කොවිඩ් – 19 මර්දනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් හා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම හා හිංසනය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය වහාම නතර කළයුතු බව අයි.සී.ජේ. හෙවත් ජාත්‍යන්තර නීතිවේදී කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.ජේ. ආයතනය පෙන්වා දෙන්නේ රූපවාහිනී සාකච්ඡාවකදී අදහස් දැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි.
මීට පෙර අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් රෝගීන් ඉහළ යාම පිලීබඳව වෛද්‍ය නජිත් ඉන්දික මහතා ෆේස්බුක් හරහා මත පළ කිරීම පිළිබඳව ද සී.අයි.ඩීය හමුවට කැඳවා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.
ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ කිරීමේ චෝදනා මත විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අයි.සී.ජේ. ආයතනය පෙන්වා දෙයි.
අයී.සී.සී.පී.ආර් හෙවත් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් සඳහා සම්මුති නීතියේ 19 වගන්තියට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂීත කර ඇති බව අයි.සී.ජේ. ආයතනය සඳහන් කරයි.
කොවිඩ් – 19 රෙගුලාසිවලට මුවා වී රජයේ විවේචනකයින් බියගැන්වීම, අදහස් දැක්වීමේ නිදහසට ඇති අයිතියට ගරු කිරීම සඳහා වු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නෛතික බැදීමට පටහැනි ක්‍රියාවක් බව අයි.සී.ජේ. ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.