සියලුම හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල් ද සහිතව විශ්‍රාම වැටුප් ලබා දීමට තමන් උත්සාහ දරන බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියලා.
මේ දිනවල රජයේ මුදල් මදිපාඩු නිසාත්, වසංගත තත්වය නිසාත් වැටුප් පරිත්‍යාග කරන්න කියලා ආණ්ඩුව පැත්තෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඇමතිවරුන් වැටුප් පරිත්‍යාග කිරීම ගැනත් කතා කරනවා.
ඒත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන්ගේ හිඟ විශ්‍රාම වැටුප් ඉල්ලන්න පටන් අරන්. මේ ගැන මාධ්‍ය වාර්තා පවා පළ වුණා. ඒ මාධ්‍ය වාර්තාවල තිබුණ සමහර කරුණු ප්‍රතික්ෂේප කරමින්, ඒත් ඒකේ තිබුණ වැදගත්ම කොටස පිළිගනිමින් ඔහු දාලා තිබුණ නිවේදනයක් මෙහෙමයි.
“හිටපු සියළුම මහබැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධවයි:
එම ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය කරුණු මෙසේය:
1. මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි.
2. මාගේ පත්වීම් ලිපියට අනුව විශ්‍රාම වැටුපකට මට හිමිකමක් ඇත.
3. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට මවිසින් දැනුම් දෙන ලදී.
4. අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක මවිසින් සිදු කර නොමැත.’
ඒ කියන්නේ ඔහු තමන්ගේ හිඟ වැටුප් ගැන විතරයිලු ඇහුවේ. අනෙක් හිටපු අධිපතිවරුන් ගැන කිසිදෙයක් කිව්වෙ නැහැලු.