ඔය නිලධාරියාට කරන්න බැරි දෙයක් නැති තරම් – තනතුරේ කලින් හිටපු ඔස්ටින් ප්‍රනාන්දු කී කතාව

මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටසේ, පස්වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ යටතේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා. මේක ශ්‍රී ලංකාවට අලුත්ම අත්දැකීමක් නෙවෙයි. මේ තනතුරට මිලිටරි නිලධාරියෙක් පත් කිරීමත් අලුත් දෙයක් නෙවෙයි.

අපි මේ ගැන හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළා. ඔහුත් මීට පෙර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස හිටියා. හැබැයි වෙනත් සන්දර්භයක් යටතේ.

ඔහු කළ අදහස් දැක්වීම මේ.

‘ඔව් මාව පත් කළා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1986 දී පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස. ඊට පස්සේ තවත් වතාවක් 1989 දී ප්‍රේමදාස ජනාධිපතිවරයා මාව පත් කළා අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පරිපාලන සමායෝජක කියලා.

ඔය දෙකම මහජන ආරක්ෂක පනතේ හදිසි අවස්ථා නීතිය යටතේ තමයි ලැබුණේ. කෙසේ වෙතත් ඒ යටතේ පනවන නියෝග වරින්වර ජනාධිපතිවරුන් වෙනස් කරනවා. මට ලැබුණේ 1986 අංක 2 දරණ හදිසි අවස්ථා විධිවිධාන නියෝගවල 10 (අ) වගන්තිය යටතේ. එතැනදී මගේ නම සඳහන් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පත් කළේ. ඊට පස්සේ මාසයෙන් මාසයට මගේ කාලය දීර්ඝ කළා.

ඔය රෙගුලාසි යටතේ පත් කළාම ඒ නිලධාරියාට කරන්න බැරි දෙයක් නැති තරම්. ගොඩනැගිලි අත්පත් කරගන්න පුලුවන්.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමයි ඕක කළේ. මට කලින් බ්‍රැඩ්මන් වීරකෝන් සහ නාවික හමුදාපති හිටපු ඇල්ෆ්‍රඩ් පෙරේරා කළා. ඒ දෙන්නාගෙන් පස්සේ තමයි මාව පත් කළේ.

ඔය තනතුර හැමදාම තියෙන එකක් නෙවෙයි. මම අවුරුදු දෙකයි මාස තුනක් විතර කළා. මේ තනතුර වෙනුවෙන් කියලා කිසිම දීමනාවක් තිබුණේ නැහැ. ඒ අතින් නොමිලයේ තමයි කළේ. මම කිසිම දෙයක් ඉල්ලුවේත් නෑ. මොකද මේක පිං අතේ වැඩක් වගේ. (රාජ්‍ය සේවක වැටුප සහිතව.)

මිනිසුන්ට සේවා සැපයීමට අවශ්‍ය පියවර ගැනීම තමයි කළේ. හැබැයි මම පත් කරද්දී ලේකම් කෙනෙක්. මම ලේකම්වරයෙක් විදියට දිසාපතිවරුන් මගේ කීම පිළිපදින තත්වයක් තිබුණා.

ඒ වගේම අද තියෙනවාට වඩා වෙනස් සන්දර්භයකදී තමයි මාව පත් කළේ. ඒක යුද්ධය තිබුණු කාලය. අවතැන්වීම් ආදිය එක්ක රටේ යුදමය වශයෙන් හදිසි අවස්ථාවක් තිබුණා.

හැබැයි ඉතින් මේ වෙලාවේත් ඉතින් ඒ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට මිලිටරි එක්කෙනෙක් දානවද, රජයේ සේවයේ  කෙනෙක් දානවාද, හාමුදුරුවන් කෙනෙක් දානවාද කියන එකේ ප්‍රශ්නයක් නැහැ වැඩේ කරන්න පුළුවන් නම්.

මගේ මතකයේ හැටියට මේ තනතුරට මීට කලින් පත් කරපු මිලිටරි නිලධාරියා තමයි විශ්‍රාමික නාවික හමුදාපති ඇල්ෆ්‍රඩ් පෙරේරා. ඒ හැරුණාම වෙනත් මිලිටරි කෙනෙක් හිටියේ නැහැ. ඒත්, එහෙම කෙනෙක් හිටියාද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ.

ඔය තනතුරේදී කරන දේවල් මෙහෙමයි. මම යාපනයේ දිසාපතිට කියනවා භාණ්ඩ ගබඩා කරන්න තැනක් හොයාගන්න කියලා. එතකොට දිසාපති තමයි අදාල වැඩේ කළේ.

හැබැයි අපව පත් කරපු සන්දර්භය වෙනස්. ඔය කාලයේ යුද්ධය තිබුණානේ. අවතැන් වූ අයට සහන දෙන්න සාමාන්‍ය නීති ආදී ක්‍රමවේද හරහා කාලය තිබුණේ නැහැ. පරක්කු කළා. (යුද්ධය නිසා රජයේ නිල ගොඩනැගිලි, වාහන අත්හැරීමට සිදුවීම හෝ හානි සිදුවීම වගේ ප්‍රශ්නත් තිබුණා.) ඒ අනුව අපි දිසාපතිවරුන් හරහා බඩු අදින්න ට්‍රැක්ටර් වගේ වාහන අත්පත් කරගන්නවා, ගොඩනැගිලි අත්පත් කළා. සේවා සැපයීම සඳහා නියෝග නිකුත් කළා.

අත්පත් කරගන්නේ නිකම් නෙවෙයි. ඒ වෙනුවෙන් සල්ලි ගෙව්වා. මම දැන් ගැසට් එක දැක්කේ නෑ. ඒත් එදා සල්ලි ඉල්ලුවාම යම් වැඩකට, ඕනෑ තරම් සල්ලිත් ලැබුණා.

ඒ කාලයේ අපි මිනිසුන් පදිංචි කිරීම සඳහා ලී දඬු, ටකරම් වගේ ඕනෑ නම් දිසාපති හරහා වැඩේ කරන්න කියලා, බිල එව්වාම සල්ලි සපයනවා.

ලොකු බලතල තියෙන රස්සාවක් ඕක.’