ඉදිකිරීම් සංගමෙන් බැසිල්ට ලියුමක්! බැසිල්ලාගේ වැඩ නිසා මිලියනයකට වැඩි මිනිස්සු අමාරුවේලු!

ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් ලියමින් ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති නොවත්වා පවත්වාගෙන යන්න කියා ඉල්ලලා.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ඉදිකිරීම් ව්‍යාපෘති නතර කිරීම ගැන කතා කර තිබුණා. නව ව්‍යාපෘති ආරම්භ නොකරන්නත් තීන්දු කළා. ලිපිය ලියා තිබුණේ ඒ ගැන.

ඇත්තටම ඉදිකිරීම් නැවැත්වීම කියන්නේ බැලූ බැල්මට ලෙහෙසි තීන්දුවක් වුණත්, ඒක මිලියනයක විතර මිනිස්සුන්ට බඩේ පාර වදින තීන්දුවක්. ඉදිකිරීම් නැවැත්වීම යහපත් තීන්දුවක්ද, වැරදි තීන්දුවක්ද කියා අපට නිශ්චිත මතයක් නැහැ. එහෙත්, ඒ තීන්දුවෙන් දරුණු ප්‍රහාරයක් එල්ලවෙන, ජීවිත අමාරුවේ වැටෙන පොඩි මිනිසුන් ඉන්න බව නම් පැහැදිලියි. ව්‍යාපාර හිමි ධනවතුන් නම් පාඩු පිට වුණත් ජීවිතේ පවත්වාගනියි. පාඩු එද්දීම ඔවුන් රස්සාවලින් සේවකයන් දොට්ට දාලා, පඩි කපලා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතේට හානියක් නොවෙන තැනට තත්වය හදාගනීවි. හැමදාම මෙවැනි අමාරුකම්වලදී බර කරගහන්නේ පොඩි මිනිස්සු.

කොහොම වෙතත් මේ ලියුම නම් ලියා තිබුණේ මේ කර්මාන්තයේ ධනය සහ බලය හිමි උදවිය. තමන්ගේ කර්මාන්තය දුර්වල වෙනවාට ඔවුන් කැමති නැහැනේ.

එහි තර්ක කර තිබුණේ මේ වෙද්දී රටේ තියෙන ආර්ථික අර්බුදය විසඳන ක්‍රමය ඉදිකිරීම් නැවැත්වීම නොවන බව.

රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි පිළිගන්නා බව එම ලිපියේ සඳහන්. ණය නැවත ගෙවීමේ අභියෝග, වසංගතය ආදී මෙරට සහ ජාත්‍යන්තර අභියෝග ගොඩක් තිබෙන බව එහි පිළිඅරන් තිබුණා. ඒ අනුව ඉදිකිරීම් කර්මාන්ත වෙනුවෙන් ලංකාවට විවිධාකාර අමුද්‍රව්‍ය ගෙන්වන්න සිදුවීමෙන් විදේශ සංචිතවලට බලපෑම් එල්ල වීම ආණ්ඩුවේ තීන්දුවලට බලපාන්නට ඇතැයි එහි අනුමාන කර තිබුණා.

ඔවුන් කියන ආකාරයට විසඳුම වන්නේ අමුද්‍රව්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි කිරීමත්, සමහරවිට ඒ අමද්‍රව්‍ය අපනයනය කරන තැනට පත්වීමත් මිසක් ඉදිකිරීම් නැවැත්වීම නෙවෙයි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ සේවකයන් ප්‍රමුඛව මේ ක්ෂේත්‍රයෙන් ඍජු හා වක්‍ර ආදායම් උපයන උදවිය මිලියනයකට වැඩි බව එහි සඳහන්. දළ දේශීය නිෂ්පාදනයට සීයට 9.6ක් ඒ අය දක්වනවාලු. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ දෙවැනියට වැඩිම රැකියා අවස්ථා ලබා දෙන්නේ මේ කර්මාන්තය බවත් එහි සඳහන්.

ඒ අනුව අමුද්‍රව්‍ය සපයන ලක්ෂ ගණනක උදවිය, උප කොන්ත්‍රාත්කරුවන් මෙන්ම දවසේ වැටුප් ලබන දුප්පත්ම කම්කරුවන්ට බලපාන බව එහි පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම මෙම ලිපියෙන් පෙන්වා දී තිනේනේ ඉදිකිරීම් යනු ලංකාවේ කර්මාන්ත ව්‍යුහය එකට එඳවාගෙන තිබෙන ප්‍රධාන අංග අතරින් එකක් බව. ඒ අනුව රජයේ ඉදිකිරීම් නැවැත්වීමෙන් අනෙකුත් කර්මාන්තවලටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන් බව එයින් කියනවා.

2015 අවුරුද්දෙන් පස්සේ ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය දරුණු ආර්ථික අපහසුතාවලට මුහුණදුන් බවත්, මූල්‍ය ප්‍රවාහ ප්‍රශ්න තිබුණු බවත් එහි සඳහන්. ආණ්ඩු මාරු වීම, ත්‍රස්ත ප්‍රහාර ආදී හේතු එයට බලපෑවාලු. වත්මන් ආණ්ඩුව බලයට ප්වීමෙන් පස්සේ අලුත් ටෙන්ඩර් දමා ඉදිකිරීම් කටයුතු වර්ධනයක් පෙන්නුම් කිරීම ඉදිකිරීම් කර්මාන්තයේ ධනාත්මකව දැක්කාලු. නව බලාපොරොත්තුවක් ඇවිල්ලාලු තිබුණේ.

එහෙත් ඉදිකිරීම් ගැන රජයේ අලුත් තීන්දු නිසා බැංකුවලින් ඉදිකිරීම් සමාගම්වලට ණය ආදී මූල්‍ය පහසුකම් දෙන එක පවා සීමා වෙලාලු.

තව පැත්තකින් ඉදිකිරීම් සමාගම් අලුත් බලාපොරොත්තුව නිසා මානව සම්පත්, යන්ත්‍රසූත්‍ර සහ මුදල් අලුතින් යොදවමින් ආයෝජන කරමින් හිටියාලු. ඒ රජයේ අලුත් ටෙන්ඩර් අවස්ථා ගන්න බලාගෙන.

අන්තිමේ මේ ලියුමෙන් යෝජනා කර තිබෙන්නේ අනවශ්‍ය සහ ප්‍රායෝගික නොවන ව්‍යාපෘති නවත්වලා අවශ්‍ය ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන්න කියලයි.

ඇත්තටම ඉදිකිරීම් කර්මාන්තය කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවලට ඉතා හිතවත් ක්ෂේත්‍රයක්. ඇතැම් අය කියන විදියට රාජපක්ෂවරුන්ට බලයට එන්න මූල්‍ය සහයෝගය දුන්න අය අතරේත් ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබන අය සහ උප කොන්ත්‍රාත් ලබන අය ඉන්නවා. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට බැසිල් රාජපක්ෂ ‘දෙවියෙක්’ වාගෙයි. එවැනි පසුබිමක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කණස්සල්ල ආණ්ඩුවේ නායකයන්ගේ හදවතටම දැනෙන එකක් වේවි.