ආණ්ඩුවේ ‘අත්‍යවශ්‍ය සේවා සෙල්ලම’ ගැන මේ ටික දැනගන්න

කුඩු අල්ලනවා වාගේ මෙහෙම සීනි වටලන්න බලයක් තියෙනවාද?

මේ වෙද්දී අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් තියෙනවා. සීනි, කිරිපිටි හිඟයක් ගැන කතා කරනවා. හාල් ඇතුළු භාණ්ඩ ගණනාවක් වෙළඳපොළේ නැතිවේවි කියල හිතනවා. මේකට අපේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් දුන්න උත්තරේ අපි හැමෝම දන්නවා.

මේ අත්‍යවශ්‍ය සේවා ගැන සම්පූර්ණ කතන්දරේ ඔබ දැනගැනීම වැදගත්. ඒ වගේම මෙහෙම වැටලීම්වලට බලයක් තියෙනවාද කියන ප්‍රශ්නයට උත්තරේ ඔව්. ඒත් මේ කරන ක්‍රියාදාමය සම්පූර්ණයෙන් නිවැරදිද කියන ප්‍රශ්නයට උත්තරේ සංකීර්ණයි.

තවත් හමුදා නිලධාරියෙකුට විශේෂ බලතල. හමුදා පන්නයේ බලතල. මේකට මුලින් ගැසට් එකක් ගැහුවා. ඒත්, මුලින් ගහපු ගැසට් එකෙක් කළේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම විතරයි. දෙවැනි ගැසට් එකෙන් තමයි ඒකට මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා පත් කළේ.

නිවුන්හැල්ල මහතා පත්වීම ලද විගස අපි දැක්කේ ලොකු මාධ්‍ය සංදර්ශනයකදී. මේ අය දැන් ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා හෝ හොලිවුඩ් තරු වගේ. කැමරා ටීම් අරන් යන යන තැන්වල යන්නේ. මීට කලින් හමුදා නිලධාරියෙක් හාල් මාෆියාව නවත්වන්න මාධ්‍ය සංදර්ශන දාපු හැටිත් දැක්කානේ. ඒක ෆේල් වුණානේ.

මෙදා පාර මොනවා වේවිද කියලා කලින් කියන්න අමාරුයි. නිවුන්හැල්ල මහතාගේ මැදිහත්වීම යටතේ පාරිභෝගික සේවා අධිකාරියේ අයත් ගිහින්, වැටලූ ගබඩාවල තිබුණ සීනි තොග සතොස හරහා දෙන්න ප්ලෑන් ගහන වැඩේත් දකින්න ඇති.

ආණ්ඩුවත්, අද දෙරණ වගේ ආයතනත් මේ දවස්වල නටන නාඩගම තමයි ඔය. ඔවුන් නාඩගම හෝ ඩ්‍රාමා එක කරගෙන යමින් උත්සාහ කරන්නේ ලංකාවේ සීනි අර්බුදය වෙළෙන්දො හදපු එකක් බව පෙන්වන්න.

අද දෙරණ ප්‍රවෘත්ති වාර්තාවක තිබුණා ‘පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජය පියවර ගැනීම පැසසිය යුත්තකි’ කියලා.

ඒත් ගොඩක් රට්ටුන්ට හැඟෙන්නේ මොකක්ද? ‘අම්මපා කියපන්! පාරිභෝගිකයා වෙනුවෙන්ම වැඩකරන ආණ්ඩුවක්ද මේ?’

ඇත්තටම වෙළෙන්දන් උත්සාහ කරන්නේ මේ අවස්ථාවෙ ලාභ ලබන්න. සීනි මිල වැඩි වෙද්දී, මිනිසුන් අමාරුවේ වැටෙද්දී තොග හංගාගැනීම නරකයි තමා. සරල බසින් කීවොත් කැත වැඩ කියන්නේ ඕවාට තමයි.

හංගං ඉඳලා මිල හොඳටම වැඩි වුණාම, බඩු අඩුම වෙලා හිඟය ඉහළම ගියාම උපරිම ලාභය ලබන්න තමයි ඔවුන් ට්‍රයි කරන්නේ. ඒ කරන වැඩේ වැරදියි. තම තමන් කරන දේවල් සේවාවන් විදියට සලකන්නෙ නැතිව, රටේ ලෝකෙ අර්බුද මැනේජ් කරලා ඒකෙන් උපරිම ලාභ ලබන්න හදන උදවිය මාර වැඩ්ඩෝ නෙවෙයි.

ඒත්, උපරිම ලාභ හොයන්න හදන බිස්නස්කාරයෝ ඔය පියවර ගත්තේ නිකම්ම නෙවෙයි. වෙළෙන්දෝ බඩු හංගපු එක මේ ප්‍රශ්නයේ රෝග ලක්ෂණය මිසක් රෝගයේ මුල නෙවෙයි. රෝග නිධානය නෙවෙයි.

අපි රෝග නිධානයට බෙහෙත් නොකර, රෝග ලක්ෂණවලට බෙහෙත් කරන එකේ වැඩේ මොකක්ද? මීඩියාවලින් රෝග ලක්ෂණ පෙන්වන එක අතිශය වැදගත්. කතා දෙකක් නෑ. ඒත්, ඊටත් එහා ගිහින් මාධ්‍යවල වගකීම තමයි රෝගයේ මුල ජනතාවට නිරාවරණය කිරීම. ඒකට විසඳුම් ගැන කතා කිරීම.

එහෙම නැතිව මිල පාලනය කරන්න ගියොත්, ඒකේ අවසානය මොකක්ද කියන එක මේ ලින්ක් එකෙන් ගිහින් ඔබට කියවන්න පුළුවන්. මහාචාර්ය රොහාන් සමරජීවගේ විග්‍රහය.

සරලව කතාව මේකයි.

ලංකාවේ ලොකු භාණ්ඩ හිඟයක් ඇති වෙලා. ඒකට මුල විදේශ සංචිත නැති වීමෙන් ආනයනයට කෙළවීම. ඒ නිසා නපුරු සීනි වෙළෙන්දන් සහ ඒකෙන් අපව බේරගන්න උත්සාහ කරන ආණ්ඩුවකුත්, ඒවාට පැසසුම් දෙන මාධ්‍ය ලෝකයකුත් ගැන චිත්‍රය සුන්දරයි. ඒත් ඒක ඇත්ත නෙවෙයි.

දෙරණ උකුස්සා වටලපු සීනි මෙට්‍රික් ටොන් ගාණ විතරක් 21,000ට වැඩියිලු. දැන් මේ වැටලීම්වලදී හොයාගත්ත ඒවා සතොසෙන් අරන්, සතොස හරහා අඩු මිලට දෙනවා. ඒක හොඳයි. ඒත් කොච්චර දවසක් කරන්නද? වෙළඳාම්වලින් ලාභය අහිමිවෙච්ච වෙළෙන්දෝ ඊළඟට මොකද කරන්නේ? එයාලා බංකොළොත්ද?

සැප්තැම්බර් 01 පවරාගත් ප්‍රමාණය

මේකේ අනෙක් පැත්ත තමයි අත්‍යවශ්‍ය සේවා සැපයීමට මිලිටරි නිලධාරියෙක් පත් කිරීම හරිද කියන එක.

මේ ගැන අපි ඇහුවාම මීට කලින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විදියට හිටපු (ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ) ඔස්ටින් ප්‍රනාන්දු මහතා කීවේ, ජනාධිපතිවරයාට විශ්වාස නම් මිලිටරි නිලධාරියෙක් පත් කළාට වරදක් නැති බව. අන්තිමේදී වැඩේ කෙරෙන්නයි ඕනෑ.

ඒත්, ඔහු මතක් කළේ ඔහුව පත් කළේ රටේ යුද්ධයක් ඇතිවෙමින් තිබුණ ආරක්ෂක ප්‍රශ්න තිබුණ කාලෙක බව. අද තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. අද තියෙන්නේ ආපදා ප්‍රශ්නයක්.

ආරක්ෂක ප්‍රශ්නයකුයි, ආපදා ප්‍රශ්නයකුයි එකිනෙකට වෙනස් අවස්ථා දෙකක්. ලංකාවේ ආපදා කළමණාකරණයට නීති ඕනෑ තරම්. අත්‍යවශ්‍ය සේවා සපයන්නත් ඒ නීතිවලින් පුළුවන්.

ඇයි, එතැනින් එහාට ගිහින් මේ කොවිඩ් වසංගතය වෙනුවෙන්ම විශේෂයෙන් පනතක් හදන එකත් කරන්න තිබුණා. ආණ්ඩුව ඒක කරන්න අවුරුද්දක් තිස්සේ ෆේල් වුණාට එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී පනතක් දැම්මා. ඒකවත් සම්මත කරගත්තානම් ආරක්ෂක නීති පාවිච්චි කරලා, මිලිටරි නිලධාරියෙක් දාලා මේ විකාර වැඩ කරන්න ඕනෑ නැහැ.

මේ ගැන ඇහුවාම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වගේම පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයාව හිටපු කීර්තිමත් මහතෙකු වන අශෝක පීරිස් මහතා කීවේත් ඔය වගේ කතාවක්. එක් පැත්තකින් ඔහු පෙන්වාදුන්නා මේ වගේ වැඩකට සිවිල් නීති ඕනෑ තරම් තියෙන බව. මේ මිලිටරි අවශ්‍යතාවලට තියෙන නීති පාවිච්චි කරන්න ඕනෑ නැති බව.

අනෙක් පැත්තෙන් මහජන ආරක්ෂක පනත වගේ එකක් පාවිච්චි කළත්, ඒ කරද්දී රාජ්‍ය සේවයේ නිලධාරියෙක් දැම්මා නම් හොඳ බව. මොකද, මේ හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක කරවන්නට දාන නිලධාරියාට ලංකාවේම දිසාපතිවරුන් ඇතුළු රාජ්‍ය සේවය එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක් ඒ සිස්ටම් එක අතැඹුලක් වගේ දන්නවා.

මිලිටරි නිලධාරියෙකුට ඒ තේජස තියෙන බව ඇත්ත. ඒත්, ඔහුට රාජ්‍ය නිලධාරියෙකු තරම් කාර්යක්ෂමව වැඩ කරන්න හැකියාවක් නැති බව තමයි අපි හිතන්නේ.

ඒත්, අපි බලමු. ජනාධිපතිතුමාට අවස්ථාවක් දෙමු. ඔස්ටින් ප්‍රනාන්දු මහතා කීවා වගේ ඔහුට විශ්වාස මිලිටරි නිලධාරීන් නම්, ඒ හරහා කරන්න අවස්ථාවක්දෙන්න එපායැ. ජනාධිපතිතුමා දන්නේ මිලිටරි නීති ටික විතරක්  නම්, ආපදා කළමණාකරණයට තියෙන නීති දන්නේ නැත්නම්, අලුත් පනත් ගේන්න තිබිච්ච ඉඩකඩ දන්නේත් නැත්නම් ඒවා කරන්න ඉඩ දෙනන එපායැ.

ඒත් ඔය අතරේ අපි මේ ගැසට්වලින් කියන කතන්දරේත් හරියට දැනගනිමු.

‘2021 අංක 1 දරන හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ) නියෝගයන්හි 9 වන නියෝගයේ (1) ඡේදයෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම, පූර්වෝක්ත නියෝගයන්හි කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස මේජර් ජෙනරාල් නිවුන්හැල්ලගේ දොන් සෙනරත් පියසිරි නිවුන්හැල්ල ආර්ඩබ්පී ජීජීඩී-සීපීඑස්, සමස්ත ශ්‍රී ලංකාව සඳහාම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස මෙයින් පත් කරමි.’ මේක අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම කියන ගැසට් එකේ තියෙන සටහන.

ඊට කලින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ නමින් ගහපු ගැසට් එක හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට.

‘ශ්‍රී ලංකාව පුරා දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගත තත්වය තුළ, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන, මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යැයි මා අදහස් කරන හෙයින්,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40) වන අධිකාරය වූ මහජන ආරක්ෂක පනතේ 2 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ 2වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාර සකස්කරන ලද, අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේම දෙදහස් විසිඑකක් වූ අගෝස්තු මස 30 වන දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක විය යුතු බව මේ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කරමි.’

දැන් මහජන ආරක්ෂක පනතෙ පස්වැනි වගන්තිය කියෙව්වම, ඒකෙ මොකක්ද තියෙන්නේ. මේ වගන්තිය ඒකෙ දෙවැනි කොටසේ තමයි තියෙන්නේ.

දෙවැනි කොටසේ හෙඩිම ඇවිල්ලා ‘ඉමර්ජන්සි රෙගියුලේෂන්ස්’.

මේ පනතේ සිංහල පිටපතක් හොයාගන්න අපට බැරි වුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ තිබුණේ ඉංග්‍රීසි පිටපත. ඒ නිසා හරියටම නීතිමය වාක්‍යය උපුටන්න බෑ.

ඒත් සරල බසින් කීවොත් පස්වැනි වගන්තියේ තියෙන්නේ හදිසි අවස්ථා නීති ප්‍රකාශයට පත් කිරීම ගැන. ඒ කියන්නේ මහජන ආරක්ෂාව, මහජන සාමය පවත්වාගැනීම, කැරළි මැඩපැවැත්වීම, රාජ්‍ය විරෝධී නැගීසිටීම් මැඩපැවැත්වීම සහ පොදුජනයාගේ ජීවිතයට අවශ්‍ය වෙන අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගැනීම සඳහා හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත්කරන්න ජනාධිතිට පුළුවන් බව.

ඒ රෙගුලාසි අනුව පුද්ගලයන් රඳවන්න නියෝග කරන්න පුළුවන්, රජය වෙනුවෙන් ඉඩම් හැර වෙනත් දේපළ පවරාගන්න පුළුවන්, ඒ වගේම මෙහෙයුම්වලට දේපළ ගන්න පුළුවන්, ගොඩනැගිලිවලට ඇතුළුවෙලා චෙක් කරන්න පුළුවන්. ඔය ආදී වශයෙන් මාර බලතල ගොඩක් මේ නිලධාරියාට ලැබෙනවා.

ඒ අනුව තමයි දැනටමත් සීනි ගබඩා වටලපු ඒවායේ තොග පවරාගෙන සතොසෙන් දෙන්න වගේ ලෑස්තිවෙන්නේ. කලින් කීව නිලධාරියාට විවිධාකාර වාහන, ගබඩා, ගොඩනැගිලි තමන්ගෙ යටතට පවරගෙන සැපයුම් කරන්න පටන්ගන්න පුලුවන්.

ඒවා ඉස්සරහට සිද්ධ වේවි. ඒත්, මිලිටරි පන්නයේ ආරක්ෂක බෝඩ් ලෑල්ල දාගත්ත මැදිහත්වීම්වලින් පස්සේ ලංකාවේ නිදහස් වෙළඳපළට මොන සන්තෑසියක් වේවිද කියන එක හෙමීට බලාගෙන ඉමු.