සජිත්ට නොදැනෙන ගිල්ටිය : ජෝසප් ගිලටින්

ඒ , ප්‍රංශයේ නාස්තිකාර රජ පවුල් හා සැප සනීප පූජකයන්ගේ උමතු නැටුම් පිරි සමයයි. මිනිසුන් ලක්ෂ ගණනින් ජීවන වෘත්තියෙන් පාරට දමමින් කුසගින්නට තල්ලු කළ සමයයි. එක්තරා ආකාරයට සමස්ත ලෝකයේම මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් විෂයෙහි පෙරලියකට කොන්දේසි සකස් වෙමින් පැවැති තත්ත්වයයි. හරියටම ප්‍රංශ විප්ලවයට අඩ සියවසකට පෙර කැලැන්ඩරයට තවත් දිනයක් පෙරලුණේ 1738 මැයි 28 හැටියටය. පුරාණ කතාවල සඳහන් වන අන්දමට කැතරින් රෝදයෙන් මරා දැමුණු මිනිසකුගේ අවසන් විලාපයෙන් හටගත් ත්‍රාසය නිසා අගාතා නමැති ගැබිණිය ප්‍රසූත වේදනාවෙන් පෙලුණේ මේ දිනයේය. ජෝසප් ඇලෙක්සන්දාර් ගිලටින්ට දාව තමා උපත දුන් පුත්‍රයා පසුකලෙක ප්‍රංශ විප්ලවයේ පමණක් නොව සමස්ත ලෝක ඉතිහාසයෙහි නොමැකෙන සටහනක් තබනු ඇතැයි අගතා නොසිතන්නට ඇත. පුතු ජෝසප් ඉග්නේස් ලෙස නම් කෙරිණි.

ගිනිකොණදිග ප්‍රංශයේ ජෙසුයිට් නිකායකින් ඉග්නේස්ට ප්‍රාථමික අධ්‍යාපනය දෙන්නට ගිලටින් පවුල් තීරණය කළේය. ද්විතියීක අධ්‍යාපනය සාර්ථක කරගත් ඉග්නේස් 1761 දෙසැම්බරයේදී බෝර්ඩියැක් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ අවුරුදු විසි තුනේදීය. ඔහුගේ උපාධි නිබන්ධනය කෙරෙහි ආශක්ත වූ ජෙසුයිට්වරු බෝර්ඩියැක්ස්හි අයිරිෂ් විද්‍යාලයේ සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය ධුරය පවා ඔහුට පිළිගැන්වූහ. කෙසේ වෙතත් වසර කීපයකට පසු ඉග්නේස් පැරිසිය බලා පිටත් වූයේ ඇන්ටෝනියා පෙටිට් වෛද්‍යවරයාගේ ගෝලයකු ලෙස වෛද්‍ය කර්මය හැදෑරීම ආරම්භ කරමිනි. 1768 දී රෑම්ස් වෛද්‍ය පීඨයෙන් ඩිප්ලෝමාවක් ලැබූ හේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ 1770 දී පැරිස් වෛද්‍ය විද්‍යාලයෙනි. වැඩි කල් නොගොස් ජෝසප් ඉග්නේස් ගිලටින් යන නාමය පැරිසිය පුරා පැතිර ගියේ දක්ෂ වෛද්‍යවරයකු හැටියටය. ප්‍රාණ ඝාතය හා වධහිංසාව සම්බන්ධයෙන් වූ ක්‍රියාවලින් ගැන ජෝසප්ගේ අවධානය යොමුවූයේ මේ අතරේය.

තාරකා විද්‍යාවට උනන්දු වෛද්‍යවරයකු වූ ෆ්‍රාන්ස් මැස්මර් ඇනිමල් මැග්නෙටිසම් හෙවත් මෝහන විද්‍යාව නමැති න්‍යාය ප්‍රසිද්ධියට පත්කිරීම සමග ඊට එරෙහිව විවිධ මත පළවිය. මැස්මර් පැවසුවේ අදෘෂ්‍යමාන ස්වාභාවික බලවේගයකින් සතා සිව්පාවා පමණක් නොව එළවඵ වැනි දේ ද පාලනය වන බවයි. සමාජයේ හටගත් කැළඹීම නිසා 16 වැනි ලුවී රජු මේ ගැන සෙවීමට ජෝසප් ගිලටින් ඇතුඵ විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කළේය. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ද මෙම කොමිසම් සාමාජිකයෙකි. කොමිසම මගින් ෆ්‍රාන්ස් මැස්මර් වංචාකරුවකු වෙද්දී ඊට සමගාමීව ජෝසප් ගිලටින්ගේ නාමය ජනයා අතර පතළේය. 1788 දී පැරිස් පුරවැසි පෙස්සම් ද ඇතුලත් කරමින් ජෝසප් කුඩා පොතක් සැකසුවේ ස්ටේට් ජෙනරලය හෙවත් මහා ප්‍රජාව වෙනුවෙන් සුදුසු ව්‍යවස්ථාවක් සඳහා යෝජනා කරමිනි. එහෙත් ප්‍රංශ පාර්ලිමේන්තුව මීට එරෙහි වූයේ අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් හේතු දක්වන්නැයි ගිලටින්ට කියා සිටිමිනි. එහෙත් ඔහුගේ විත්තිවාචකයට පැරිස් ජනයාගෙන් නොමද සහායක් ලැබුණු අතර ඔහු චෝදනාවෙන් නිදහස් වූයේ වඩාත් ජනප්‍රිය දේශපාලන නායකයකු වෙමිනි.

එවකට ප්‍රංශ සමාජය ප්‍රජා ගණ හතරකින් යුතු විය. ජෝසප් ගිලටින් නියෝජනය කළේ තෙවැනි ප්‍රජා ගණයයි. ගොවීන් ශිල්පීන් හා වෙළෙඳුන් වෛද්‍යවරුන් නීතිඥවරුන් ඇතු`ඵ මධ්‍යම පාංතිකයෝ ඊට අයත් වූහ. ප්‍රංශ විප්ලවයේදී සක්‍රීය ලෙස වඩාත් ආක්‍රමණශීලී භූමිකාවක් දැරුවෝ ද මොවුහුය. 1789 වසරේ සෑම දිනයක්ම පාහේ ගෙවෙමින් පැවැතියේ වසර ගණනක් තිස්සේ නාස්තිකාර රජුන් රදළයන් හා පූජකයන් කෙරෙහි මෝරා වැඩී ගිය මහජන කෝපයේ සලකුණු සටහන් කරමිනි. 1789 මැයි 2 වැනිදා වර්සේල්ස්හිදී රජු විසින් ස්ටේට්ස් ජෙනරල සභා වාරය ආරම්භ කරනු ලැබීය. සභාව ආරම්භ වෙද්දීම පළමු හා දෙවැනි ගණයේ නියෝජිතයන් දුටුවේ තුන් වැනි ගණයේ ප්‍රජාවෙන් එල්ලවෙමින් තිබූ විරෝධයයි. වෛද්‍ය ජෝසප් ගිලෙටින් නියෝජනය කළ මේ පන්තිය ස්ටේට්ස් ජෙනරලය (පාර්ලිමේන්තුව) නිතර රැස්විය යුතු බවත් බදු ක්‍රමය යළි වෙනස් කළ යුතු බවත් අවධාරණය කළහ. එමෙන්ම ඉහළ ගණයාට හිමි වරප්‍රසාද හා බදු නිදහස් අහිමි කිරීම, රදළ ක්‍රමයෙන් විඳි ගැහැට නැති කිරීම, පුද්ගලික නිදහස සහතික කිරීම හා නිලතල ලබාගැනීමේ නිදහස සෑම පන්තිවලටම හිමි වීම සෙසු සටන් පාඨ අතර විය. විශේෂත්වය වූයේ මෙම පොදු ඉල්ලීම්වලට වංශාධිපතින් විරුද්ධත්වයක් නොපා මුනිවත රැකීමය. එක්තරා ආකාරයකට කැකෑරෙමින් තිබූ මහජන කෝපාග්නියේ තරම හොඳින්ම නිරූපණය වීම හේතුව විය.

මෙම රළ නැගීම මන්ත්‍රණ සභාවෙහි කොතරම් වර්ධනය වීද යත් ජාතික සභාව යනු තමන් යැයි ඔවුන් විසින්ම ස්වයංව අර්ථකතනය කරගනු ලැබීය. මේ සමගම රජු ද දෙගිඩියාවට පත් වූ අතර සෙබඵන් විසින් මන්ත්‍රණ සභාවේ දොරගුඵ දමනු ලැබිණි. මේ බව සැලවීමත් සමග 16 වැනි ලුවී රජුගෙන් සමීපයේ එන ප්‍රහාරයේ සේයාව ඔවුන්ට සලකුණු විය. කවර තත්ත්වයක් යටතේ වුව ඉදිරියටම යා යුතු බවට මේ මහජන නියෝජිතයන්ගේ සාකච්ඡාව විය. වර්සේල්හි රාජකීය මැදුරට නුදුරු රාජකීය ටෙනිස් පිටියට රැස්ව කරන පොදු දිවුරුමක් ගැන එහිදී යෝජනා කරනු ලැබුවේ වෛද්‍ය ගිලටින් විසිනි. රජුගේ බලය සීමා කර රාජධානියේ ව්‍යවස්ථාව සකසන තුරු කවර තත්ත්වයක් නිර්මාණය වුවත් එක්ව සිටින බවට ප්‍රතිඥා දීම එයින් සිදු විය. 577 දෙනකුගෙන් යුතු වූ මේ නියෝජිත ගණයෙන් ඊට අත්සන් නොතැබුවේ ජෝෂප් මාටින් නමැත්තා පමණි.

අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ වෛද්‍ය ගිලටින්ගේ අදහස බොහෝදුරට ස්ථානගත වූයේ පුද්ගල ජීවිතය හා වෛද්‍ය ක්‍ෂේත්‍රය ඇසුරේය. දේශපාලන ක්‍රියාවලිය අතරේත් ගිලටින්ගේ වෛද්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩ අනවරතව දියත් වූයේය. දරිද්‍රතා කමිටුවේ සාමාජිකයකු වූ ගිලටින් හොටෙල් ඩියු රෝහලේ සංචාරයකින් පසු එහි සනීපාරක්ෂාවෙන් තොර පරිසරය ගැන වාර්තා කළේය. සෞඛ්‍ය කමිටුවේ පළමු සභාපතිවරයා වූ ඔහු වෛද්‍ය ප්‍රතිසංස්කරණ උදෙසාම 1791 දී කෙටුම්පතක් ඉදිරිපත් කළේය. වෛද්‍යවරයකු ලෙස ඔහු ලද අත්දැකීම විසින් මරණ දණ්ඩනයට එරෙහිව ඔහුගේ සිත පොළඹවනු ලැබීය. මේ නිසාම අපරාධ නීතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ගිලටින් කතා කළේය. පළමුවෙන් ඔහු වෑයම් කළේ මරණ දණ්ඩනය අහෝසි කිරීමටය. එහෙත් එය සාර්ථක වුණේ නැත.

මරණය දඬුවමක් හැටියට එකල භාවිත වූ අතර ක්‍රමය වූයේ පොරවකින් හෝ කඩුවකින් කෙටීමය. මේ නිසා මරණකරුට අත්විඳින්නට වූයේ ක්ෂණික නොවූ ම්ලෙච්ඡ අවසානයකි. මෙහිදී ද ශීර්ෂ ඡේදනය නියමිත වූයේ රදළයන්ට පමණි. සාමාන්‍ය වැසියන්ට ලැබුණේ එල්ලා මැරීමයි. නූතන තොණ්ඩුව සහිත එල්ලුම් ගස ඒ වනවිට සොයාගෙන නොතිබුණු බැවින් සාමාන්‍ය වැසියන්ගේ මරණය පවා රදළයන්ට සාපේක්ෂව දුක්ඛිත එකක් විය. මීට අමතරව රිටක ගැට ගසා ගිනිතැබීම, කැතරින් වීලයට හසුකිරීම, උණු දිය සැලියට දැමීම, අංග ඡේදනය ආදී වඩාත් ම්ලෙච්ඡ ක්‍රම ද අවස්ථානුකූලව භාවිතයට ගැනිණි. ඉතින් ගිලටින් කල්පනා කළේ මරණ දණ්ඩනය නතර කිරීමට තමාට හැකි නොවුණත් අඩුම තරමින් එය තරමක් ශිෂ්ටසම්පන්න කිරීමටවත් හැකි වෑයමක් ගත යුතු බවය. වෛද්‍ය ගිලටින් 1775 දී යෝජනා කළේ අපරාධකරුවන් හැටියට ඔප්පුවූවන් වෛද්‍ය පර්යේෂණවලට යොදාගන්නා ක්‍රමයක් ගැනය. මෙය කෲර ක්‍රියාවක් වුවත් මරණ දණ්ඩනයට වඩා එය හොඳ දෙයක් යැයි ඔහුගේ අදහස විය.

“අපරාධකරුට මරණය ලැබේවි. නමුත් මෘදු ක්‍රමයකින්. ඒ වේදනාහර හිස කැපුමක්”

ගිලටින්ගේ යෝජනාව 1789 ඔක්තෝම්බර් 10 වැනිදා රාජකීය පුවත්පතක පළ වූ බව කියැවේ. මේ අතරේම වෛද්‍ය ගිලටින් තවත් කොන්දේසි හයක් ද ඉදිරිපත් කළේය. වෛද්‍ය ගිලටින්ගේ මරණ යන්ත්‍රය හුදු උපක්‍රමයක්ම නොව නව සමාජ වෙනසකම් හා බැඳුණු උපායමාර්ගික පිවිසුමක් බව වැටහෙන්නේ ඒ කොන්දේසි දෙස බැලූවිටය.
1.දඬුවමට පංතිභේදයක් තිබිය නොහැකිය.
2.මේ සඳහා යන්ත්‍රයම භාවිත කළ යුතුය.
3.වැරැදිකරුගේ පවුලේ උදවියට නෛතික වශයෙන් කිසිදු ආකාරයක වෙනස්කොට සැලකීම් නොවිය යුතුය.
4.අපරාධකරුගේ හෝ අපරාධකාරියගේ වැරැද්ද සම්බන්ධයෙන් කිසිවෙකුට ඒ පවුලේ උදවියට ගැරහීමට අයිතියක් නැත.
5.මරණකරුගේ දේපළ රාජසන්තක කළ නොහැකිය.
6.පවුලේ උදවිය ඉල්ලා සිටින්නේ නම් මරණකරුගේ දේහය ඔවුන්ට බාර දිය යුතුය.

වෛද්‍ය ගිලටින් මෙමගින් අපේක්ෂා කළේ අඩුම තරමින් මහජන අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාජයෙහි ආකල්පමය වෙනසක් ඇතිකිරීමටය. එමෙන්ම අනාගතයේ මරණ දණ්ඩනයෙන් තොර ලොවකට පළමු පියවරවත් තැබීමටය. එමෙන්ම යන්ත්‍රානුසාරයෙන් ක්ෂණිකව කැපෙන ග්‍රීවය නිසා වැඩි වේදනාවකින් තොරව දෙපසට වන මිනිස් හිස හා කඳ විසින් එතෙක් ම්ලෙච්ඡ ඝාතන පොරකා නැරඹූවන්ගේ උද්‍යෝගය උදුරාගනු ලැබීමේ මාවතක් විවර කරගැනීමටය. 1789 දෙසැම්බර් 1 වැනිදා මේ අදහස වෛද්‍ය ගිලටින් මන්ත්‍රණ සභාව හමුවේ පැහැදිලි කළ අතර උත්ප්‍රාසනීය ලෙස ඉතිහාසය පුරා එය වර නැගුණේ වැරැදි ලෙස බව ඇතැම් ඉතිහාසඥයෝ පවසති.

“දැන් මගේ යෝජනාව නිසා ඇසිපිය හෙලන නිමේෂයෙන් ඔබේ බෙල්ල වෙන්වේවි. ඔබට කවදාවත් එය දැනෙන එකක්වත් නෑ”
ප්‍රකාශය කළ විගසම ඉතා වේගයෙන් එය කුප්‍රකට විහි`ඵවක් බවට පත්වූ අතර දින කීපයක් යද්දී වෛද්‍ය ගිලටින් හා මරණ යන්ත්‍රය සම්බන්ධයෙන් හාස්‍යෝත්පාදක ගීත ද නිර්මාණය වී තිබිණි. එය කෙතරම් දුර දිග ගියේ ද යත් යන්ත්‍රයේ නිමැවුම්කරු ඔහු නොවුණත් අවසානයේදී ඊට නම වැටුණේ ගිලටිනය යැයි කියාය.

වසර ගණනක් පුරා ප්‍රංශ සමාජයට වූ හුරුව නිසා අපරාධකරුවන් හා ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් ගිලටින් යෝජනා කළ නව ව්‍යවස්ථා තරමක් ආන්දෝලනයට තුඩු දුනි. මේ නිසාම ඊට බලාධිකාරියේ අනුමැතිය ලැබුණේ දීර්ඝතර විවාදයකින් පසුව 1792 මාර්තු 20 වැනිදාය. මන්ත්‍රණ සභාව විසින් ආකෘතියට අනුව උපකරණයක් තැනීම ශල්‍ය fවෛද්‍ය ඇන්ටෝනියෝ ලුවිස්ගේ රාජකාරියක් කරනු ලැබීය. උ`ඵවස්සක් බඳුව ඉහළට දෙපසින් සිරස් ලෙස හිස එසැවූ දාරුමය කඳන් දෙකක් මත ලම්භකව තැබූ යෝධ පිහි තලයකි. අපරාධකරුවාගේ බෙල්ල කරා වේගයෙන් ඉහළ සිට පහත් වන පිහි තලයෙන් ක්ෂණිකව හිස කඳින් වෙන් වේ.

ඒ අනුව නිර්මාණය කරන ලද යන්ත්‍රයෙන් පළමු ඝාතන අත්හදාබැලීම වූයේ 1792 අප්‍රේල් 25 වැනිදාය. මේ වනවිට ගිලටින් මන්ත්‍රණ සභාව නියෝජනය කළේ නැත. 1791 ඔක්තෝබරයේදීම ඉන් ඉවත් වූ වෛද්‍ය ගිලටින් ඒ වනවිටත් තමා උගත් වෛද්‍ය කර්මයට නැවත යොමුවී තිබිණ. ප්‍රංශ විප්ලවය සමග භීම සමය එළඹෙන විට අරාස් කරා සේන්දු වූ වෛද්‍ය ගිලටින් එහි පිහිටි හමුදා රෝහලේ අධ්‍යක්ෂ ධුරය හෙබවූ අතර නැවත පැරිසියට ආවේ වසරකට පමණ පසුවය. සිය මිතුරකුගේ දරු පවුලේ තොරතුරු අනාවරණය නොකිරීම මත විප්ලව සමයේදී ගිලටින් ද අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණු අතර ඔහුට නිදහස ලැබුණේ රොබස්පියරේගේ පාලනය බිඳ වැටීමෙන් පසුය.

1795 මොනිටේ පුවත්පතේ පළ වූ පුවතක් නිසා වෛද්‍ය ගිලටින් දැඩි කම්පනයට පත්විය. එහි අන්තර්ගත වූයේ ගිලටිනයට හසුකිරීමෙන් පසුවත් එක්වරම මිය නොගිය මිනිසුන් ගැන කතාවකි. තම අරමුණත් ඉටු නොවී මේ මාරක යාන්ත්‍රණය තම නමින් ප්‍රතිනාමකරණය වීම ගැන ඔහුට ඇතිවූයේ දැඩි සන්තාපයකි. මේ නිසාම මරණ දඬුවම කෙසෝ හෝ අහෝසි කිරීම සඳහා කැපවීමට ඔහු ඉටාගත්තේය. එහෙත් ඊට විශාලම බාධාව වූයේ, ශීර්ෂ ඡේදනයට මාරක යාන්ත්‍රණයක් හඳුන්වාදීම විසින්ම මරණ දඬුවමට පක්ෂ පුද්ගලයකැයි වෛද්‍ය ගිලටින් කෙරෙහි ඒ වනවිටත් ප්‍රංශ වැසියන් අතරේ නිර්මාණය වී තිබූ ශක්තිමත් විශ්වාසයයි. මෙය වෛද්‍ය ගිලටින්ගේ අවසානය දැඩි ජීවන අඳුරකට තල්ලු කළේ යැයි කිවහොත් නිවැරැදිය.

අනෙක් අතට මරණ යන්ත්‍රයට ගිලටින්ගේ නම වැටීම නිසා අපහසුවට පත්වූවේ ඔහු පමණක් නොවේ. ඔහුගේ පවුලේ උදවිය එවක ප්‍රංශ පාලනයෙන් මරණ යන්ත්‍රයේ නම වෙනස් කරන්නැයි අයැද සිටියහ. පලක් නොවූ තැන සිය අපරනාමය වෙනස් කරගැනීමට තරම් මේ චිත්තාවේගය බලවත් විය. එක් අවස්ථාවක ජේ.එම්.වී ගිලටින් නමැති වෛද්‍යවරයෙක් ද ගිලටිනය මත දඬුවමට පාත්‍ර විය. මේ ආදී ලෙස ගිලටිනය හා ගැටගැසුණු පුරාණ කතා කන්දකි. විශේෂයෙන්ම ගිලටිනයට නිල අනුමැතිය ලැබෙද්දීත් ප්‍රංශ විප්ලවයේ සමාජ සතුරන් ලෙස නම් කරනු ලැබූවන් රැසකගේම බෙලි දහස් ගණනකට එය වගකියා තිබිණ. එමතු නොව, ප්‍රංශයෙන් උගත් මාරක යාන්ත්‍රණය සාර්ථක ලෙස යුරෝපයේ සෙසු රටවල් ද භාවිතයට ගෙන තිබිණ. ගිලටිනයේ මාරක කතා එසේ වෙද්දී 1814 දී පැරිසියේ පිහිටි තම නිවසේදී වෛද්‍ය ජෝසප් ඉග්නේස් ගිලටින්ට අත්වූයේ නම් ස්වාභාවික මරණයකි. ඒ වනවිට ඔහු 75 වැනි වියේ පසු විය. ප්‍රංශ ජාතික රසායනඥයකු හා වෛද්‍යවරයකු වූ ඇන්ටනි සෝග්‍රේන්ගේ සහෝදරිය වූ ලුවී සෝග්‍රේන් වෛද්‍ය ගිලටින්ගේ බිරිඳයි.

ඉංග්‍රීසි ජාතික නවකතාකරු ඇන්ඩෘ මිලර් විසින් පූර්ව ප්‍රංශ විප්ලවීය සමාජය අළලා රචිත ‘පියෝ ’ නමැති නව කතාවෙහි වෛද්‍ය ජෝසප් ගිලටින් ප්‍රතිනිර්මාණය කර ඇත. ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පී හර්බට් ලොම් 1992 දී ‘ඩොක්ටර් ගිලටින්’ නව කතාව රචනා කළේ ද අපේ කතානායකයා ගැනය. තවත් ආකාරයකට මේ මාරක වසංගත සමයේ ලාංකික අපට ද ගිලටින් අමතක කළ නොහැකි චරිතයකි. මක්නිසාද යත් 1798 දී ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් වසූරියට එරෙහිව ආරක්ෂාව ලබා දෙන බව ඔප්පු කළ වෛද්‍ය එඞ්වඞ් ජෙනර්ට සහායට සිටි ප්‍රබලතම වෛද්‍ය සහායකයකු හැටියට ද වෛද්‍ය ගිලටින් සැලකෙන බැවිනි. පැරිසියේ ජාතික වෛද්‍ය ඇකඩමියේ පුරෝගාමියා ද වූ වෛද්‍ය ගිලටින් 1805 දී පැරිස් මධ්‍යම එන්නත්කරණ කමිටුවේ සභාපතිවරයා හැටියට එන්නත්කරණ විෂය වර්ධනයට දැක්වූයේ ද නොමද සහායකි. එසේ බලද්දී ප්‍රතිශක්තිකරණයෙන් නිවාරණ සෞඛ්‍ය සේවයෙහි ලොව කීර්තියක් දිනාගෙන සිටින ලාංකිකයන්ට ද කිසියම් ආකාරයකට වෛද්‍ය ගිලටින් අනුස්මරණීය චරිතයකි. පූර්ව ප්‍රංශ විප්ලව සමය හා සන්දර්භගත කළ නොහැකි නමුත් ලංකාව අද සිටින්නේ ද ලක්ෂ ගණනක් වූ අසරණ මනුෂ්‍ය ජීවිතවලට සමාජීය නායකත්වයක් අපේක්ෂා කරන මොහොතකය. රජ පවුල් අත උපනූපන් පරපුරක ග්‍රීවය මිරිකෙන තැනකය. උත්ප්‍රාසය වන්නේ ගිලටින් අනාගතය ගැන සිතා පාදය තැබූ තැන කරාම තම පාදයත් තැබීමට අනාගත නායකයන් ලෙස පෙනී සිටින පිරිස් සියවස් ගණනක් ආපස්සට හැරීමය.

බිඟුන් මේනක ගමගේ