ගව මසින් කප් ගසන විෂ්ණු හද බිම…

  • ඉන්දියාව ගවමස් අපනයනකරුවන් අතර පස්වැනි තැනට
  • හින්දූන් ගවමස් කෑවාට අවුලක් නැතැයි කියන විද්වතුන්
  • ඒ මතයට එරෙහි විද්වතුන්
බිඟුන් මේනක ගමගේ

ගව ඝාතනය යනු ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවකි. කලබැගෑනියකි. සටන් පාඨයකි. විෂ්ණුගේ අට වැනි අවතාරය හැටියට පිවිසි ක්‍රිෂ්ණ සමග වූ බැඳීමේ පටන් වේදයන් ඇතුළු ආගමික බලපෑමෙන් ඉන්දීය භූමියේදී මේ සත්වයාගේ ප්‍රතිනිරූපණයම වාද විෂයකි. මේ නිසාම ප්‍රාන්ත රැසක්ම ගව ඝාතනය හා මාංශ අනුභවයට දමා ඇත්තේ තද නීතිමය වාරණයකි.

එහෙත් ඒ අතරේම සෙසු ලෝකයට ගව මස් සම්පාදනයෙන් කප් ගැසීමට ඉන්දියාව සමත් වී ඇතැයි කිවහොත් එය ප්‍රහේලිකාවක් නොවේද?

ඊට කෙටි පිළිතුර නම් 2020 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක අපනයන ආදායමක් ඉපැයීමට ඉන්දියාව එමගින් සමත්ව ඇති බවයි. ගවමස් අපනයනකරුවන්ගේ ලැයිස්තුවේ පස් වැනි තැන දක්වා පැමිණෙන්නට ඒ සමග ඉන්දියාවට හැකිව ඇති බවයි.  

වන්දනාවට පාත්‍ර විය යුතු යැයි හින්දූන් විශ්වාස කරන ගවයා මුසල්මානුවන් විසින් ආහාරයට ගනු ලැබීම දේශපාලන ප්‍රශ්නයකි. එය ඉන්දියාවේදී දරුණු ලෙස රළ නැගෙන දේශපාලන ප්‍රශ්නයක් වූයේ අදක ඊයේක නොවේ.

එහෙත් මේ ගවමස් අපනයන ආදායම සමග ඇතැම් මුස්ලිම් ජාතික තරුණයෝ මේ ශුද්ධ වස්තුව විදේශ විනිමය සඳහා යොදාගැනීමේදී ප්‍රශ්නයක් නැතිදැයි ප්‍රශ්න කරමින් සිටිති. රැඩිකල් හින්දුන් මෙහිදී තර්කයක් හැටියට නගන්නේ මෙම ගව මස් අපනයනකරුවන් ද මුස්ලිම් ජාතිකයන් වන බවයි.

එහෙත් එය මුළුමනින් නිවැරැදි නොවේ. සමාගමට මුස්ලිම් නාමයක් යොදාගෙන මේ අපනයනයෙහි නිරත ඇතැම්මු හින්දූන්ම යැයි මේ ගැන කරුණු පැහැදිලි කරමින් අදහස් දක්වන ඇතැම් මුසල්මානුවෝ අනාවරණය කර සිටිති. නිදසුනකට අල් කබීර් නමැති ගවමස් අපනයන සමාගමේ හවුල් හිමිකාරිත්වයට හින්දුන් හිමිකම් කියාපෑම දැක්විය හැකිය. 

උත්තර් ප්‍රදේශය මුල් කරගෙන ගොඩනැගුණු ජාතිකවාදී සංවිධානයක් වන බජරන් දාල් යනු ගව ඝාතනයට එරෙහිව විශාල ලෙස හඬ නගන්නෙකි. මුස්ලිම් ප්‍රජාවේ ජන වර්ධනය හා ක්‍රිස්තියානිකරණය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාය. එමෙන්ම ගව ඝාතනය නීතියෙන් තහනම් කිරීම ප්‍රමුඛ සටන් පාඨයකි.

කෙසේ වෙතත් වරක් එහි නායකයකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ ගව මඩුවක් සඳහා කළ හරක් හොරකමකටය. මේ සම්බන්ධයෙන් හාස්‍යෝත්පාදක වීඩියෝවක් මුදා හළ මුස්ලිම් ජාතික තරුණයකු එය සමාන කර තිබුණේ තලේබාන් නායකයකු ඌරන් මසට විකුණා අසුවීමකටය. 

දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය ඩී.නාරායන් ජා පවසන්නේ පුරාණ ඉන්දියාවෙහි ගවයා අනතුරට භාජනය නොකළ යුතු ශුද්ධ වස්තුවක් හැටියට නොසැලකූ බවයි. එහෙත් වේද ශාස්ත්‍රඥයන් මහාචාර්ය නාරායන්ව විචේනය කරන්නේ හිතාමතාම සංස්කෘත පාඨ වැරැදි ලෙස අර්ථකතනය කරන බවටය. 

ඇතැම් ශාස්ත්‍රඥයන් පෙන්වාදෙන්නේ ගව මස්වල උචිත අනුචිතභාවය සෙවීමට වේද සාහිත්‍ය සොයායෑම නිරර්ථක වෑයමක් කියාය. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඇතැම් තැන්වලදී එය කැප බවටත් තවත් තැනක අකැප බවටත් දක්වා තිබීමය. නිදසුනක් හැටියට එක් තැනක අවමංගල්‍ය උත්සවයකින් පසුව ශෝක වන්නන්ට ගව මස් අනුභවය කැප බව සඳහන් වීම දැක්විය හැකිය. 

‘ගවයන්ට ගරුසරු කිරීමේ හා වන්දනා කිරීමේ පුදුම පුරුද්දක් මේ මිනිසුන් අතර පවතිනවා. ඔවුන් ගව මළපහවලට පවා දෙන්නේ පුදුම වටිනාකමක්. තමන්ගේ ගෙවල්වල බිත්ති පිරියම් කරන්නේ ඒවායෙන්. ඔවුන් මස් කන්නේ නෑ. ඒ වෙනුවට කිරි, සහල් සහ අල වර්ගවලින් යැපෙන්නේ ’

ප්‍රකට ඉංග්‍රීසි දේශාටකයකු වූ රැල්ෆ් ෆිච් 1580 දී ඉන්දියාවේ සිට තම නිවැසියන්ට ලියූ ලිපියක ගවයන් සම්බන්ධයෙන් වූ ඉන්දීය පිළිවෙත ගැන එසේ සඳහන් කර තිබුණේ විස්මයෙනි. මේ ආකාරයට ගවයා සම්බන්ධයෙන් වෙනම සාහිත්‍යයක් ද භාරතයේදී අපට හමුවේ. වේදික ධර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් වූ ආර්ය සමාජ්හි නිර්මාතෘ දයානන්ද සරස්වති නමැති චින්තකයා විසින් රචනා කරන ලද ‘ගෝකරුණානිධි’ කෘතිය යනු ගවයා සම්බන්ධ හින්දු සංස්කෘතික හර පද්ධතිය ගැන මනා විවරණයකි. එහිදී ඔහු ගවයා සම්බන්ධ ආගමික තර්කනයන්ගෙන් ඔබ්බට ගොස් ආර්ථික හා කෘෂිකාර්මික වශයෙන් ඇති වැදගත්කම ගැන කතා කරයි. වේද ග්‍රන්ථයන්හි ගවයා හා සම්බන්ධයෙන් වූ උපුටන ඔහුගේ විවරණයට බොහෝ සෙයින් පාදක කරගෙන ඇත. 

‘එළදෙන යනු සියලු මැනීම්වලින් ඔබ්බෙහි පවතින වස්තුවකි. ඇය මනුෂ්‍යභාවය කෙරෙහි දක්වන ප්‍රතිදානයෙහි සීමාමායිමක් නැත’

– යජූර්වේදය – 48 

ඉන්දීය කාන්තාවකට පිරිනැමෙන ඉහළම ගණයේ රාජ්‍ය සම්මානයක් වන නාරි ශක්ති සම්මානයෙන් පිදුම් ලද නන්දිතා ක්‍රිෂ්ණා මහාචාර්යවරිය පවසන්නේ ඇතැම්විට මෙම ගව ප්‍රණාමය වේද යුගයෙහි ආර්ය එඬේර ව්‍රතයකින් ආරම්භ වන්නට ඇති බවය.

විෂ්ණුගේ අට වැනි අවතාරය හැටියට සැලකෙන ක්‍රිෂ්ණගේ රථය හැටියට ගවයා සැලකීම ද මෙසේ ගවයාට සුවිශේෂී තැනක් හිමිවීමට ප්‍රධාන හේතුවකි. නිර්මාංශවේදය සමග ද මේ විවාදය නැවත සම්බන්ධ වේ. නිර්මාංශ ආහාර සංස්කෘතිය හින්දුන්ගේ ප්‍රමුඛ ලක්ෂණයකි. එහෙත් නිර්මාංශවාදී හා මාංශවාදී හින්දුන් අතර ද ගව මස සම්බන්ධයෙන් විවාදයක් පවතී.

ඇතැම් මාංශවාදී හින්දුන් තර්ක කරන්නේ රාමායන හා මහාභාරත වැනි වීර කාව්‍යවල පවා ආහාරයක් හැටියට ගව මස් පරිභෝජනය කළ අවස්ථා ගැන සඳහන් වන බවයි. විශේෂයෙන්ම 12වැනි සියවසේ දිල්ලි සුල්තාන් පාලනය සමග මාංෂ අනුභවය කිසියම් ආකාරයකට ව්‍යාප්ත විය.

කුරානයට අනුව දෙවියන් ගවයා මවා ඇත්තේ මිනිසාට පරිභෝජනයටය. කෙසේ වෙතත් හින්දුන්ගේ භූමිය පාලනයේදී මේ කැප කාරිය වුව පොදුවේ මහජනයාගේ මනෝභාවයට බලපාන බව මුස්ලිම් පාලකයෝ තේරුම්ගත්හ. තුන් වැනි මෝගල් අධිරාජයා වූ අක්බාර් ඉන්දීය පරිපාලනයේදී හින්දුන්ගේ හොඳ හිත පිණිස ගව ඝාතනය තහනම් කිරීම ඊට නිදසුනකි.

එමෙන්ම ඇතැම් මුස්ලිම් පාලකයන් මෙය නොතකා ගවයන් ඝාතනය කිරීමට වැරැදිකරුවන් වූවන්ට මනුෂ්‍ය ඝාතකයන් සේම සලකා දඬුවම් කළ බව ද පැවැසේ. මේ නිසාම ගව ඝාතනය මුස්ලිම් රජවරුන් පාලනයේදී දේශපාලන එදිරිවාදිකමක් සේ සැලකූ බව පැහැදිලිය. දිල්ලියේ පාලනයෙන් නෙරපනු ලැබූ අහමඞ් ෂා දුරානි අධිරාජයා ඇෆ්ඝනිස්ථානය කරා පලා යන ගමනේදී අග්රා සහ බිරින්දෑවන් කොල්ලකෑමෙන් නොනැවතී අම්රිට්සාර්හි ගෝල්ඩන් ටෙම්පල්හි ශුද්ධ වූ පොකුණ ගව ලෙයින් නැහැවූයේ එහෙයිනි. 

හින්දු, බෞද්ධ හා ජෛන ආගමික මූලධර්මයක් වන අහිංසාවාදය පොදුවේ මෙම මතවාදයට බලපා තිබේ. තමිල්නාඩු, කේරල, ගෝවා, දකුණු බෙංගාලය, අරුණාචල්, ඇසෑම්, මනිපූර් හා ත්‍රිපූර් ආදී ප්‍රාන්ත හැරුණු විට බහුතර ප්‍රාන්තවල ගව ඝාතනය තහනම්ය.

මෙම මහජන මතය කෙතරම් බලගතුද යත් 2005 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් ගම්‍ය කෙරුණේ ගව ඝාතන තහනම ව්‍යවස්ථානුකූල බවය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ගවයාගේ සුරක්ෂාව තහවුරු කර තිබේ. එහෙත් ඒ නිදහසට ද කොන්දේසියක් තිබේ. එය නැවතත් සංස්කෘතිකය.

ඊට අනුව මේ ශුද්ධ වස්තු කතාව පෑහෙන්නේ එළ ගවයාට මිස මී ගවයාට නොවේ. ඒ අනුව මේ ගව ඝාතන කොන්දේසියේදී මුක්තිය හිමිවන්නේ එළ ගවයන්ටය. මේ නිසා බොහෝදුරට මරණයට ලක්වන්නේ මී ගවයන්ය. මේ නීති රීති නිසා ප්‍රාන්ත 24 කදී පමණ එළ ගවයන් මරණයට පමණක් නොව විකිණීමට ද තහනම් වැටී තිබේ. නිදසුනක් ලෙස උත්තර් ප්‍රදේශය යනු මී ගවයන් මස් පිණිස මරණ ප්‍රධානතම ගව ඝාතකාගාර පිහිටි ප්‍රාන්තයකි.

එහෙත් එහි පවා එළ ගවයන් මරණය, මස් ආහාරයට ගැනීම මෙන්ම විකිණීම තහනම්ය. හර්යානා, හිමචල් හා පන්ජාබ් යන ප්‍රාන්තවලදී නම් අවන්හල්වල ගව මස් ආහාරයට කැපය. එහෙත් එම මස් සම්පාදනය කරගත්තේ ගව ඝාතනයට අනුමැතිය දී ඇති ප්‍රාන්තයකින් බවට පරීක්ෂකවරුන්ට ඔප්පු කිරීමට අවන්හල් හිමිකරු සමත් විය යුතුය. 

කෙසේ වෙතත් මෙම ගව ඝාතනය හා බැඳුණු විශාල කළු ආර්ථිකයක් ද මේ නිසාම ඉන්දියාවේ නිර්මාණය වී තිබේ. 

ඔඩිස්සාහි සිට බංගලාදේශය කරා කෙරෙන හොර හරක් ප්‍රවාහනය ඊට එක් නිදසුනකි. විශේෂයෙන්ම දේශ සීමාවේ සිට ගවයන් බංගලාදේශයට යැවීමෙන් හොඳ මුදලක් උපයාගත හැකි බව ඉන්දියානුවෝ දනිති. මේ හොර හරක් ජාවාරම ගැන වරක් මාධ්‍යවේදියකු විමසා සිටියේ ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන ද උනන්දු සුබ්‍රමනියම් ස්වාමිගෙනි.

ජාතික මට්ටමේ තහනමක් දක්වා එය ගෙන යා යුතු බවට ඔහු පිළිතුරු දුන්නේ තමා හොඳ ජාතිකවාදියකු බව කියාපාමිනි. ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ මෙම අනීතික තත්ත්වය නිසා කෘෂි හා පශු සම්පත් සඳහා ගවයන්ගේ අඩුවක් මේ වනවිට දැකිය හැකි බවය. ඉන්දියාව හා බංගලදේශය අතර දේශ සීමා කිලෝමීටර් 500 ක පමණ දුරකට පවතින්නේ ගංගා හා තෙත් බිම් යාවය. මේ නිසා දේශ සීමා ආරක්ෂණය පහසු දෙයක් නොවේ. දේශ සීමා ආරක්ෂක බළකායේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බී.ඩී ෂර්මා ‘ද හින්දු’ පුවත්පතට එය විස්තර කර තිබුණේ මෙසේය.

“ ජාවාරම්කරුවන් ගංගාධාරවල දුෂ්කර තැන් ගැන දන්නවා. ඔවුන් කරන්නේ ගවයන් රැලක්ම ගොපල්ලකු සමග ගඟ දියට මුදාහැරීමයි. ගවයන් රැලත් ආන්බාන් කරගෙන එහා ඉමට යන්න මේ ගොපල්ලන් දක්ෂයි.”   

එළ ගවයන් සමග ඉන්දීය දේශපාලන නායකයන් කරන දේශපාලනයේ නාටකීය තැන් ශ්‍රී ලාංකික අපටත් පුරුදුය. ඒ, හරක් සම්බන්ධයෙන් ඇති සංස්කෘතික මත සටන් පාඨ හැටියට උච්චාරණය කිරීමෙන් ලබාගත හැකි දේශපාලන වාසිවලදී චර්යාවේ වෙනසක් නැති නිසාය.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ඉන්දීය ආණ්ඩුව ද මේ හරක් සමග කරන දේශපාලනයෙන් වාසි ගැනීමට පැකිලෙන පිරිසක් නොවේ. ආණ්ඩුවේ පරිසර අමාත්‍යාංශය විසින් 2017 මැයි 26 වැනිදා සියලුම සත්ව වෙළෙඳසැල්වලදී මරණය සඳහා ගවයන් විකිණීමට රට පුරාම තහනම් කිරීමට තීරණය කරනු ලැබුවේ ඒ අනුවය. 

එහෙත් ගව මස් අපනයනකරුවන් විසින් වහාම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙස්සමක් ගොනු කරන ලද අතර ආණ්ඩුවේ තීරණය වාරණය විය. එක්තරා ආකාරයකට මෙය ද දුම්වැටිවලින් විරුද්ධ වෙමින් දුම්කොල බදු ආදායමින් යැපෙන ආණ්ඩුකරණයක් බඳුය. ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංඛ්‍යාලේඛන දක්වමින් පෙන්වන්නේ ගව මස් අපනයන වෙළෙඳපොලෙහි වැඩි පංගුවක් හිමිකරගැනීමට ඉන්දියාව දරන වෑයමයි.

එහෙත් ඒ අතරේම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා යුරෝපා සංවිධානය ඉන්දියාව නම් කරන්නේ ගව මස් අපනයන කරන රටවල් අතරේ ඒක පුද්ගල ගව මස් පරිභෝජනයෙන් ඉතාම පහළ තැනක සිටින රටක් හැටියටය. කෙසේ වෙතත් විවිධ වාර්තා දක්වන ආකාරයට දේශීය ගව මස් පරිභෝජනයෙන් ඉහළින්ම සිටින රටවල් දහය අතරට ද ඉන්දියාව එක් වේ.   

2020 වසරේදී ලෝකයට වැඩිම ගවමස් අපනයනය කර තිබුණේ ඕස්ටේ්‍රලියාවයි. ඕස්ටේ්‍රලියාව එමගින් උපයාගත් මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6කි. එහි පස් වැනි තැන ඉන්දියාවට ලැබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක ආදායමක් ලබාගනිමිනි.

අපනයනයේදී පවා කටු සහිතව මස් අපනයනයට ඉන්දීය නීතිය ඉඩ නොදේ. විශේෂඥයන් කියන්නේ එහි ඇත්තේ ප්‍රමිතිය පිළිබඳ කතාවක් බවයි. සත්ව මළ කුණක් ඉක්මනින් නරක් වන්නේ අස්ථි සහිතව යැයි ද කටු ඉවත් කරන ලද මස් අධික තාපයකට ලක්කිරීමෙන් ඒවායේ විෂබීජ හටගැනීමට ඇති ඉඩ වැලැක්වෙන්නේ යැයි ඔවුහු පවසති. විශේෂයෙන්ම ගවයන් අතර බහුල කුර සහ මුඛ රෝගකාරක හටගැනීම එයින් වැලැකෙන බව ඔවුන්ගේ අදහසයි. 

පහළම කුල ජන කොටසක් හැටියට සැලකෙන දලිත් ජනයා පෙනීසිටින්නේ ගව ආරක්ෂකයන් හැටියටය. එහෙත් ඇතැම් ප්‍රදේශවල සැලකිය යුතු දලිත් ජන පිරිසක් සිට එදාවේල සරි කරගන්නේ සම් නිෂ්පාදනවලට අමුද්‍රව්‍යක් වූ හරක් හම් සම්පාදනයෙනි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් සඳහා වූ මහජන එකමුතුවට අනුව මෙය පහළ සමාජ තීරුවක පැවැත්ම හා සංස්කෘතික වටිනාකම් අතර විරුද්ධාභාසයකි.

ඇතැම් තැන්වලදී ඊට ප්‍රධාන කුලවල අනුමැතිය ලැබෙන්නේ සිය වෘද්ධ ගවයන් හම් පිණිස විකුණාදැමීමේ කටයුත්ත දලිත් තරුණයකුටම පවරමිනි. මේ ආදී වශයෙන් ගත් කළ ආර්ථික ගනුදෙනුවලදී සංස්කෘතික වාරණ මෘදු ලෙස අපහරණය කිරීමේ හැකියාව ද ඉහළ කුලවලට පවතින බව පැහැදිලිය.