මිල පාලනයේ විනාසය, පිළිකාවක් වගේ පැතිරෙන හැටි! මහාචාර්ය රොහාන් සමරජීවගේ විග්‍රහය

ආණ්ඩුවේ නායකයන් පසුගිය මාස ගාණක් තිස්සේ උත්සාහ කරන්නේ වෙළඳපළ පාලනය කරන්න. පාලන මිල ගැසට්, වෙළෙන්දන්ට තර්ජන, වැටලීම්, ආණ්ඩුවෙන් ව්‍යාපාර කිරීම, සතොසෙන් බඩු ලබා දීම ආදී නොයෙකුත් උත්සාහයන් මේ වෙළඳපළ පාවිච්චියට ආණ්ඩුව යෙදෙව්වා. ජීවන වියදම පාලනයට අලුත් ක්‍රමයක්. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කරලා, ඉතා දැඩි මිල පාලනේකට ලෑස්ති වෙනවා. මෙවැනි පසුබිමක වෙළඳපළ පාලනය කරන එක සාර්ථක වෙයිද? අසාර්ථක වෙයිද? මේක යන්න පුළුවන් කොතැනටද වගේ කාරණා අපි මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ඇහුවා.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්න උත්සාහය සාර්ථක වේවිද?

අපි මෝඩ මිල පාලනය අයින් කරලා හිතමු. මෝඩ මිල පාලනය. අපට ඇස්දෙකට පේනවානම් අමුද්‍රව්‍යවල මිල සිල්ලර මිලට වඩා වැඩි බව, මිල පාලනය කරන්න බැහැ. ගෑස් ප්‍රශ්නය ඒ වගේ එකක්. එහෙම කරන්න හැදුවොත් එක්කෝ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ආණ්ඩුවේ ව්‍යාපාරයක් නම් කරේ තියාගෙන යන්න වෙනවා. නැත්නම් මට මේක කොරන්න බෑ කියලා ව්‍යාපාරිකයා වැඩේ නවත්වනවා.

එහෙම අවස්ථාවක මිල පාලනය ගැන කතා කරලා වැඩක් නෑ..

ඒ නිසා ඒක පැත්තකින් තිබ්බා. ඒකෙදී කරන්න ඕනෑ මිල සූත්‍රයක් දාලා ඒක අනුව නියම කරන්න පුළුවන් උපරිම මිලක්. තරගකාරී සමාගම් තියෙනවානම්, තව ගෑස් කම්පැණියක් ගන්න පුළුවන් නම්.

භාණ්ඩය අඩු මිලට දෙන්න තරගයක් ඇති වෙනවා..

එහෙම උත්සාහයක් තිබුණත් ඒක අසාර්ථක වෙලා තියෙනවා. හැටහුටහමාරක් සල්ලි වියදම් කරලා හම්බන්තොට ටර්මිනල් එකක් හැදුවා. ඒකෙන් බංකොළොත් වෙනවා. සීනි වුණත් අපි දන්නවා වරායෙන් බාලා, තීරු බදු ගෙව්වාම කොච්චර වියදමක් යනවාද කියලා. සීනි, පරිප්පු වගේ භාණ්ඩවලට දෙන්න පුළුවන් සිල්ලර මිලට වඩා පාලන මිල අඩු නම්, අඩු මිලට විකුණන්නේ පිස්සෝ විතරයි. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ හැරෙන්න අනෙක් ඒවා ගැන කතා කරමු.

ඒ කියන්නේ සතොස වගේ තැනකින් භාණ්ඩ පාලන මිලට විකිණීම..

ආණ්ඩුවට කියන්න පුළුවන් අපි ඕගොල්ලන්ට මේ මිලට දෙනවා. සතොස හරහානේ කරනවා කියන්නෙ. එක්කෝ ආණ්ඩුව කියන්න ඕනෑ, මෙතැනින් දෙනවා. මෙතැනට ගිහින් ගන්න කියලා. මං එතැනට ගිහින් බඩු ගන්න යන එක කරදරකාරී වැඩක්නේ. ගොඩක් අය ඉන්න තැන්වල සතොසවල් නෑ. අනෙක ඒකට අවශ්‍ය ධාරිතාවක් නෑ.

පාරිභෝගිකයා ඔය විදියට යම් කරදරවලට මුහුණපානකොට, යම් කෙනෙක් ඕවා එළියට අරන් එළියේ වෙන ගණන්වලට විකුණන්න පටන්ගන්නවා. ලාභ උපයන්න. නැත්තනම් ඇතුළේ ඉන්න අයට තේරෙනවා මේ ගේම් එක මොකක්ද කියලා. පිටිපස්සේ දොරෙන් බඩු එළියට දානවා.

ඒ කියන්නේ සතොසට ගිහින් බඩු ගන්න අමාරු වෙනකොට, පිට තැන්වල හොරෙන් බඩු විකුණන්න ගන්නවා..

කළු කඩයක් බිහි වෙනවා. එතකොට ඒ කළු වෙළඳපළ පාලනය කරන්න පොලීසිය දාන්න, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්ලා දාන්න සිද්ධවෙනවා.

හාල් පොලු..

මීට කලින් හැත්තෑ ගණන්වල මිරිස් පොලු, හාල් පොලු දැම්මේ ඒ නිසා. ඒ කාලෙ වාහන නවත්තලා බලනවා මිරිස් තියෙනවාද කියලා. අපි බස්වල ගියේ, බස් එක නවත්වලා නැගලා බලනවා මිරිස්, හාල් ගෙනියනවද කියලා.

හැබැයි සම්පූර්ණයෙන් පාලනය කරන්න බැරි වුණා..

ඔය විදියට පරීක්ෂා කරන්න වුණේ කළු වෙළඳපලක්, දූෂිත ක්‍රමයක් නිර්මාණය වූ නිසා. ඔය කාලයේ සමහර ධනවතුන් බිහි වූ බව කියනවානේ, සතොස ක්ලාර්ක්ලා විදියට ඉඳලා. දේශපාලනඥයන්ට විවිධ භාණ්ඩ සැපයීම ආදිය කරලා.

උදාහරණයක් විදියට ඔය කාලයේ කිරිපිටිවලට හරි වටිනාකමක් තිබුණා. විශේෂයෙන් ළදරුවන්ට කිරිපිටි හොයලා දෙන්න වෙනවානේ, අම්මාගේ කිරි බොන්නේ නැති නම්. කිරිපිටි බොන අය වෙනුවෙන් කිරිපිටි කළු කඩයක් හැදුණාම, ඒකෙන් ධනවත් වූ අය හිටියා. ඒ නිසා ඔය පාලනය කෙරෙන දෙයක් නෙවෙයි.

දැන් කීල්ස් වැනි ආයතනවල පරිගණක සිස්ටම් එකකින් යන්නේ. විකිණෙන ගාණ සාක්ෂි විදියට තියෙනවා. පොඩි ගම්වල කඩේ වගේ තමයි විකුණන මිලගණන් ගැන සාක්ෂි නැත්තේ.

පාලන මිලක් දාලා ආණ්ඩුවෙන් අඩු මිලට දාන්න ගත්තාම පෞද්ගලික කඩකාරයන්ට මොකද වෙන්නේ?

පාලන මිලට වැටෙද්දී අර ව්‍යාපාරිකයන්ට ඒ මිලට දෙන්න බෑනේ. පාඩුවට කරන්න බෑ. කීල්ස් එකේ වගේ (සුපර්මාකට්වල) දැනටමත් සමහර භාණ්ඩ කෝටා විදියට දෙන්න පටන් අරන්. අහවල් භාණ්ඩයෙන් පැකට් එකයි ගන්න පුළුවන්. හාල් සේරු මෙච්චරයි වගේ.

ඇයි එහෙම පෞද්ගලික ව්‍යාපාරිකයන් සීමා දාන්නේ? එයාලාට ඕනෑ භාණ්ඩය හැකි තරම් විකුණන්නනේ..

ඔවුන් ඒක කරන්නේ අනෙක් බිස්නස්  බේරාගන්න. කීල්ස් එකේ හාල් ගන්න නැත්නම්, මිනිසුන් එන්නේ නැතිවෙන්න ඉඩ තියෙනවා. ඒකට ලොස්ට් ලීඩර් කියා කියනවා. ඒ කියන්නේ ආණ්ඩුවෙන් දඩ කන්න බැරි නිසා පාඩුවට හෝ අවම ලාභයක් එක්ක දෙනවා. හැබැයි මැනලා කෝටාවලින් දෙන්නේ. ඊට පස්සේ ඒ භාණ්ඩයේ පාඩුව පියවනවා අනෙක් වෙළඳාම්ලින්. වෙනත් බඩු විකුණලා.

ඒ කියන්නේ පාරිභෝගිකයා දිගටම ගෙන්වාගන්න තමයි අර මිලට, කෝටා විදියට දෙන්නේ..

පාරිභෝගිකයාව නොඑන එක වළක්වාගන්න. ඒ ලාභය අල්ලන්නේ කුකින් ඔයිල්වලින් හරි, වෙන භාණ්ඩයකින් හරි. කොහොමහරි මේ විදියට එක් භාණ්ඩකට හෝ දෙකකට සීමා වැටෙද්දී අනෙක් භාණ්ඩවලට බලපානවා. ඊළඟට උයන තෙල් හිඟයි කියා හිතමු. පොල්තෙල්, සෝයා තෙල් වගේ.

ඒ කියන්නේ එක භාණ්ඩයක මිල බලෙන් අඩු කරලා තියාගනිද්දී, වෙළෙන්දන්ගේ ලාභය පවත්වාගන්න තවත් භාණ්ඩවල මිල ඉහළ යනවා..

එහෙම වුණාම, ඒවායේත් මිල පාලනය කරන්න වෙනවා. ඒ කියන්නේ මිල පාලන ගේම් එකට ගියාම ඉවරයක් නෑ. පිළිකාවක් පැතිරෙනවා වගේ පැතිරෙනවා. ටික කාලයක් ගියාම මුලක් අඳුනගන්න බෑ.

අන්තිමේ ව්‍යාපාරිකයන්ටත් ඔය කියන මිට පාඩු පිට බිස්නස් කරන්න බැරිව ගිහින්, අතාරින්න වෙනවා. ආණ්ඩුවෙන් නීතියක් දාලා සම්පූර්ණ වෙළඳාම තමන්ගෙ යටතට පවරාගත්තෙ නැති වුණාට, ඉබේම සිල්ලර වෙළඳාම් කරන වගකීම ආණ්ඩුවට පැවරෙනවා..

හැත්තෑ ගණන්වල මායි සුජාතායි (මහාචාර්යවරයාගේ බිරිඳ වන ආචාර්ය සුජාතා ගමගේ) යනවා බඩු ගේන්න. ඒ සතියේ දෙන ඕනෑ දෙයක් ගන්නවා. එදාට මාදුරු දුන්නොත් ඒක ගන්නවා. ජරා මාදුරු ඉතින්. සත්තු අයින් කරලා, වේලලා ගන්නවා. මාස ගාණකට පාවිච්චි කරන්න තරම් දෙනවා. හාල්, පරිප්පු, කරවල, හාල්මැස්සන්, සුදුළූණු, කුළුබඩු වගේ විවිධාකාර භාණ්ඩ ඔය විදියට සලාක ක්‍රමයට දෙනවා. ඔක්කොම ගන්නේ සම්පකාරයෙන්. එළවළු වෙළඳපොළ තමයි ආණ්ඩුව පාලනයට ගත්තේ නැත්තේ. එළවළු අපට තෝරලා ගන්නවා. ඒත් අරවා ගන්නේ දෙන විදියට තමයි.

ඒ කියන්නේ අපි කන දේ අපට තෝරන්න බෑ. ඒක තීන්දු කරන්නේ ආණ්ඩුව

අපි මේ සතියේ හාල්මැස්සෝ කන්නේ නෑ කියලා තෝරාගැනීම් නෑ. උන් තමයි තීරණය කළේ අපි කන්නේ මොනවාද කියලා. ඕක තමයි අන්තිමට ගිහින් මේක ඉවරවෙන තැන. ඉවරවෙන්නේ පුද්ගලික වෙළඳාම නතර වෙනවා. ආණ්ඩුවේ කඩවලින්ම වෙළඳාම් කරන්න වෙනවා. මේකෙන් ගැලවෙන්න පුද්ගලික වෙළෙන්දා එක එක ජිල්මාට් දානවා.

දැන් ආණ්ඩුවේ සතොස වගේ ආයතනවලට පුළුවන්ද ඕක කරන්න?

ඇත්තටම සතොස කියන එකේ ‘තො’යන්නෙන් කියන්නේ තොග කියලා. සමුපකාර තොග වෙළඳ සංස්ථාව. ඒ අනුව තොග වෙළඳාමට හදපු ආයතනයේ කඩ ඇරපු එකත් වැරදියි. දැන් කෝප් සිටි කියලා දාන එක තමයි සමූකාරය. ඒක තමයි සිල්ලර භාණ්ඩ වෙළඳාම කරන පැත්ත. දැන් තොග වෙළඳාමට ගත්ත එක සිල්ලර වෙළඳාම පටන් අරන්. සිල්ලර වෙළඳාමට දාපු එක අභාවයට ගිහින්. ඔය විදියට ආණ්ඩුව වෙළඳාම් කරන එකෙන් හැදෙන තත්වය තමයි ඒ.

ඉස්සර පැඩි මාකටින් බෝඩ් (වී අලෙවි මණ්ඩලය) කියලා එකක් තිබුණානේ. (මැකී ගිය ආයතනයක් විදියට තවම තියෙනවා.) ඒ කාලයේ රටේ සියලුම වී මිලදී ගත්තේ ඒගොල්ලන්. ඒත් විවෘත ආර්ථිකය ආවාට පස්සේ ඕකෙන් වැඩක් නැතිව ගියා. වී කුණු වෙනවා, අරවා මේවා කියලා වැහීමට ආසන්න තත්වයකට ගියා. ගුදම් ආදිය නැතිව ගියා. වැහුවේ නෑ ඉතින්. ලංකාවේ රජයේ ආයතන එහෙම වහන්න බෑනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ මේක යළි පණගන්වන්න හැදුවා. ඒත්, ගුදම් ආදිය නොතිබුණ නිසා ඒක හරි ගියේ නෑ.

කොහොමහරි දැන් නැවත ඔවුන්ට ඕනෑ වෙනවා ඔය වගේ වෙළඳ ජාලයක්. දැන් මම පත්තරේ දැක්කා, මිලියන හත්සිය ගාණක් වියදම් කරලා සතොසෙන් පටන්ගන්න යනවාලු කාබනික ආහාර ජාලයක්. මං ට්වීට් එකකිනුත් ඇහුවේ මේකට සල්ලි හොයාගන්නේ කොහොමද කියලා.

සල්ලි නෑනේ..

මම බැලුවා 2020 මුලු ආදායම බිලියන 906යි. ඒ අවුරුද්දේ වැටුප් සඳහා බිලියන 516ක් අවශ්‍යයි. විශ්‍රාම වැටුප්වලට 160යි. ඒ දෙක ඉවරවුණාම සීයට 58ක් ඉවරයි. ණයවල පොළී ගෙවීම සඳහා බිලියන 652යි. ඒ කියන්නේ වැටුප් ගෙවන්නට යන වියදමට වඩා ණය පොළී වියදම වැඩියි. ඒ ටික එකතු වුණාම ආණ්ඩුවේ සියලුම ආදායමත් මදි. ඒ දෙකට විතරක්.  ඉතින් වෙළඳාමට කොහොම ආයෝජනය කරනවාද කියලා මට හිතාගන්න බෑ. මනස්කල්පිත මුදල්වලින් මනස්කල්පිත වෙළඳ ජාලා හැදීමක්.