දෙව්ලොවට වඩා මෙහේ මන්දිරවල සැප! වඩින්න එපා! – සමන්ත විද්‍යාරත්න දෙයියන්ට ලිව්ව ලියුම

කතරගම දෙයියන්ට රථ ගාය නෑ. එක මොණරෙක් ඇති. මොණරමස් කෑ කොල්ලා අම්මාට කී කතාව

‘මහා සක්‍ර දිව්‍යරාජයාණන් ප්‍රමුඛ දේව මණ්ඩලයේ සියලුම දෙවිවරුන්ට ගෞරවයෙනි,

සෙත් වේවා !!

මාගේ පළමු ලිපියට නරයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණි. ඒ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි! වත්මන් පාලකයන් තමන්ට රට පාලනය කර ගැනීමට නොහැකි වූ තැන, ඔබ වහන්සේලාට රට බාර දී දැනට සති කීපයක් ගෙවී ගියත්, දෙවියන්ගෙන්ද පිහිටක් නොමැති බව සමහර රට වැසියන් ආඩපාලි කියමින් සිටිති.

නමුත් රටක් පාලනය කිරීමට හා වැටුණු ආගාධයෙන් රට ගොඩ ගැනීමට දෙවියන්ට වුවත් සාධාරණ කාලයක් ලබාදිය යුතු බව තවත් පිරිසකගේ මතයයි.

අනෙක් පැත්තෙන් තිස්තුන් කෝටියක් දෙවිවරු අපේ මහා සක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේට පාලනය කිරීමට පහසු වුවත්, අවුරුදු හැත්තෑ තුනක් මේ පාලකයන් විසින් නිර්මාණය කළ මේ දෙකෝටියක ජනතාව දෙවියන්ටද එක්වර හැඩගස්වා පාලනය කිරීම පහසු නොවන බව අපි දනිමු.

“දෙවියන් වහන්සේ විසින් මිනිස්සු වන නුඹලා මැව්වාට , උඹලා තමයි මේ ආණ්ඩු මවාගත්තේ ” දෙවියන්ට දෙස් දෙවොල් දුන් අපේ මිතුරෙකුට හීනෙන් පැමිණි දෙවි කෙනෙකු පසුගිය දා පැවසුවේලු.

ඒත් දෙවියනි, මැතිවරණ කාලවලදී දේශපාලකයන් විසින් මවා පෙන්නපු දිව්‍ය ලෝකෙට යන්න කියලා අවුරුදු 73 ක්ම අපේ මිනිස්සු ලංකාවේ ආණ්ඩු මවා ගත් බව මාගේ විශ්වාසයයි. අද වන විට නම් ආණ්ඩුව විසින් ජනතාව පොකුරු පොකුරු දිවිය ලෝකයට කෙසේවත් පරලෝකයට යවමින් තිබේ.

පසුගිය කාලයේ පැමිණි හැම පාලකයෙක් ම බලය ගැනීමේදී පැවසුවේ, රටේ පූජ්‍ය පක්ෂ ලබා දෙන අවවාද සහ අනුශාසනාත්, උගතුන් හා වියතුන් ගේ අදහසුත්, රටවැසියන්ගේ අදහසුත් අනුව රට පාලනය කරන බවය. බලය ගන්නා තෙක් එවැනි පිරිස් පාවඩ කරගන්නා පාලකයන්, ඉන්පසු ඔවුන්ගේ පශ්චාත් බාගයට පයින් ගසා පැත්තකට දමති.

වර්තමාන පාලකයන් ද මේ කොරෝනා ව්‍යසනය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙරටේ විශේෂඥ වෛද්‍යවරු හා අනෙකුත් වෛද්‍යවරු, පී.එච්.අයි. මහත්තුරු දෙන නිර්දේශ නොසලකා හරිති. අනෙකුත් දේශපාලන පක්ෂ පමණක් නොව තම පක්ෂයේ මැති ඇමැතිවරුන් ද හවුල්කාර පක්ෂ ද ගෞරවනීය මහනායක හිමිවරුන් ද කියන දෙයක් අසන්නේම නැත.

වර්තමාන පාලකයන් අනුරාධපුරයේ ඥාණා අක්කා පමණක් කියන දේ අසන බවට සමහරු චෝදනාකරනුයේ ඥාණා අක්කා කාලී දේවතාවිය සමග පොඩි ගනුදෙනුවක් තිබෙන නිසා දැයි ද ප්‍රශ්න කරති.

ජනතාව මේ හමුවේ පවසන්නේ මෙය පුර්වේ කරුමයක් බවය. දෙවියෙනි ඔබ මේ රට පාලනය කරන්නේ නම් දිවිය ලෝකයේ සිටම මෙරට පාලනය කරන ලෙස කාරුණිකව ඉල්ලමි. මන්දයත් ඔබ හා ඔබගේ අමාත්‍යවරුන් මෙරට ජනාධිපතිවරයාට හා අමාත්‍යවරුන්ට තිබෙන නිල නිවාසවල පදිංචි වුවහොත් මුන්ට හැදුනු ලෙඩේ ඔබ වහන්සේලාට ද ඉක්මනින් වැළඳිය හැකි බවට සාධාරණ සැකයක් පවතින බැවිනි. 

ඔබගේ දිවිය විමාන වලට වඩා ලංකාවේ ජනාධිපති හා ඇමතිවරුන්ගේ නිල නිවාස වල පහසුකම් එමටය. එබැවින් ඔබ වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩියාට කම් නැත. එහෙත් ජනාධිපති මන්දිරයට හෝ අරලියගහ මන්දිරයට හෝ අමාත්‍ය මන්දිරවලට නොවඩින ලෙස කාරුණිකව ඉල්ලමි. මේ ළඟකදි ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ඇමැතිවරයා සිටින නිවාසය අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 150 ක් වෙන්කර ගත්තේය.

ලංකාවේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස තනා ගැනීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ 1 – 5 දක්වා ණය ලබා දෙයි. අපට මෙහෙමය. උන්ට එහෙමය. මේ කතා අසන ජනතාව දෙවියෝ සාක්කි කියා ඔලුවේ අත ගසා ගනිති. හැබයි ඒ පවුකාර වැඩවලට ඔබ වහන්සේලා පටලවා ගන්නවාට මා කැමති නැත.

ඒ මදිවාට ඒකට සෞභාග්‍යයේ දැක්ම කියලා ආලවට්ටමක්ද යොදලා තිබෙනවාය. සැබැවින්ම ඔබ වහන්සේලා රට පාලනය කරන්නේ නම් කෙටි කාලයක් තුළ රට ඉතා හොඳ මට්ටමට සංවර්ධනය කළ හැකි යැයි මිනිසුන් තුළ දැඩි විශ්වාසයක් ඇත.

මන්දයත් මෙරට ජනතා බදු මුදල් විශාල ප්‍රමාණයක් ලංකාවේ මැති ඇමතිවරුන් ගේ නඩත්තුවට වියදම් වුවත් , ඔබ වහන්සේලාගේ නඩත්තුවට එතරම් වියදමක් අවශ්‍ය නොවීමයි.අනේ දෙවියනේ මා මේ කියන කතාව අසා ඔබ වැඩිය විස්සෝප වෙන්නට අවශ්‍ය නැත.

මේ සිරි ලංකාවේ ඇමතිවරයකුට කාර්ය මණ්ඩලයේ 15 කි. ( ලේකම් බිරිඳ, සම්බන්ධීකරණ ලේකම් පුතා හෝ ලේලි …… ) නිල ලෙස ලබාදෙන වාහන සංඛ්‍යාව 7 කි. එහි ප්‍රධාන නිල රථ දෙකට මසකට තෙල් වියදම රු. 1 50 000 .00 කි. අනෙක් එක් වාහනයක් සඳහා මසකට තෙල් සඳහා රු. 30 000. 00 බැගින් තවත් රුපියල් 1 50 000. 00 කි. ආරක්ෂකයින් 8 කි.

ඔවුන්ට ද වෙනම වාහන ලබාදේ. ඇමතිවරයාට හා එන අමුත්තන්ට සංග්‍රහ වියදම් මහා භාණ්ඩාගාරයෙන් පියවා දෙයි. ඉස්තරම් ජංගම දුරකථනයක් ද රජයෙන්ම ලබාදී, එහි මාසික බිල රු.7500.00 ක් ද අපිම ගෙවයි.

land phone ගණනාවකි. ඇමැතිතුමාගේ ගෙදර හා නිල නිවාස දුරකථන බිල් ගෙවීමට මසකට රු. 1 00 000.00. කි. එම මන්දිරයේ ලයිට් බිල් වතුර බිල් සියල්ල අපම ගෙවයි.චක්‍රලේඛයට අනුව ඇමතිවරයාට කුඩයක් ටෝච් එකක් පවා ජනතාව වියදම් කර ලබා දිය යුතුය. බොහෝ වරප්‍රසාද අතරින් ඔය ටිකකි. ( විශේෂඥ වෛද්‍ය සීතා ඇමතිතුමිය කුඩයක් හා ටෝච් එකක් ගත්තේ ඒ නීතියට අනුව නිසා ඕවාට ඔබ වහන්සේලාටද කිරීමට යමක් නැතුව ඇති )

සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පවා වසරකට තැපැල් මුද්දර රු. 3 50 000. 00 ක්ද , පාර්ලිමේන්තුවට සහභාගිවීමේ දීමනාව දිනකට රුපියල් 2500. 00 කි. එසේ පැමිණ පාර්ලිමේන්තුවේ කාරක සභාවක වාඩි වුවහොත් වාඩිවීමේ දීමනාව තවත් 2500 කි.

ඒවා පඩියට අමතරව ලැබෙන ඒවාය. රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 20 කි. ( 20 00 000. 00 කි ) හදිසි ජීවිත අනතුරක් සිදු වුවොත් රුපියල් ලක්ෂ 50 ක ( 50 00 000.00 ) වන්දියක් හිමිය. මේ නීති හදාගෙන ඇත්තේ අපේ ඡන්දයෙන් ගිය පාලකයන්ය. උන්ගේ නීතියෙන් උන්ට දිවියලෝක තනා දී ජනතාවට අපායක් නිර්මාණය කරමින් තිබේ.

මේ අපේ රටේ මහජන කැමැත්ත ය .දෙවියනි ඒකට කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියාය.අනේ දෙවියනි , මේ හද කම්පා වන කතාවද අසා සිටිනු මැනව, මෙකී නොකී සැප සම්පත් වරප්‍රසාද ලබා දී තිබියදීත් අපේ රටේ මැති ඇමතිවරුන්ට ජීවත් වීමට අපහසුයයි පසුගියදා පවසනු ඇසිනි.

ගත් ණය ගෙවීමෙන් පසු එදාවේල කෑමට වත් නොහැකි බවත් යන්තම් බිරිඳ සොයා ගන්නා දෙයින් පණ නල ගැටගහ ගන්නා බවත් ඔවුන් පවසයි. එබැවින් ගෞරවනීය සක්‍ර දෙවියනි, සමාජ සේවා අමාත්‍යාංශය භාර කතරගම දෙවියන් වහන්සේ මගින් මේ මොහොතේ නිරෝධායනය වෙන හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ පවුල වෙනුවෙන් මසකට රුපියල් දෙදහස් පන්සියයක සහන මල්ලක් ද එස් බී දිසානායක හිටපු අමාත්‍යවරයා ගේ පවුලට දැනට දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් දෙදාහේ සහනාධාරය ද ලබාදීමට කාරුණික වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමි.

පසුගිය පාලකයන් හා මේ පාලකයන් රටට කළ විනාශය නිවරදිව හොයා දඩුවම් ලබාදීමට දේව කොමිසන් සභාවක් පත් කරන ලෙස ගෞරවනීය ඔබ වහන්සේලාගෙන් ඉල්ලන අතර, එය පාස්කු කොමිසම හෝ මහ බැංකු වංචාව පිළිබඳ හොයන්නට පත් කළ කොමිසම් මෙන් ප්‍රෝඩාකාරී විහිළුකාරී මුදල් කාබාසිනියා කරන දේව කොමිසමක් නොකරන ලෙස ඉල්ලමි.

ඔබ වහන්සේලා පත්කරන කොමිසම් වලට කපුවන් පත්නොකර දෙවියන්ම පත්කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමි. පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ ආදී අවනඩු පිළිබඳව දහසක් නෙත් තිබෙන මහා සක්‍ර දිව්‍ය රාජයාණන් වහන්සේට ද සොයා ගැනීමට අපහසු වන තරමට මූං වංචා කර ඇති බවට අපට හැගේ.

එබැවින් හොඳින් දිවැස් තිබෙන දෙවියන්ම කොමිෂන් වලට පත් කරනු මැනවි.පසුගිය කාලයේ සිදු වූ කිසිදු නාස්තිකාරී වියදමක් දෙවියන් වහන්සේලා ඇමතිකම් බාරගත් පසු සිදු නොවන බව උදක්ම මා දනිමි.මුහුණු සයක් අත් දොළසක් තිබෙන කතරගම දෙවියන් ඇමතිවරයකු වූ පසු උන්වහන්සේට වාහන හත අටක් අවශ්‍ය නොවන්නේය.

ඒ සඳහා එක මොණරෙකු ( මයුරෙකු ) සිටියාම ප්‍රමාණවත්ය. විෂ්ණු දෙවියන්ගේ වාහනය ගරුඬාය. සමන් දෙවියන් වහන්සේගේ වාහනය සුදු ඇතෙක් බැවින්ද , ගණ දෙවියන් වහන්සේගේ වාහනය මීයා බැවින් ද , උන්ට තෙල් ගැසීමක් හෝ රෙපයාර් කිරීමක් හෝ අලුතෙන් ටයර් දැමීමක් නොවන නිසාත් රියදුරන් අවශ්‍ය නොවන නිසාත් , මසකට කෝටි ප්‍රකෝටි ගාණක මුදලක් රටට ඉතිරි වන්නේ ය.

එක මුහුණක් අත් දෙකක් තිබෙන එක ඇමතියෙකුට මහා වියදමක් ගියාට දෙවියන් වහන්සේලාට භාරදෙන අමාත්‍යධූරවලට ඒ අනුව විශේෂ වියදමක් වැය නොවනු ඇත.ගෞරවනීය දෙවියනි , මා ජීවත් වන ගම්මානයට අල්ලපු ගම්මානයවන කණුගොල්ල ගම්මානයේ ජීවත්වන ගුණේ මල්ලි, මේ දිනවල පවතින ආර්ථික අමාරුකම් නිසා දඩයමේ යන්න පටන් ගෙන ලු. ළඟකදි මොනරෙකුට ගිනිබිඳ මරා කකුල් දෙකකින් එල්ලාගෙන කැලේ මැදින් පැමිණ දෙවට දිගේ එනවිට ඇටඹේවෙල නැන්දම්මා විසින් ගුණේ මල්ලිට බැන වැදුනේලු.

” පව්කාරයා උඹට දෙවියන්ගේ හාල් කැවිලද , කතරගම දෙවියන්ගෙ වාහනේ නේද ? උඹට ඕව සහ ගහනවා. උඹට නම් හොඳක් වෙන්නේ නෑ. අහිංසක සත්තු මරං කන කාලකන්නියා , බලපං උඹ නං එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ . උඔට දේව සාපේ වදිනවාමයි ” ඇය කීවේලු.

ඇත්තටම දෙවියෙනි , අපේ ගුණේ මලයාට යම් අනතුරක් වෙයිද ? හැබැයි ගුණේ මල්ලි නම් ඇටඹේවෙල නැන්දම්මාට හොඳවයින් දෙකක් කී බව ගමේ උන් කියන්නේ ය.

” කතරගම දෙයියන්ට වුණත් මේ රටේ මැති ඇමතිවරුන්ට තියෙන රථ ගාය නෑ. කතරගම දෙයියන්ට එක වාහනයක් තිබුනම ඇති, උඹ ඡන්දෙ දීපු එවුන්ට නම් එකක් නෙවෙයි දහයක් පහළොවක් තිබ්බත් මදි, උඹල ඡන්දෙ දුන්නු හිටපු සිරිසේන ගොයිය ඒ දවස්වල උඩු ගුවනින් යන කොට හෙලිකොප්ටර් තුනකින් ගියා. එකක් මගදී කැඩුනොත් අනිත් එකට පනින්නද ඌ එහෙම ගියේ, අපේ කතරගම දෙවියන් වහන්සේට මූණු හයයි අත් දොලහත් තිබ්බත් එක මොණරෙක් ඇති. උඹ දැන ගනින් නැන්දම්මා, උඹලත් ඉතින් වල් ඌරු මස්, කුකුල් මස් ගෙරි මස් බුදින ගමන්, හරක් මරන එක නවත්තනවා කියලා උඩ දාගෙන ආපු එකාටම ඡන්දෙ දීලා, දැන් මට එනවා කියන්න. ඇත්තටම දෙයියන්නාන්සේලා ඉන්නවා නම් දෙයියම්පල්ලා සාප වෙන්ඩ ඕනේ මේ රටේ මේ වසංගතේ පාලනය කොරන්නේ නැතුව ජනතාව මරවන උන්ට , එදා වේල කන්න නැති අපිව හාමතේ ට දාපු, මිනිස්සුන්ගේ දේපල හොරා කන, රටේ දේපළ විකුණන, රට ණය කරන උනුයි, උන්ට කත් අදින උඹලා වගේ උන්ට ” කියමින් ගෝරනාඩු කළාලු .

ඒක අහපු ඇටඹේවෙල නැන්දම්මා පෑලදොරින් ගේ ඇතුලට රිංගා ගත් බවත් ගමේ උන් මා සමග පැවසීය. ගෞරවනීය දෙවියෙනි, ඔබ වහන්සේලා ද මේ වෙනවිට හොඳින්ම දන්නා පරිදි රටේ ජනතාව මරණ බියෙන් වෙළී සිටින අතර දුගී දුප්පත් ජනතාව තුන්වේල නිසි ලෙස කෑමට හැකියාවක් නොමැති ව බලවත් පීඩාවට පත්ව සිටී.

2019 අවුරුද්දේ පොල් ගෙඩියක් රුපියල් 40 කි. අද එය රුපියල් 100 කි. පොල් තෙල් බෝතලය රුපියල් 320 ට එදා තිබුණු අතර අද එය රුපියල් 600 කි. රුපියල් 100 ට එදා ගත් පරිප්පු කිලෝ එක අද රුපියල් 240 කි. රුපියල් 95 ට තිබුණු සීනි කිලෝ එක අද රුපියල් 230 කි.

සමහර මිනිසුන් පවසන්නේ මේ රටේ පාලකයන්ට දෙවියන්ගේ හාල් කැවිලා ඇති බවය. ඇත්තටම දෙවිඳුනි දිවියලෝකෙත් හාල් වල මිල මෙහේ තරම්ම ඉහළ ගොස් තිබේ ද ? මිනිසුන් හඩ නගන්නේ මේ කුමන දේව ශාපයක් දැයි කියාය. ඒකට නම් මට හරිම හිත් අමාරුයි. මාගේ අදහස මේකට ඔබ වහන්සේලා වගඋත්තරකරුවන් නොවන බවය.

ඔබ වහන්සේලා පවා දිවි ගැට ගහගන්නේ අපි පුදන පලතුරු වට්ටියක් අනුභව කර බව මා නම් දනිමි. එසේ පණ ගැටගසා ගන්නා ඔබ වහන්සේලා මෙරට නරයන් ට මෙවැනි විපතක් නොකරන බවද මා විශ්වාස කරමි.

මේ අතර මේ දිනවල රට පුරා විටින් විට ගුවන් ගැබ සිසාරා මෙරට නරයන් ගෙන් ,

” බී ළූණු කෑවද ? සීනි ගෙදර තියනවද ? හොද්දට පොල් කිරි දැම්මද ? ………… තෙලෙන් බැදලා කනවද ? . … දැන් කොහොම ද ?.. ද ?…. ද ?….. ද ?…ද ? ෂැපද ? ….ෂැපද ? …..දැන් ෂැපද ?…’

යනුවෙන් කන් බිහිරි කරමින් නැගෙන මහා අද්භූත ශබ්දය පිළිබඳ වද සොයා බලා එය නවතා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

මේ කරුණු පිළිබඳ ඔබලාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි. මේ රටේ මහජනතාව මේ සාපෙන් හා පාපයෙන් මුදවා ගැනීමට ඔබලාගේ පාලනයට හැකි වේවායි පතමි. ඔබ වහන්සේලාට දෙවියන්ගේ පිහිටයි.

ස්තුතියි,

මනුෂ්‍ය ලෝකයේ,

ශ්‍රී ලංකා නරවැසි,

සමන්ත විද්‍යාරත්න.’