ප්‍රසන්න-උදයංග වළි? සංචාරක කර්මාන්තයේ මහා දූෂණයක් ගැන උදයංගගෙන් චෝදනාවක්!

පහුගිය ඉරිදා දිවයින පත්තරයේ උදයංග වීරතුංග යන නමින් දැවැන්ත දූෂණ චෝදනා සහිත ලිපියක් පළ වෙලා. ඒ ලිපිය ලියූ උදයංග වීරතුංග නම් ලේඛකයා සඳහන් කර තිබෙන්නේ මීට කලින් අයිෆා සිනමා සම්මාන උළෙල ලංකාවේ පැවැත්වූ අවස්ථාවේ මහා වංචාවක් සිදු වූ බවත් ඔහු එහි සඳහන් කරනවා.

මේ ලිපිය ලියා ඇත්තේ රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙක් වන උදයංග වීරතුංගම බව අපට අනුමාන කරන්න සිද්ධවෙන්නේ, මෙම ලිපියේ ඒ උදයංග වීරතුංගගේ ඡායාරූපයකුත් තියෙන නිසා.

‘රාජපක්ෂ කාලයේ වංචා වුණේ නෑ’ කියන අයට රාජපක්ෂ පවුලේම සාමාජිකයෙක් කරන මේ ප්‍රකාශය හරිම වැදගත් වේවි.

ඔහු කියන විදියට 20/05240/232/021 අංකය සහිත 2020 මාර්තු 18 වැනිදා කැබිනට් අනුමැතිය ලැබුණ පත්‍රිකාවකින් කැබිනට් මණ්ඩලයත් නොමග යවලාලු. රුසියන් තානාපති කාර්යාලයේ දැන්වීමක් පළ කරලා, රුසියන් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ‘කෝටි ගණනක වංචාවක්’ කිරීමට ලෑස්ති බව තමයි ඒ ලිපියේ ඔහු ලියා තියෙන්නේ.

මේ ලිපියේ ඇති කරුණු පිළිවෙලක් හෝ පැහැදිලිභාවයක් නොමැති නිසාත්, ඔහු එල්ලකරන දූෂණ චෝදනා ඔප්පු කරන්නට තරම් කරුණු නැති නිසාත් අපි මෙතැන ඒවා සඳහන් කරන්නේ නැහැ. ඒත්, වැදගත් වෙන්නේ ‘උදයංග වීරතුංග’ ආණ්ඩුවට දරුණු දූෂණ චෝදනාවක් එල්ල කර ඇති බව.

මෙහෙම චෝදනා එල්ල කරන්න ප්‍රධාන හේතුව ලෙස අනුමාන කරන්නට කාරණයකුත් තියෙනවා.

ලංකාව සංචාරක ගමනාන්තයක් විදියට ප්‍රවර්ධනය කිරීම සඳහා කරනු ලබන ඔය චෝදනා ලබන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් රුසියාට ගිහින් තිබුණා. ඒ ගමනට ලංකාවේ රුසියන් විශේෂඥයා වගේ පෙනී ඉන්න උදයංග වීරතුංගට ආරාධනා ලැබිලා නෑ. ඒ ව්‍යාපෘතියේ භූමිකාවක් උදයංගට නැහැ.

මේ ඉරිදා දේශය පත්තරයේ ගොසිප් තීරුවේ මෙහෙම වාර්තාවක් තිබුණා.

‘ආණ්ඩුවේ කට්ටියක් මේ දවස්වල ඉන්නේ රුසියාවෙලු. ඒ අය යුක්‍රේනයෙත් යන්නලු ඉන්නේ. අපේ රටේ සංචාරක කර්මාන්තය ඒ රටේ ප්‍රසිද්ධ කරන්නලු මේ ගිහින් තියෙන්නේ. පුදුමේ කියන්නේ ඒ ගමනට මෙහේ ඉන්න රැසියාවේ අයිතිකාරයා වගේ ඉන්න කෙනා ගිහින් නෑලු. යුක්‍රේන සංචාරක බුබුළු වැඩේ ඉසෙල්ලම පටන්ගත්ත එයා ඇයි මෙහෙම දාලා ගියේ කියලා හැමෝම අහනවා.

කොහොම වුණත් සංචාරක අමාත්‍යංශය මැදිහත් වෙලා කරන නිසත්, ඒ විෂය බාරව ඉන්න ලොක්කා මේ වැඩේට යන නිසාත් එයාව මේ වැඩෙන් හැලුවලු. ඒ මේ දෙන්නා අතර තියෙන අළු යට ගිනිපුපුරු නිසා. කොහොම හරි අමාත්‍යංශයට ඕන එයාට වඩා හොඳටම කළේ අපි කියලා පෙන්නන්නලු. ඒ හින්ද රුසියන් සංචාරක අංසෙ වීරයට රුසියාවට යන්න ලැබිල නැහැ.’

මේ ආරාධනා නොලැබීමේ කේන්තිය පිට කිරීමක් විදිය හෝ සැබෑ ලෙසම සංචාරක කර්මාන්තය පිළිබඳ තමන්ගේ ‘විද්වත් දැනුම’ ප්‍රකාශ කිරීමක් විදියට ඉරිදා දිවයින පත්තරේට උදයංග වීරතුංග මහතා කලින් කීව ලිපිය ලියලා තියෙන්නේ.

මීට අමතරව ඉරාජ් ෂෝ නම් චැනලයේ ඉරාජ් වීරරත්න එක්ක සාකච්ඡාවකදීත් උදයංග වීරතුංග මේ චෝදනා එල්ල කරලා තිබුණා. ඒත් ඔවුන් හිතූ තරම් පිරිසක් ඒ වැඩසටහන නරඹා තිබුණේ නැහැ.

මෑත කාලයේ අපට අසන්නට ලැබුණේ සංචාරක විෂය පිළිබඳ එම විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ යටතේ පවතින සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එක්ක රාජපක්ෂ පවුලේ සංචාරක විශේෂඥයා වන උදයංග වීරතුංග සීතල යුද්ධයක ඉන්න බව.

ලංකාවට රුසියාව, යුක්‍රේනය ආදී රටවලින් සංචාරකයන් ගෙන්වීමේ ව්‍යාපාරවල නිරත වෙන උදයංග වීරතුංග අවස්ථා කිහිපයකදී නිරෝධායන නීතිවලට පවා පයින් ගැහුවා. සංචාරක බුබුුළු ඇතුළට ගිහින් පුද්ගලයන් බදාගෙන, කොළඹ ඇවිත් මාධ්‍ය හමු පැවැත්වුවත් මෙරට උද්ඝෝෂකයන්ට ක්‍රියාත්මක වූ නීති උදයංග වීරතුංග හමුවේ නිහඬ වූ බවත් ඔය අතරේ සිහිපත් කරන්න ඕනෑ.