පොලීසියේ තිරිසන් හැසිරීම! මාධ්‍යවේදියෙක්ට කැත පහරදීමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොලීසිය තිරිසනෙකුට වගේ මාධ්‍යවේදියෙකුට පහරදෙමින් ඇදගෙන යන ආකාරය වීඩියෝවල සටහන් වෙලා.

ලෝකයේ ඕනෑම රටක මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා නොකිරීම, විශේෂයෙන් පහර නොදීම ඉතා වැදගත් කාරණයක් විදියට සලකනවා. යහපාලන ආණ්ඩුව සමයේදී පවා හම්බන්තොට උද්ඝෝෂණයකදී එදා නාවික හමුදාපති මාධ්‍යවේදියෙකුට පහරදීම ගැන අපි නියොජනය කරන ජනමාධ්‍ය සමාජය දරුණු විරෝධයක් දැක්වුවේ ඒ නිසා.

සැප්තැම්බර් 2 වැනිදා අම්පාරේදී වෙලා තිබුණ මේ වීඩියෝවේ සඳහන් සිදුවීම නම් තවත් එක පහරදීමක් නෙවෙයි. නිව්ස්ෆ්‍රස්ට් ටීෂර්ට් එකක් පවා ඇඳගෙන හිටපු ෂාහිර්ඛාන් ෂාරුක් නම් නිදහස් මාධ්‍යවේදියාට දරුණු විදියට පහරදීලා, ඇඳුම් ඉරලා, මාධ්‍යවේදී ආම්පන්නත් කඩා දාලා. මේ අක්කරේපත්තු පොලීසිය කළ දෙයක්.

මෙහි පෙනෙන්නට තියෙන්නේ ලංකාවේ පොලීසිය මුස්ලිම් සහ දෙමළ මිනිසුන් සිටින ප්‍රදේශවල හැසිරෙන ආකාරය ගැන තවත් එක උදාහරණයක්.

අප ඇස් දෙනෙක්ම දැකලා තියෙනවා. පොලිස් නිලධාරීන් දෙමළ කතා කරන මිනිසුන්ට ඒ ප්‍රදේශවලදී කතා කරන්නේ පවා ඉතා පහත් ආකාරයට. මීට කලින් දවසක පොලිස් නිලධාරීන් බෙහෙත් ගන්නට ගිය මනුස්සයෙක්ව දණගස්වා තැබීමේ සිදුවීමකුත් වාර්තා වෙලා.

මේවා සිද්ධවෙන්නේ ජීඑල් පීරිස් විදේශ ඇමතිවරයා ලංකාවේ මානව හිමිකම් රකින විදිය ගැන තානාපති කාර්යාලවලට ලියුම් ලියන අතරේ වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන අයිඑෆ්ජේ ආයතනය අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනමාධ්‍ය දඩයම් කරන්නන්ගේ ලැයිස්තුවේ ඉහළම අසුනක් වෙන් කර දී තිබියදී මේවා සිදුවීම අනෙක් විශේෂත්වය.