රන්ජන්ට සමාව ඉල්ලපු සජිත්ගේ ලියුම ගැන ජනපති නීති අධ්‍යක්ෂ කී කතාව! සමාව දෙයිද?

මේ වන විට උසාවියට අපහාස කිරීම පිළිබඳ නඩු තීන්දුවකින් වසර හතරක සිර දඬුවම් ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරලා.

රන්ජන්ට සමාව දෙන්න කියලා ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත අගෝස්තු 31 වැනිදා යවපු ලියුම සැප්තැම්බර් 01 වැනිදා ලැබුණ බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහා කියලා.

කෙසේ වෙතත් දිවයින මාධ්‍යවේදී මනෝජ් අබයදීර මහතා එක්ක ඔහු කියා තිබුණේ ලියුම ලැබිලා දින දෙකක් විතරක් ගත වෙලා තියෙන නිසා තවමත් ඒ ගැන තීන්දුවක් කියන්න බැරි බව.

කෙසේ වෙතත් දිවයින පත්තරේම මාධ්‍යවේදී ඒ.ජේ. අබේනායක මහත්තයා මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගෙන් අහලා. සුමන්තිරන් මහතා කාලයක් තිස්සේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී ඉඳපු නීතිඥයෙක්. ඔහු කියා තිබුණේ සමාව දීමේ තීන්දුව ජනාධිපතිවරයාට ගන්න පුළුවන් බව. ඒ කියන්නේ තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහතා අතේ බව.

ප්‍රශ්නය තියෙන්නේ රටම ඉල්ලන මේ ඉල්ලීම ඉටු කරන්න ඔහු තීන්දු කරයිද? නැති නම් රටේම ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයිද කියන එක.

කොහොම වුණත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයෙන් සමාව ඉල්ලිය යුතු බවත්, නිදහස් කරන්නේ සමාව ඉල්ලුවාට පස්සේ බවත් බන්ධනාගාර පුනරුත්ථාපන කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ දිවයින පත්තරේ නෝමන් පලිහවඩන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කරපු කරුණු විමසීමකදීත් උත්තර දෙමින් කියා තිබුණා.

ඒ අනුව අප කලින් කී උපමාවේ හැටියට බහිරවයාගෙන් වැඩක් ඉටු කරගන්න නම් බහිරව පූජාවක් දීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේදීත් ඔහු ඉස්මතු කරලා. ඊට අමතරව රන්ජන් රාමනායක මහතාගේ පවුලේ උදවිය ජනාධිපතිවරයාගෙන් සමාව දෙන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනෑ බවත් ඔහු කියලා.

මීට කලින් මිනීමරු කල්ලියක නායකයෙක් වන දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී, ලංකාවේ දැවැන්ත ආයතනයක් බාරදුන්න වෙලාවේ ඔය කොන්දේසි ඉටු වුණ බවක් වාර්තා වුණේ නැහැ. ප්‍රේමචන්ද්‍ර පවුලේ කිසිවෙකුගෙන් සමාව ඉල්ලූ බවක් වාර්තා වුණේත් නෑ. ඔය ඇමතිලාගෙන් ප්‍රකාශ ලබාගන්නා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වුව එයාලාට එහෙම නොවුණේ මන්දැයි හරිහමන් විමසීමක් කරලාත් නැහැ.