වසංගතයක රාහුල බන්ධනය – ‘කුඩා බිබුල’

“කොරෝනා හැදිලා හෙට අපි නැතිවුණත් පුදුම සතුටක් දැනෙන්නේ මේ සහෝදරකම දැක්කම”

මේ අපූරු වැකිය සටහන් වුණේ වීරකැටියේ කුඩා බුබුල ගමේ පන්සල කේන්ද්‍ර කරගනිමින් දියත් වන කොරෝනා මර්දන ස්වෙච්ඡා සමූහයකය. “හාමුදුරුවනේ, මේ ලෙඬේ හැදෙනවට වඩා මැරෙන එක හොඳයි” කියූ පරිසරයක ආරම්භ කළ මේ වැඩපිළිවෙල වූ කලී අද කලාව, ජුලම්පිටිය, ගෝනදෙනිය ආදී වීරකැටියේ යාබද ගම් නියම්ගම්වලටත් කාන්දු වෙමින් පවතින විශිෂ්ට සමාජ අභ්‍යාසයකි. තෙරක් නොපෙනන වසංගත අඳුරෙහි අවිද්‍යාවෙන් ද අස්මිමානයෙන් ද උපාදානයෙන් ද බැඳුණු තැන් බහුල විටෙක රටටම කිව යුතු කතාවකි.

අඹකොල වැව, ඉහල ගෝනදෙනිය, පහල ගෝනදෙනිය, ක`ඵවගහයාය, ගල්පොත්තයාය දකුණ, මීගස් ආර යන ගම්මානවලට මැදිව පිහිටි කුඩා බිබුල ග්‍රාමයන් වනාහි තංගල්ලේ සිට කිලෝමීටර 18ක් පමණ රට ඇතුළට යනවිට හමුවන සුන්දර පරිසරයකි. වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ ගම්මාන දෙක ගැන හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවිය පවසන්නේ 2001 වනවිට ඒවා දරිද්‍රතාවයට වැටුණු ගම් හැටියට හඳුනාගෙන තිබූ බවය. කෙසේ වෙතත් අද වනවිට කොවිඞ් සම්බන්ධයෙන් මේ ගම්මානවල නිර්මාණය කර ඇති සමාජ බන්ධනය නම් දුප්පත් නැත.

කතාවේ නායකයා භික්ෂූන් නමකි. එහෙත් කුඩා බිබුල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති යැයි කිව්වාට බොහෝ දෙනෙක් උන්වහන්සේ දන්නේ නැත. ඊට හේතුව නම් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ සමාජ වැඩවලදී උන්වහන්සේ ස්ථානගත වන්නේ වෑකඳවල රාහුල ලෙසින් වීමය. ජනමාධ්‍ය සමාජයට සුපුරුදු චරිතයක් වුවත් රාහුල හිමියන්ට වැඩිපුර පුරුදු ජනමාධ්‍ය කැටුව කරන සමාජ වැඩ නොවේ. වැඩ සිටින විහාරය කේන්ද්‍ර කරගත් තමන්වහන්සේ විශ්වාස කරන මිනිසුන් සමග කරන වැඩය. සමාජ ක්‍රියාකාරින් අතර පතළ පන්සල අධ්‍යාපන පීඨයක් කළ ‘සොබාදහම් පාසල’ යනු ඊට හොඳම නිදසුනය. කොරෝනා ආගමනය සමග තමන් හුදෙකලා වී ඇතැයි නැගෙන සමාජීය විලාපය හමුවේ ‘සහරක්ෂි’ නමින් ගම සංවිධානය කිරීමේ වැඩපිළිවෙලක් උන්වහන්සේ ආරම්භ කරන්නේ ද ඒ අත්දැකීම් පෙරදැරිවය.

වෑකඳවල රාහුල හිමි

“කොරෝනා වසංගතය එද්දී ආගමික නායකයකු විදියට මගේ ගමේ මිනිසුන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් හදන්නේ කොහොමද කියලා හිතුවා. ඒ අවස්ථාවේ මම හිටියේ ගමෙන් බැහැරක. ඒ නිසා ප්‍රභූ යැයි සැලකෙන අයට දුරකථනයෙන් කතා කරලා කුඩා කණ්ඩායම් හදලා ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් හැදීමේ වැදගත්කම පෙන්වාදෙන්න මට සිදුවුණා. කොරෝනා එද්දි ගම තිබුණෙත් අපේ රට තිබුණු තැනම තමයි. ගම කියන්නේ බෙදුණු එකක්. ඒ නිසා වැඬේ පහසු වුණේ නෑ. වොයිස් පණිවිඩ එවලා ලවුඞ්ස්පීකරෙන් ප්‍රචාරය කෙරෙව්වා. බෙදුණු අදහස්වලින් පාට කණ්ණාඩිවලින් බලපු මිනිසුන් ඉන්න සමාජයක් මේක. මේ නිසා මුලදි මේක පහසුවුණේ නෑ. හැබැයි ගම වට කරගෙන කොව්ඞ් පැතිරෙන්න ගත්තාම තමයි ඔවුන් මේ ගැන හිතුවේ. මට මේ යාන්ත්‍රණය වඩා හොඳින් දියත් කරන්න පු`ඵවන් වුණේත් ගමේ කොරෝනා පවුල් හතර පහක් හැදුණාම. අපි කළේ උඩ සිට පහළ වෙනුවට පහළ සිට ඉහළට සන්නිවේදනය කරන වැඩක්. ”

“අනෙක් තැන් වගේම තමයි. කොරෝනා අපට ආගන්තුක හතුරෙක් නිසා මුලදී කරන්න ඕනෑ මොකක්ද කියල අපට වුණත් වැඩි වැටහීමක් තිබුණේ නෑ. කලින් අර ගොඩමණ්ඩියේ එක්කෙනෙක් ඉන්නවා කියනවා. එයාලාව උස්සන් යනවා. ඊටපස්සෙ මේ මණ්ඩියේ තව කෙනෙක්. පුතාට හැදුණාම ගෙදර ඉන්න අම්මා වෙව්ලන හැටි මම දැක්කා. මාධ්‍යයෙන් මොනව කිව්වත් ඒවා ගමට ගෙනියන වැඩපිළිවෙලක් තිබුණේ නෑ. දුරකථනයක් නැති නිදන කාමරයක් නැති ගෙදරකට මේක ගෙනියන්න ප්‍රධාන ධාරාවට බෑ. ඒ නිසා ආසාදිතයන් හතුරන් විදියට සලකන තත්ත්වයක් තිබුණේ. හාමුදුරුවනේ ලෙඩ වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියල සමහරු කිව්වේ. මේ සඳහා යමක් කළ යුතු යැයි කියන වුවමනාව අපට තිබුණා.”

රාහුල හිමියන් මුලින්ම කර තිබුණේ ගමේ ක්‍රියාකාරී තරුණ වැඩිහිටි පිරිස් සම්බන්ධ කරගෙන සංවිධානාත්මක සන්නිවේදන වැඩපිළිවෙලක් හැදීමය. පවුල් 453ක් සිටින ගමේ කුඩා කණ්ඩායම් නායකයන් 40ක් නිර්මාණය කිරීමය.
“ ගෙවල් 10ක් තෝරලා ඒක කෙනෙකුට බාර දෙනවා. ඒ අය අතරේ තාක්ෂණික හැකියාවක් තියෙන අයගෙන් වට්සැප් ගෘප් එකක් හැදුවා. මුල් කාලයේ අපට නිශ්චිත තොරතුරු නෑ. ආසාදිතයකු වාර්තා වූ ගමන් අපි අර ගෘප් එකට විස්තරේ දානවා. අපි එතකොට ඒ පවුලේ පෝෂණය බාරගන්නවා. වට්ටක්කා වවන අයගෙන් වට්ටක්කා.. බණ්ඩක්කා වවන අයගෙන් බණ්ඩක්කා..පලා වර්ග නම් එහෙම. මේ විදියට කෑමට ගන්න පු`ඵවන් විදියේ එළව`ඵ මල්ලක් හදනවා. දැනට එහෙම ස්වයං නිරෝධායනය වන ගෙවල් කීපයක් ගැන බලනවා. ”

මෙවර කොවිඞ් රැල්ලේදී ගම් නගර වෙනසකින් තොරව මිනිසුන් මුහුණ දුන් ප්‍රමුඛ ගැටලුවක් වූයේ පවුල් පිටින් ආසාදිතයන් වූ විට නුදුරු දින කීපය ගෙවාගන්නේ කෙසේද යන්නයි. ඉතින් කුඩාබුබුලේ මේ වැඩපිළිවෙල විසින් එගම්වැසියන්ට ලැබුණු අස්වැසිල්ල සු`ඵපටු නැත. රාජ්‍ය නිලධාරින්ගේ සේවාව ලබාගැනීමේදී ලබාදීමේදීත් වඩා පහසුකරණ ක්‍රමය භාවිත කළේ ඉන්පසුය.

“මේ ගමේ ඉගෙන ගත්ත වෘත්තියෙන් වෛද්‍යවරුන් වූ මහත්වරුන් පස් දෙනෙකුත් සම්බන්ධ කරගත්තා. පොලිසියේ ස්ථානාධිපතිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, පවුල් සෞඛ්‍ය සේවිකාව ආදී මහත්ම මහත්මීන් උපදේශක මණ්ඩලයට සම්බන්ධ කරගත්තා. මේ පිරිසයි මෙහෙයුම් කමිටුවයි එකතු කරල තව වට්සැප් ගෘප් එකක් තියෙනවා. මේ නිසා නිරෝධායනය වන අයට නිවැරැදිව උපදෙස් දෙන්නත් අවශ්‍ය කළමණා සපයන්නත් අද අපට හැකිවෙලා තිබෙනවා. ”

රාහුල හිමියන්ගේ ආරාධනයෙන් වට්සැප් කමිටුව නිරීක්ෂණය කළ අතර එය දුටුමනතින් ඕනෑම අයකුට සිතෙන්නේ මේ ක්‍රියාවලිය තමන්ගේ ගමට ආදේශ කරගත නොහැකි මන්ද කියාය. සැබැවින්ම මේ වනවිට අදාළ වට්සැප් සමූහය ක්‍රියාත්මක වෙන්නේ ගමේ කොරෝනාව මඩින මෙහෙයුමට පමණක් සීමා වී නොවේ. විහාරස්ථාන කීපයකම ස්වාමින් වහන්සේලා එහි හුවමාරු වන පණිවුඩ මගින් ලබාගන්නේ ක්‍රමවේදය ගැන අවබෝධයකි. එනිසා අපේක්ෂා නොකළ අයුරින් වුවත් වසංගත සමයේ සමාජ බන්ධනය පවත්වාගැනීම සම්බන්ධයෙන් එය එක්තරා ආකාරයකට අධ්‍යාපන වැඩසටහනක් ද වී තිබේ.

“අපේ හාමුදුරුවනේ,මගේ නංගී කුරුණෑගල. එයයි මහත්තයයි දෙන්නම පොසිටිව්. දූලා දෙන්නා හොඳටම බයවෙලා. එවැනි වෙලාවක ගමෙන් පිටත් වෙලත් මගේ ඉල්ලීම අනුව ඒ අය සමග කතා කරලා තොරතුරු සොයාබැලීම ගැන” … මේ තුති පිදුම භෞතිකව සමීප විය නොහැකිව සිටින නෑසියන් ගැන සොයාබැලුවාටය. වට්සැප් සමූහය තුළ එවැනි තුති පිදුම් රාශියකි.

විශේෂයෙන්ම ගමේ පොලිස් ස්ථානාධිපතිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ග්‍රාම නිලධාරින් හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඇතු`ඵ ක්‍ෂේත්‍ර නිලධාරින් හා මහජනයා අතර මිත්‍රශීලීත්වය වර්ධනයට ඉන් සැලසී ඇත්තේ අමිල සේවයකි. විශේෂයෙන්ම රාජකාරිය නිසාම අපිළිවෙලට අනවරතව ලැබෙන දුරකථන ඇමතුම් යනු පසුගිය කාලයේදී ක්‍ෂේත්‍ර නිලධාරින් තෙහෙට්ටුවට ලක්කළ කරුණක් විය. ඒවාට සංවිධානාත්මකව විසඳුමක් නොලැබුණු තැන ඒ මිනිසුන්ට ද සිදුවූයේ ආතතියට පත්වෙමින් හැකි ලෙසින් රාජකාරියේ නිරතවීමටය. කොරෝනා වසංගතය සමග දිවයිනේ ඇතැම් තැන්වල හටගත් අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයන්ට මුල්වූයේ මේ මිත්‍රශීලී සංස්කෘතිය කඩාවැටීමයි. ඊට බොහෝදුරට බලපෑවේ සන්නිවේදන දුබලතාය. ආසාදිතයන් මිනිස් බෝම්බ හැටියට හඳුන්වමින් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය නමෝවිත්තියෙන් වැඩ වැරැද්දීම හේතුවෙන් පොදු මිනිසා හා රාජ්‍ය නිලධාරියා අතර ඇතිකළේ විශාල පරතරයකි. ආසාදිතයා අසරණයකුගේ තැන නොසිට සමාජවිරෝධියකු හැටියට රූපාන්තරණය වීමත් ආසාදිතයන් ගැන සොයාබැලීම වෙනුවට ඔවුන් ගැන ඔත්තු දීමේත් සංස්කෘතියක් හැදුණේ මේ නිසාය. එසේ බලද්දී සහරක්ෂි ව්‍යාපෘතිය ආසාදිත වූ නොවූ සියලු ගම්වැසියන්ට අසල්වැසියෙකි. විශ්වාස ඥාතියෙකි.  

කොරෝනා සුබසාධන හා මර්දන වැඩ සඳහා පන්සලට ලැබෙන රුපියල පවා විගණනය කර මේ සමූහයේ පළකිරීම මා දුටු තවත් විශිෂ්ටම වැඩකි. සාමාන්‍යයෙන් ආගමික සංස්ථා යනු මූල්‍ය විනය සම්බන්ධයෙන් හොඳ මූලාශ්‍රයක් නොවේ. සාංඝික දේ ගැන කතා නොවටී යන අදහස මුල්බැස ගැනීම ඊට හේතුවය. එසේ බැලුවහොත් නම් මේ විහාරය ඊට විරුද්ධාභාසයකි. පිරිකරට ලැබෙන මුදල් පවා වියලි සලාකයක් වී යන්නේ නැවත දායක ජනයා අතරටමය. මේ අතරේ අධ්‍යාපනයට වැට බැඳී ඇති දරුවන් වෙනුවෙන් ද දුරස්ථ අධ්‍යාපනය හරහා යමක් කිරීමට වෑයමක් වෙමින් පවතී. දුරස්ථ අධ්‍යාපනය සඳහා සම්පත් නොමැතිකමින් පීඩාවට පත් දරුවන් බොහෝ පිරිසකට ඒවා සම්පාදනය කරදීමට මැදිහත් වූ චමල් අකලංක මහතා ද මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වී සිටී. පන්සල කේන්ද්‍ර කරගෙන කලක් තිස්සේ දියත් වූ ‘සොබාදම් පාසල’ මගින් ඒ අනුව දරුවන්ට අවශ්‍ය ඬේටා ආදී තාක්ෂණික පහසුකම් සැපයීමට මේ වනවිට වැඩපිළිවෙලක් සැකැසෙමින් තිබේ.

රාහුල හිමියන් පවසන ආකාරයට අදටත් වීරකැටියේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සිටින්නේ එක් වෛද්‍යවරයකු පමණි. ග්‍රාමනිලධාරින්ට වැඩ බලන්නට වසම් ගණනාවකි. එහෙත් මේ සාමූහික බැඳීම ඔවුන්ට කිසියම් අස්වැසිල්ලකි.

“දැනුවත්භාවය මත තමයි මිනිසුන්ගේ ආධ්‍යාත්මය බුද්ධිය ගොඩනගාගත හැක්කේ. අපේ කුඩා කණ්ඩායම මෙහිදී විශිෂ්ට සේවාවක් කළා. කණ්ඩායම් නායකවරුන්ට වෙනම පුහුණුවක් දැනටත් දෙනවා. මොන බාධා තිබුණත් දයාවෙන් කරුණාවෙන් ක්‍රියාකිරීම තමයි අපේ අරමුණ. සුවය ලබන රෝගීන්, බයෙන් මිදුණු මිනිසුන් අපේ අරමුණු තවත් ශක්තිමත් කරනවා. ” රාහුල හිමියෝ වැඩිදුරටත් පවසති.

ප්‍රියන්ත පුෂ්පකුමාර, නුවන් සඳකැළුම්, සුසන්තා විජේසිංහ, විජයලතා ගුරුතුමිය, ධනුෂ්කා හෙට්ටිආරච්චි යනු මේ මූලබීජය පැල කිරීමට වෙහෙස වූවන් අතරෙන් කීප දෙනෙකි. තලාව බෝධිරාමාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් ‘සහරක්ෂි’ වැඩපිළිවෙල ඉදිරියට යමින් තිබෙන්නේ සහෝදර භික්ෂූන් වහන්සේලාද තව තවත් හවුල් කරගනිමිනි. ‘අයොග්‍යං පුරුෂො නාස්ති ’ යන්නෙහි පිහිටා වැඩ කරන රාහුල හිමියන්ට වැඩකට ගත නොහැකි මනුෂ්‍යයෙක් නැත. එනිසා උන්වහන්සේට පිරිවර යනුම සම්පතකි.

‘සහරක්ෂි’ ආරම්භ වූයේ බලයත් නිලයත් භාවිත කර තමන්ගේ යැයි කියන අයට එන්නත ලබාදෙන්නට හෘද සාක්ෂිය අහිමි කරගත් ප්‍රභූ සමාජයට දුර ඈත ගම්මානයකිනි. එය වර්ධනය වුණේ වසංගතය උත්සන්න වී හුස්ම යදින, පණ ගැහෙන මිනිසුන් අතර ඔක්සිජන් සැපයුමට පොරකන තැනටම තත්ත්වය නරක් වෙද්දීය. මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන අධ්‍යාපනයක් වෙනුවට තරගයම පුරුදු කළ ජීවන ක්‍රමයක උරුමකරුවන් සමග සසඳද්දී නම් ‘සහරක්ෂි’ පටිසෝතගාමී වැඩකි. එසේ බලද්දී නම් මෙය කුඩා බිබුලක් නොවේ.

(සත්කාරයට අධ්‍යාපනයට කැමැති අය සඳහා- වෑකඳවල රාහුල හිමි – 071 836 86 42)

බිඟුන් මේනක ගමගේ