පාස්කු ඉරිදා නඩුවේ අධිචෝදනා වෙනස් කරනවාලු! මෛත්‍රීට නඩු වැටේවිද? නැද්ද?

පාස්කු ඉරිදා ප්‍රහායේ අධිචෝදනා සංශෝධනය වෙන කතාවක් දේශය පත්තරය වාර්තා කරලා.

නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් තමයි දේශය පත්තරය ඒ වාර්තාව කරලා තියෙන්නේ. මීට කලින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරපු නඩු පැවරීම්වලට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇතුළු පිරිසකට චෝදනා ගොනු නොකිරීම. ඇතැම් අය කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළේ පාස්කු ඉරිදා චෝදනා හේතුවෙන් ‘සිර වී’ සිටින බව.

කෙසේ වෙතත් මෑත දිනවල ශ්‍රීලනිපය ආණ්ඩුවට අභියෝගයක් වන අන්දමේ සාකච්ඡාවල නිරත වූ බවත් වාර්තා වුණා.

එමෙන්ම පරීක්ෂණවලදී යම්කිසි කුමන්ත්‍රණකාරී පසුබිමක් ගැන සඳහන් වූ ඇතැම් හෝඩුවා පස්සේ හඹා නොගිය බවත්, ඒ අනුව මේ පසුපස සිටි ‘මහමොළකරුවන්’ සොයා ගැනීමට කටයුතු නොකළ බවත් ඇතැම් අය චෝදනා කළා.

කෙසේවෙතත් දේශය වාර්තාවේ අධිචෝදනා සංශෝධනය කිරීමෙන් පස්සේ කලින් කී චෝදනාවලට පිළිතුරු සැපයීමක් වෙනවාද? නැද්ද? යන්න පැහැදිලි වෙන්නේ නැහැ.

වාර්තාව පහතින්,

‘අධිකරණ වාර්තාකරු

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පනවා ඇති ඇතැම් නඩුවල අධි චෝදනා පත්‍ර සංශෝධනයට ලක් කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

රජය විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන චූදිතයන්ට අදාළ චෝදනා වඩාත් විධිමත් ලෙස සනාථ කිරීමට හැකිවන ලෙස මෙම චෝදනා සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙම නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට මිනිමැරුම් චෝදනා යටතේ නඩු පවරා ඇත. පාස්කු ප්‍රහාරය සහ ඒ ආශ්‍රිත සිද්ධි ගැන දිවයිනේ මහාධිකරණ 4ක චූදිතයන් 25 දෙනකුට චෝදනා 13720ක් යටතේ මේ වන විට නඩු පවරා තිබේ. හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ පාලන කාලයේ පැවරූ මෙම නඩුවලට අදාළ ඇතැම් චෝදනා පත්‍ර සංශෝධනය ඉදිරි නඩු විභාගයන්ට පෙර සිදුකෙරෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.’

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ මහාධිකරණයක් පිහිටුවීම ගැනත් පසුගිය දවස්වල වාර්තා වුණා. මෙම ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉටු වීම කාර්යක්ෂම නැති බව කාලයක් තිස්සේ කතෝලික සමාජය, විපක්ෂය ප්‍රමුඛ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙනවා. එයට පිළිතුරු විදියට පොලිස්පතිවරයා කියා තිබුණේ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන නමුත් ඒවායේ තොරතුරු සියල්ල දැන්ම කිව නොහැකි බව. ඒ නඩු පැවරීමට බාධාවක් වන නිසා.

ඇතැම් විට මේ දේශය කියන අධිචෝදනා සංශෝධනය අලුතින් සොයාගත් කරුණු එකතු කිරීමක් වෙන්නත් පුළුවන්.