පිටරට ආයෝජකයන් ගිය සතියේ රු. බිලියන 3.38ක් අරන් ගිහින්! ගිලෙන නැවෙන් මීයන් පැනීමක්

  • පහුගිය සතියේ රුපියල් බිලියන 3.4ක විදේශීය විකිණීම් සිද්ධවෙලා
  • කලින් අවුරුද්ද එක්ක බැලුවොත් අගෝස්තු 27 වෙද්දී බිලියන 37.8ක්. සැප්තැම්බර් 3 වෙද්දී බිලියන 41.2ක්..

විදේශීය අරමුදල්වලින් කොළඹ කොටස් වෙළඳපළේ ආයෝජනය කර තිබූ මුදල් නැවත ගනිමින්, කොටස් විකිණීමේ රැල්ල තවත් වැඩිවෙලා. අන්තිම සතියේ එය රුපියල් බිලියන 3.38ක තරම් අතිවිශාල කොටස් අත්හැරීමක්ලු.

ඒ සතියේ වැඩිපුරම ආයෝජන අයින් කරගෙන තිබුණේ එච්එන්බී සහ හේමාස් සමාගම්වලින්ලු.

සරල බසින් කීවොත් මේක විදේශිකයන් ලංකාව අතෑරලා, සල්ලි අරන් යෑමක්. ජනප්‍රිය උපමාවකින් කීවොත් ගිලෙන නැවෙන්, නැව ගිලෙන බව කලින් ඉව වැටෙන මීයන් පැන යෑමේ සිද්ධියකට උදාහරණයක්.

විකුණලා තිබුණ වටිනාකම සිකුරාදා වෙද්දී රුපියල් බිලියන 41ක සීමාව ඉක්මවලා තිබුණා.

මෙය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200ක් විතර බව කියනවා. ඒ අනුව බංග්ලාදේශයෙන් අපට බිලියන සීය දෙසීය ණය ලැබෙද්දී, අපට ඇවිත් තිබුණ ආයෝජන ඒ තරමටම නැති වෙනවා.

මේ ගැන විග්‍රහ කරන අය හේතු ගණනාවක් කියනවා. විදේශ සංචිත අර්බුදය, රුපියල කඩාවැටීම විතරක් නෙවෙයි වෙළඳාම්වල තියෙන ෂුවර් නැති තත්වයත්, රජය ඕනෑවට වඩා පෞද්ගලික අංශයේ වෙළඳාම්වලට ඔළුව එබීමත් හේතු විදියට ඒ අය පෙන්වා දෙනවා.

විශේෂයෙන් හදිසි නීති පනවමින්, වෙළඳපොළට දරුණු මැදිහත්වීම් කරන්න සූදානම් වූ සතියේ අතිවිශාල ආයෝජන ඉවත් කරගැනීමක් සිදුවීම දරුණු තත්වයක්.

මීට කලින් Frontaura නම් විදේශීය ආයෝජන ආයතනය කණස්සල්ල පළ කර තිබුණා, කොටස් විකිණීමේ රිසිට්පත් ලැබීම ප්‍රමාද වීමක් ගැන. එච්එන්බී සහ එල්බී ෆිනෑන්ස් ආයතනවල ජුලි මාසයේ කළ ආයෝජනවල රිසිට් අගෝස්තු 5 දක්වා ලැබුණේ නැහැලු.

මේකත් සරල බසින් කීවොත් එකිනෙකට සම්බන්ධ වෙච්ච මහා ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල පොළාපැනීමක්.

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත කියා තිබුණේ මේක ලංකාවේ ගෞරවයටත් විශාල හානියක් බව.