ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිල වශයෙන් පිළිගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එස්.ඩී.ආර්. නමින් හඳුන්වන විශේෂ දීමනාව සහ බංග්ලාදේශ මහ බැංකුවේ මූල්‍ය හුවමාරු ගිවිසුම අනුව මුදල් ලැබිච්ච බව.
ඒ අනුව අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් ලැබිලා.
මේ මුදල් ලබාදීම ගැන අයිඑම්එෆ් සහ බංග්ලාදේශ මාධ්‍ය කලින් වාර්තා කරලා තිබුණාට, ලංකාවේ මහ බැංකුව නිල වශයෙන් ඒක ලැබුණ බව කියා තිබුණේ නැහැ. උදාහරණයක් විදියට අයිඑම්එෆ් එක මුදල් දුන්න බව නිවේදනය කළේ අගෝස්තු 23 වැනිදා.
ඔය කියන ආධාරයට ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි දුන්නේ, තමන්ගේ සාමාජික රටවල් විශාල ප්‍රමාණයක් අතර බෙදා දුන්නා. මේක ලෝක ආර්ථික අර්බුද තත්වයක් එන අවස්ථාවක අයිඑම්එෆ් එක ලබාදෙන සහනාධාරයක්. මීට කලින් 2008 අර්බුදය, 1979-81 අර්බුදය හා 1970-71 අර්බුදය ආදී අවස්ථාවල ඕක දුන්නා. ලෝක ආර්ථිකයට අමතර ද්‍රවශීලතාවයක්, ඒ කියන්නේ සල්ලි ගලායෑමට වැඩි වීමක් දෙන්නයි ඕක කළේ.
ඔය ආධාරය ණයක් නෙවෙයි. මේකත් එක්ක වෙන කිසිම කොන්දේසියක් සම්බන්ධ නෑ.
එයින් අදහස් වෙන්නේ මේ වෙද්දී ආණ්ඩුවේ විදේශ සංචිත අර්බුදයට සැලකිය යුතු සහනයක් ලැබී ඇති බව. එහෙත්, ලංකාවේ සාමාන්‍ය මාසික ආනයන සඳහා ඩොලර් බිලියන 1.5ක් විතර අවශ්‍යයි.
මතක තියාගන්න, දැන් දේශපාලනඥයන් අයිඑම්එෆ් යන්න කියලා යෝජනා කරමින් ඉන්නේ ඔය සහනාධාරය ගන්න නෙවෙයි. මේක ලෝකෙටම ලැබුණ එකක්. ඒත්, දැන් අපේ රටේ නායකයන් හා ආර්ථික විශේෂඥයන් යෝජනා කරමින් ඉන්නේ බංකොළොත් වෙමින් පවතින රටකට ගන්න පුළුවන් අයිඑම්එෆ් ආධාර පැකේජය ගන්න කියලයි.
බංග්ලාදේශයෙන් අපට ලැබෙන ආධාර පැකේජ් එක සම්පූර්ණයෙන් සැලකුවොත් ඩොලර් මිලියන 200ක්. කොටස් වශයෙනුයි දෙන්නේ. දැනට පළමු කොටස් දෙක අපට ලැබිලා. තවත් ඩොලර් මිලියන 50ක කොටසක් ලැබෙන්න නියමිතයි.
මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.3ක් වටිනා ණයක් ලැබෙන්නත් නියමිතයිලු. මහ බැංකුව ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මීට අමතරව විවිධාකාර ක්‍රමවලින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉදිරි කාලසීමාවේ වැඩි වීමට නියමිතයි. ඒ කියන්නේ නාසය ළඟටම පිරුණු වතුර ප්‍රමාණය ටිකෙන් ටික පහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.