විනිසුරුවරුන්ගෙන් සමාව ඉල්ලුවොත් රන්ජන් ගැන ජනාධිපතිගෙ අවධානය යොමුවෙයිලු!

  • ජනපතිගේ අවධානය ගන්න වතාවක් ඉටු කරන්න ඕනෑද? ජනාධිපති කතරගම දෙයියෝද?

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා.

ඒත් මව්බිම පත්තරෙන් අහපු වෙලාවක බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියා තිබුණේ රන්ජන්ට සමාව දෙන්න නම් විනිසුරුවරුන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෑ බව. එහෙම වුණොත් ජනාධිපතිවරයා මේ ගැන සලකා බලනු ඇති බව ඔහු කියා තිබුණා.

මේවා ඉතාම බොළඳ, බාල ප්‍රකාශ. මොකෝ? ජනාධිපතිතුමා කියන්නේ කතරගම දෙවියන්ද? අහවල් වතාවත් ටික කළොත් අවධානය යොමුවේවි කියන්නේ? ජනාධිපති තනතුරේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා. ඔහුගේ අවධානය ගන්න නම් විශේෂ ‘වතාවත්’ ඉටු කරන්න ඕනෑ නැහැ.

මොකක්ද මේ? ‘ට්‍රෙෂර් හන්ට්’ (හොලිවුඩයේ නිධන් හොයන) ෆිල්ම් එකක ප්ලොට් එකක්ද? පරණ බෝතලේක දාපු, කොළ කෑල්ලක ලියල තියෙන්නේ, නිධානය ගන්න නම් අහවල් දේ කරන්න ඕනෑ කියලා. එතකොට චිත්‍රපටියේ වීරයෝ ඒ දේ කරන්නේ නිධන් හොයන චිත්‍රපටිවල.

රන්ජන්ට සමාව දෙන්න ඕනෑ බව රටේ අතිබහුතරයකගේ මතය. විශේෂයෙන් ගෝඨාභය බලයට ගේන්න තමන්ගේ ස්වාධීන ජීවන පැවැත්මත් අවදානමේ දාගෙන දේශපාලන වේදිකාවට නැග්ග අය. සමහරවිට ඒ දේශපාලන පෙනීසිටීම් නිසා අද සමාජය ඉස්සරහා ලැජ්ජාවට පත්වෙන උදවිය පවා රන්ජන්ට සමාව දෙන්න කියලා ඉල්ලනවා.

එහෙම පසුබිමක රන්ජන් ‘වතාවත්’ ඉටු කරන්න ඕනෑ කීම ලැජ්ජා නැති වැඩක්. අනෙක ඔච්චර වතාවත් ඕනෑ නම් ආණ්ඩුවට හිතවත් නළුනිළියන් ප්‍රසිද්ධියේ කරපු ‘කන්නලව්’ ටිකටවත් ඇහුම්කන් දෙන්න ඕනෑ. සමාව දීමේ බලය තියෙන ‘ජනාධිපති දෙයියා’.

මේ නඩුවට කලින් ඉඳලාම රන්ජන් රාමනායක මහතා කීවේ තමන්ගේ ප්‍රකාශය ගැන කණගාටු වෙන්නේ නැති බව. ඔහු ඒ ගැන ඍජුව සිටියා. බන්ධනාගාරගතවීමට සූදානමින් හිටියා. එහෙත් බන්ධනාගාරයක කාලය ගත කිරීම මනුස්සයෙකුට ලෙහෙසි දෙයක් නෙවෙයි. ආත්මීයව කෙනෙක් දුර්වල වෙන්න පුළුවන්. ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් වුණත්.

ඉතින්, ඒ තත්වයේ වාසිය අරන් රන්ජන් රාමනායකගේ කොන්ද කඩා දාලා එළියට දාන්නද වුවමනාව. ඇත්තටම කතා කිරීමෙන් පස්සේ හිරේ දැමීම ගැන රන්ජන්ගෙන් මේ රටේ නීතිය, යුක්තිය ඉටු කරන සිස්ටම් එකම සමාව ගන්න ඕනෑ බව තමයි අපේ අදහස. මහා ඝාතන අපරාධ නොවිසඳී, අපරාධකරුවන් හිරේ නොගිහින් ඉන්න රටක තමන්ගේ හිතේ තියෙන දෙයක් කීව පළියට හිරේ යන්න සිදුවීමයි ඇත්තම වරද.

මුළු රටම රන්ජන්ගෙන් සමාව ගන්න ඕනෑ වෙලාවක, සමාව දෙන්න නම් රන්ජන් සමාව ගන්න ඕනෑ කීම මොන ලැජ්ජා නැති වැඩක්ද?

එතකොට දුමින්දට සමාව දුන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ සාමාජිකයෙකුගෙන් සමාව ඉල්ලුවාට පස්සේද?

මීට කලිනුත් ලොහාන් රත්වත්තේ ඔය වගේම ‘පාදඩ’ පන්නයේ කතාවක් කියා තිබුණා. ඒ සමාව දෙන්න බැරි තරම් වරදක් රන්ජන් කර ඇති බව.

ඔහුට අනුව මිනීමැරීමේ චේතනා සහිත කල්ලියක නායකයෙක් වෙච්ච දුමින්දට වඩා ‘අපරාධයක්’ තමයි තමන්ගේ මතය කීව රන්ජන් කරලා තියෙන්නේ.

රන්ජන්ට සමාව ඉල්ලලා සජිත් ප්‍රේමදාස මහතා පහුගිය සතියේ තවත් ඉල්ලීමක් කළා.

ඒ වගේම ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට උත්තර දෙමින් රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි කියා තිබුණේ රන්ජන් කිසි කෙනෙකුගෙන් සමාව ඉල්ලන්න ඕනෑ නැහැ කියලයි.