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය.

ඒ අනුව යම් කිසි ප්‍රමාණයක මේ වර්ෂයේ අඩු නොවුණත් ලබන වර්ෂවල යම් අඩුවක් සිද්ධවෙන්න ඉඩ තියෙවා. ඒ ගැන කල්පනාවෙන් ඉන්නවා.

අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ඉතාම සහන විදියට බලන හැඟීමකින් ඔවුන් කටයුතු කරනවා. ඒ ආයතනවලින් අපි පුළුවන් තරම් අපේ වැදගත්, මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමට කටයුතු කරනවා.

මේ ආකාරයට අපේ බලාපොරොත්තුව මේ වර්ෂය අවසාන වෙන්න ඉස්සෙල්ලා අපේ විදේශ විනිමය පැත්තෙන් හොඳ තත්වයකට පත් කරගන්න පුළුවන්. තව ගන්න එකක් තමයි මේ රටේ ආනයනය කරන්න පුළුවන්, ගොවීන්ට වගා කරන්න පුළුවන් බෝග වර්ග 16ක් හඳුනාගෙන ඒවා මේ රටේ වගා කරන්න කටයුතු කළා. ඒවා සමහරවිට ජනතාවට හිරිහැරකාරී බවක් පෙන්නලා තිබුණත් අවසාන ප්‍රතිඵලය මේ අපේ රටේ ගොවීන් වවන දේවල්වලින් අපේ රටේ ජනතාවට කන්න පුළුවන් වේවි කියන එක බලාපොරොත්තුව. ඒ තුළින් විදේශ විනිමය ඉතිරි කරන්න පුළුවන්.

කාර්මික භාණ්ඩ වුණත් මේ රටේ කර්මාන්තකරුවන්ට, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මේ රටේ නිෂ්පාදනය කරලා වෙළඳපොළට හොඳ තත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් කරනවා. මේ වනවිටත් නිෂ්පාදන කරලා තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් මේ රටේ නිෂ්පාදනය කරන්න රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, දේශීය ආයෝජකයන් පෙළඹිලා තියෙනවා. හොඳම උදාහරණය තමයි සේලයින්. සීයට අනූනවයක්ම වගේ තියෙන්නේ වතුර. ඒක සීයට සීයක් මෙතෙක් ගෙනාවේ පිටරටින්. සැප්තැම්බර් 1 ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සියලු සේලයින් මේ රටේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරන්න අපට හැකි වෙලා.

විදේශ විනිමය හම්බ කරන්න උත්සාහ කරනවා වගේම ඉතුරු කරගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා තමයි පළවැනි වතාවට අඩුම වෙළඳ හිඟයක් ගිය මාසයේ ලබාගන්න හැකි වුණේ. වැඩිම අපනයන ආදායමත්, අඩුම ආනයන ප්‍රමාණයත් කරන්න වෙලා වෙළඳ පරතරය අඩුම තත්වයට ගේන්න පුළුවන් වුණේ.’