ගුරුවරුන් කියන දේ නොතකා හැර මහින්ද මව්බිමට කී කතාව! ගුරුවරුන්ට ඉල්ලීමක්

ගුරු ප්‍රශ්නය ගැන මේ වෙද්දී ගුරුවරුන් කියන කතාවට අබමල් රේණුවක සවේදීකමක් නැතිව, ඒ කතා ගැන කිසිම සඳහනක්වත් නැතිව අගමැති මහින්ද රාජපක්ෂ ඉරිදා පත්තරේට ප්‍රකාශයක් කරලා. ඒකේ සඳහන් වෙන්නේ ගුරු ප්‍රශ්නයට ‘සාධනීය විසඳුමක්’ දුන්නාලු. ඒ නිසා වැඩට එන්නලු.

ගුරුවරුන්ට ආණ්ඩුව දුන්නායැයි කියන විසඳුම ගුරුවරුන් පිළිගන්නේ නැහැ. පිළිනොගැනීමට හේතු සංකීර්ණයි. ආණ්ඩුව සයිවර් කඩේකට උදාහරණයක් ලෙස අරන් කීවොත් ටී එකයි බිත්තර රෝල් එකයි ඉල්ලූ කෙනාට ප්ලේන්ටි බාගයයි පකඩ කෑල්ලයි දීමක් තමයි කරලා තියෙන්නේ.

ආණ්ඩුව පැත්තේ අය වගේම ඒක සාධාරණීකරණය කරන අයත් කියන්නේ ‘දැන් තියෙන්නේ ඔච්චරයි’ තියෙන හැටියට තමයි දුන්නේ කියලා.

ඒත්, තියෙන දේවල් සය දෙන්න පුළුවන් දේ ගැන කතාව සංකීර්ණයි. ඒ ගැන ගුරුවරුන් කතා කළා. ආණ්ඩුව වෙනුවෙන් ෆේස්බුක් එකේ කමෙන්ට් දාන අය ගුරුවරුන් කියන දේ සම්පූර්ණයෙන් නොතකා හරිමින් බැණවැදීම වෙනම කතන්දරයක්. ආණ්ඩුවේ නායකයන් ඒකට වගකීම් සහගත ප්‍රතිචාරයක් දක්වනන එපායැ.

මව්බිමේ තිබුණ සම්පූර්ණ කතාව මේකයි.

‘ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට කොවිඩ් වසංගත තත්වය හමුවේද රජය විසින් සාධනීය විසඳුමක් ලබා දී තිබෙන නිසා වැඩ වර්ජනය නතර කර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යළි ඉගැන්වීම් කටයුතුවල නිරතවන ලෙසට තමන් විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය.

ගුරු මහත්ම මහත්මීන් මාස දෙකකට ආසන්න කාලයක් දුරස්ථ අධ්‍යාපනයෙන්ද ඉවත් වීමෙන් නිවෙස් සිට අධ්‍යාපනය ලැබූ දරුවන්ට අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරගෙන යෑමට නොහැකි වී ඇති නිසා රටේ අනාගතය භාරගන්න සිටින දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුදෙනාට ජාතික වශයෙන් වගකීමක් තිබෙන බවත් කොවිඩ් ලෝක වසංගතය හමුවේ රටේ ආර්ථිකය අභියෝගවලට මුහුණ දී සිටියද ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට සාධනීය විසඳුමක් ලබා දීමට වත්මන් රජය ක්‍රියා කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

වසර 24ක කාලයක් තිස්සේ පැවති මෙම ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට මෙවර අය වැයේ සිට අදියර 4ක් යටතේ විසඳුම් ලබා දීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් රුපියල් පන්දහසක මාසික දීමනාවක් ලබාදීමට අමතරව ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට අමතරව ගුරු මහත්ම මහත්මීන්ගේ තවත් ඉල්ලීම් ඉටු කිරීමටද රජය කටයුතු කරමින් සිටින මොහොතක තවදුරටත් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට තමා සමත්ත ගුරු ප්‍රජාවගෙන්ම ඉල්ලීමක් කරන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.’