පෝන් වීඩියෝ එකක් සහ ෆිල්ම් එකක් අතර බෙදුම් රේඛාව කොතනද?.. කේ.සංජීව

පහන්තුඩාවේ සිද්ධියට අදාළව නඩු කටයුත්තක් ආරම්භ වුණොත්, එහිදී ඔවුන් ප්‍රකාශ කළොත් අපි කළේ කෙටි චිත්‍රපටයක්.. ඒක අපේ ප්‍රකාශනයේ සහ භාෂනයේ අයිතිය කියලා අපි මොකද්ද කරන්නේ?.. කලා කෘතියක් සහ පෝන් ෆිල්ම් එකක් අතර තිබෙන වෙනස මොකද්ද? 9 songs වගේ ප්‍රකට චිත්‍රපටයක් සහ කලාත්මකව කළ පෝන් ෆිල්ම් එකක් අතර වෙනස මොකද්ද? ඒ වෙනස නඩු කටයුත්තකදී මනින්න පුලුවන් වෙනසක් ද?..

මේ වගේ චිත්‍රපටයක් කළාම ඒක ඒ සමාජයට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ඕනී නම් ඒක තහනම් කරන්න පුලුවන්. (පුද්ගලිකව මම ඒකට එකඟත් නෑ) විශේෂන් අධික ප්‍රචණ්ඩත්වයක් මුදාහරින චිත්‍රපට ඒ විදිහට සමහර රටවලදී වාරණයට ලක්වෙනවා. හැබැයි මට හිතෙන්නේ කාටවත් ඒක වාරණය කළා කියලා ඒ නිර්මානකරුවා හිරේ දාන්න බෙල්ල කපන්න අයිතියක් නෑ. ඔහුව පොලීසිගානේ රස්තියාදු කරන්න අයිතියක් නෑ.. ඉරාණය වගේ රටවල් මැදපෙරදිග මේක ආගමික නාමයෙන් සිද්ධ වෙනවා.

බුදුන් බුදුවෙන්න කලින් ඔහු ගෙවපු ලෞකික ජීවිතය අලලා කවුරුහරි ඉරොතික චිත්‍රපටයක් කළොත් අපි සමාජයක් විදිහට ඒක ඉවසනවද? නැත්තං ආණ්ඩුවට ඔත්තුව දීලා ඒ හදුපු මිනිහගෙ බෙල්ල කපලා දානවද?. එහෙම කරනවා නම් ඉරාණය වගේ රටක් සහ අපි අතර තියෙන වෙනස මොකද්ද?..

අනෙක් පැත්තෙන් අද සමාජය අස්සේ කොච්චර ප්‍රචණ්ඩත්වයක් තියෙනවද? මෙවැනි දේවල් ගැන ප්‍රශ්න කරන පන්සල් අස්සේ කොතරම් දරුණු විදිහට ලිංගික හිංසනය තියෙනවද? මුස්ලිම් සමාජයේ මුස්ලිම් පල්ලි අස්සේ කොච්චර ලිංගික හිංසනය ප්‍රචණ්ඩත්වය තියෙනවද? අපි මේවා ඉවසන ගමන් මේ වැනි ක්ෂුද්‍ර තලයේ දෙයක් අල්ලගෙන මේ නටන නාඩගමේ තේරුම මොකද්ද?..

මට හිතෙන්නේ මිනිස්සුන්ගේ රසවින්ඳනය ඔවුන්ට හොඳ දෙයක් තෝරාගන්නට අවශ්‍ය දැනුම රාජ්‍යකට සපයන්න පුලුවන්. ඒ අධ්‍යාපනය රාජ්‍යකට දෙන්න පුලුවන්. හැබැයි මිනිහෙක්ගේ ප්‍රකාශනයේ භාෂනයේ නිදහසට වැට බඳින්න රාජ්‍යට අයිතියක් නෑ..

කවුරුහරි පාස්කු ප්‍රහාරයේ සැඟවුන ඇත්ත කියලා වර්තමාන පාලකයන් විවේචනය වෙන විදිහේ වාර්තා චිත්‍රපටයක් හැදුවොත් ඒක හදපු එකා සුදු වෑන් එකකින් උස්සගෙන යන්න හරි බොල්ට් ගන් එකකින් හිස කුඩුකරලා මරන්න හරි රාජ්‍යයට හෝ එහි පාලකයාට අයිතියක් තියෙනවද? පල්ලියට අයිතියක් තියෙනවද මැරුණේ අපේ බැතිමතුන් ෆිල්ම් එකක් කරන්න එපා කියලා ඒක වාරණය කරන්න..

ලසන්ත වික්‍රමතුංග මැරුවා, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කළා මේවගැන කතාකරන එක අපේ ප්‍රකාශනයේ නිදහස. කෙනෙක්ට මේවත් බ්ලූ වෙන්න පුලුවන්. ඒත් කරන්න දෙයක් නෑ. දියුනු සමාජයක් නම් ඒක ඉවසන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂට රාජ්‍යයේ සල්ලිවලින් අම්මා තාත්තා සිහිවෙන්න කෞතුකාගාරයක් හදන්න පුලුවන්නම් ඒක විවේචනය කරලා පුරවැසියාට ෆිල්ම් එකක් හදන්න බැරිද? ඒක හැදුවාම රාජ්‍යයට පුලුවන්ද ඒ හදපු එකා කුදලන් යන්න..

මේවගේ ප්‍රකාශනයේ අයිතිය භාෂනයේ නිදහස ගැන අපිට කතා කරන්න පුලුවන්. මම හිතන්නේ අපි මිනිසුන්ට තෝරාගැනීමේ අයිතිය දෙන්න ඕනී. ඊට අමතරව මිනිස්සුන්ගේ ඔලු දියුනු කරන්න ඕනී. බොහෝ පුංචි ගැහැනු දරුවන් අතවරයට ලක්වෙන්නේ වැඩිපුර වයසක උදවිය අතින්. අපි හිත ඇතුලෙන් විශාල ලිංගික හිංසනයක් නඩත්තු කරමින් ඉන්නවා. ලංකාවේ මිනිස්සු ගැහැනු වැඩියෙන්ම කැමති මොන කැටගරියේ පෝන් බලන්න ද කියලා සමීක්ෂණයක් කළොත් මේක ගැන යම් දැනුමක් අපිට ලබන්න හැකිවෙයි.

පුංචි කාලේ ඉඳලා ලිංගිකත්වය සහ තමන්ගේ සරීර රසායනය තේරුණ් ගන්න අවශ්‍ය දැනුම දරුවන්ට දෙන්න. මම මගේ දරුවට කොන්ඩම් එකක් අතට දීලා ඉස්කෝලේ යවනවා කියලා කියන කොළඹ හතේ නෝනලාගේ ප්‍රවේශයෙන් නෙවෙයි ඒ දැනුම දෙන්න ඕනී.. ඒවා නිකං ප්‍රබන්ධ බටහිරක් ඔස්සේ එන විකාර. මේ ප්‍රශ්නය අවුලෙන් අවුලට අරගෙන යන්නත් මෙවැනි ප්‍රවේශයන් එක හේතුවක්..

ලෝකයේ දියුනු රටවල්වල එහෙම අම්මලා තාත්තලා ඇති හැබැයි ඒක බහුතරය නෙවෙයි.. ඒනිසා ලිංගික අධ්‍යාපනය කියන දේ වුණත් වැරදි කොනෙන් නොඅල්ලා දරුවන්ට දියයුතුයි. අනෙක් පැත්තෙන් කාම සාහිත්‍යකට තියෙන ඉඩ තව තවත් පුලුල් කරන්න ඕනී. ජපානය වගේ රටක තත්ත්වය ගැන නිකං හිතන්න..

අවසානයට කියන්න තියෙන්නේ පන්සල්වල හාමුරුවන්ට තියෙන්නේ ශාසනේ බලාකියාගෙන වැඩවසන්න.. පල්ලිවල පූජකයන්ට තියෙන්නේ පල්ලිවල කටයුතු කෝවිල්වල කටයුතු කරගෙන යන්න.. ලෞකික සමාජය ගැන තියෙන ඇල්ම බැල්ම අත්හරින්න. ලෞකික සමාජය ප්‍රතික්ෂේප කරලා ලෝකෝත්තර සුවයක් හොයාගෙන ගියාට පස්සේ ආයේ මොන බම්බුවකටද බ්ලූ බලබල කාලේ නාස්ති කරන්නේ..