නවසීලන්තයේදී ලාංකිකයා එල්ලකරපු ත්‍රස්ත ප්‍රහාරයේ කතාව! අගමැතිනිගේ උත්තරය

‘අද සිද්ධවුණ අපරාධය නින්දා සහගතයි. වෛරී සහගතයි. එය වැරදියි. ඒක කළේ තනි පුද්ගලයෙක්. ආගමික ඇදහීමක් නෙවෙයි. මේ ක්‍රියාව කළ පුද්ගලයා හැර වෙන කිසි කෙනෙක් ගැන මේ පිළිබඳ වෛරයක් ඇති කරගැනීම සුදුසු නැහැ.’

නවසීලන්තයේ සැප්තැම්බර් 03 වැනිදා පුද්ගලයෙක් එල්ල කරපු ත්‍රස්ත ප්‍රහාරය ගැන එරට අගමැතනි ජෙසින්ඩා ආර්ඩෙන් එහෙම කීවා. අපරාධය සිදු වූ විගස රටක ඇති විය හැකි ජාතිවාදී කලබල ගැන අවබෝධයෙන්, වගකීමෙන් ඇය කටයුතු කරපු ආකාරය දකිනකොට අපට හැඟෙන්නේ.

සිද්ධියට මැදි වූ පුද්ගලයා ලාංකිකයෙක්.

සැප්තැම්බර් 03 සිකුරාදා හැන්දෑවේ (ලංකාවට කලින් නවසීලන්තයට හැන්දෑ වෙනවා.) නවසීලන්තයේ ඕක්ලන්ඩ්වල නිව් ලින් කියන ප්‍රදේශයේ ලින්මෝල් කියන සුපර්මාකට් එකට ඇතුළුවෙලා පුද්ගලයන්ට පිහියෙන් ඇනීමට තමයි ඔහු කටයුතු කරලා තිබුණේ. පොලිස් නිලධාරීන් ඇතුළු හයදෙනෙකුට ඔහු පිහියා පාරවල් ඇනලා. ඒක මැඩපවත්වන්න පොලීසිය ඒ පුද්ගලයාට වෙඩි තියලා. ඒ පුද්ගලයා හිංසාකාරී ලෙස හැසිරෙන්න පටන් ඇරන් තප්පර හැටක් ඇතුළත වෙඩි තබමින් ඔහුව පාලනය කරන්න සිද්ධවෙලා.

මේ ශ්‍රී ලාංකික ජාතික පුද්ගලයා අයිඑස් මතවාදයට හසු වූ කෙනෙක් බව නවසීලන්ත අගමැතිනිය තමන්ගේ ප්‍රකාශයේදී කීවා. ඒ වගේම මීට කලින් ඉඳලාම එම පුද්ගලයාගේ හැසිරීම් නිරීක්ෂණයට ලක් කර තිබූ බවත් ඇය කීවා.

මේ පුද්ගලයා කැබිනෙට්ටුවක තිබුණ පිහියක් තමයි අරගෙන පුද්ගලයන්ට පහරදීලා තිබුණේ. ඒ පුද්ගලයා උමතුවෙන් වගේ දිවගිය බවත්. ‘අල්ලාහු අක්බර්’ නම් පාඨය කියමින් කෑ ගැසූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ එක්කම පුද්ගලයා පටිපස්සේ හිටපු අන්ඩර්කවර් නිලධාරියෙක් ඇවිත්, එතැන සිටි කාන්තාවක් ආරක්ෂා කරමින් වෙඩි තැබීම කළ බව වාර්තාවල සඳහන්.

පහරදුන් පුද්ගලයාගේ නම ඇතුළු තොරතුරු කිසිවක් මේ සටහන ලියන මොහොත වනතුරු ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. 2011 දී නවසීලන්තයට ඇවිත් තියෙන ඔහු, ආරක්ෂාව පිළිබඳ අවධානයට ලක් වෙලා තිබුණේ 2016 දී. කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වන කිසිදු වරදක් කර තිබුණේ නැහැ.

ඇතැම් අය ප්‍රශ්න කර තිබුණේ අදාල පුද්ගලයා පොලිස් නිරීක්ෂණය යටතේ සිටියේ නම්, සය දෙනෙකුට පිහියෙන් අනිනතුරු වළක්වන්නට බැරි වුණේ ඇයිද කියායි. ඒ ගැන පැහැදිලි කරමින් පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් කියා තිබුණේ යම් පුද්ගලයෙකු විසිහතර පැයේ නිරීක්ෂණයට ලක් කර තිබුණත් ඒ පුද්ගලයා සමීපයේ සෑම මොහොතකම ගැවසෙන්න අසීරු බව. හැකි පළමු මොහොතේම මේ ක්‍රියාව නැවැත්වූ බවත් ඔහු පැහැදිලි කර තිබුණා.

ලංකාවේ ත්‍රස්ත ක්‍රියා ගැන සැකයක් තිබුණ උදවියත් මෙවැනි නිරීක්ෂණයකට ලක් වුණේ නම්, ජීවිත තුන්සිය ගාණක් අහිමි වූ අපරාධයක් වළක්වාගන්න හැකිවෙන්නට ඉඩ තිබුණා.

අපටත් මේ වගේ නායක නායිකාවන් හිටියා නම් කියලා. මොකද, ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම කෙසේ වෙතත් පුංචි ගැටුමක් හේතු කරගෙන 2014 අලුත්ගම සහ 2018 දී තෙල්දෙණියේ මහා විනාශයක් සිද්ධ වුණා. එකිනෙකට වෙනස් ආණ්ඩු දෙකක වගකීමක් නැති ආණ්ඩු ඒවා සිද්ධවෙන්න ඉඩ හැරියා. කලබල සමනය කරන්න උත්සාහ කළේ නෑ. ඊට පස්සේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා අර්බුදය උග්‍ර වූ විදියත්, එතෙක් ගත යුතු පියවර නොගත්ත එකත් ගැන කුමන කතාද? ඒ ප්‍රහාරය අවසන් වූ විගස රටේ සාමය, ආදරය පැතිරවීමට අසමත් වෙච්ච පාලකයන් නිසා මාසයක් යද්දී මිනුවන්ගොඩ, කුලියාපිටිය වගේ ප්‍රදේශවල දරුණු ජාතිවාදී ගැටුම් ඇති වුණ හැටි මතකද?

රටේ සමගිය තියාගන්න අසමත් පාලකයන් ඉන්නකොට එහෙම තමයි. ජෙසින්ඩා ආර්ඩෙන් මැතිණිය ජනතාව අතර වෛරය ඇවිළෙන්නේ නැතිව තියාගන්න හැකි උපරිමය කරන බව පේනවා.