ඕනෑ නෑ කියා මොරදුන් IMF පැකේජ් එක ගන්න, මිලින්ද-බැසිල් සාකච්ඡාලු! කැබිනට් ප්‍රකාශකත් ඒ ගැන කියලා

බැසිල්, මිලින්ද අයිඑම්එෆ් යන්න කැමතියි

ඒත් පීබී, කබ්රාල් ඇතුළු අය අකමැතියිලු

අපේ රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් විදියට අයිඑම්එෆ් පැකේජ් එක ගන්න ඕනෑකමක් නැහැ කියලා ආණ්ඩුවේ නායකයන් මීට කලින් කයිවාරු ගැහුවාට, අලුතින්ම වාර්තා වෙන කරුණු අනුව ආණ්ඩුව ඒක ගන්න ලෑස්තියෙනුයි ඉන්නේ.

බැසිල්-මිලින්ද සාකච්ඡාවක කතාවක් වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහස් දැක්වීමකුත් ඒ බව තහවුරු කරනවා.

සිලෝන් ටුඩේ පත්තරය වාර්තා කරලා තියෙනවා බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ යටතේ අයිඑම්එෆ් පැකේජය ලබාගැනීමට දැඩිව අවධානය යොමු කරමින් ඉන්න බව.

මීට අමතරව ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්තරේත් වාර්තා කරලා තිබුණා බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වුණාට පස්සේ අයිඑම්එෆ් පැකේජය ඉල්ලන්න ඉඩක් ඇතැයි රාවයක් පැතිර යන බව.

ඉන්දියාවට යන්න කලින් මිලින්ද මොරගොඩ, බැසිල් රාජපක්ෂ එක්ක කරපු සාකච්ඡාවකදී මේ ගැන කතා කළාලු.

දැනට ලංකාවේ තියෙන විදේශ සංචිත අර්බුදය කළමණාකරණයට එහෙම නැතිව අමාරු බව පෙන්නුවාලු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට රජය තීන්දු කර නොමැති බව අගෝස්තු 31 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ඇමතිතුමා කීවා.

ඉදිරියේ මෙරට සහ ගෝලීය ආර්ථික තත්වය සලකා බැලීමෙන් පස්සේ ඒ ගැන තීන්දුවක් ගන්න බව තමයි ඔහු ප්‍රකාශ කළේ.

මීට කලින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ‘අපට ඕනෑ නැති’ බව වරින් වර කියා තිබුණ පසුබිමක ‘තාම තීරණයක් නෑ’ කීම රජය පැත්තෙන් වෙනසක්.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල් යනු වරින් වර කෑලි ගැලවෙන ඇමතිකමක් හිමි අවලංගු කාසියක් බවට පත්වෙමින් සිටින කෙනෙක්. ආණ්ඩුවට ඔහුව අවශ්‍ය බව පේන්නේ ආර්ථික අර්බුදය ගැන මිනිසුන්ට ආණ්ඩුව පැත්තෙන් කතාන්දර කීමේ රාජකාරිය පමණක් බව තමයි පේන්නේ.

විපක්ෂයේ සිටින සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නායකයන් කිහිපදෙනෙක්ම දිගින් දිගටම යෝජනා කර තිබුණේ අයිඑම්එෆ් සහනය ලබාගන්නා ලෙස. ඊට අමතරව මෙරට ආර්ථික විශේෂඥයන් එලෙස ඉල්ලා තිබුණා. මේ ඉල්ලීම දැඩිව කරපු කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා.

ආණ්ඩුව පහුගිය සතියේ ඩොලර් මිලියන 780ක අයිඑම්එෆ් දීමනාව ලැබුවා. ඒක ලෝකයේ රටවල්වලට දෙන පොදු එකක්. ඒත්, රමේෂ් පතිරණ ඇමතිවරයා මේ කතා කරලා තිබුණේ ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත හැකි පූර්ණ සහන පැකේජය ගැන.

1965 ඉඳන් මේ දක්වා ශ්‍රී ලංකාව 16 වතාක් අයිඑම්එෆ් සමග සහන වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඩොලර් බිලියන 4.4ක් වටින පැකේජ. ඒත් ලැබී තිබුණේ එකතුවක් විදියට ඩොලර් බිලියන 3.6ක්.

දැනට පවතින අර්බුදය ඉදිරියට ගියොත් එක පැත්තකින් අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්වය පහත වැටෙනවා. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර වගේම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසයත් බිඳ වැටෙනවා. එතකොට ගොඩ එන්නට තියෙන මාර්ග ඇහිරෙනවා. බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ජීඑල් පීරිස්, මිලින්ද මොරගොඩ ප්‍රමුඛ පිරිසක් එක්ක එකතු වෙමින් ඇමෙරිකාව හා ඉන්දියාව එක්කත් සාකච්ඡා කරමින් ආර්ථිකය ගොඩගැනීමට සැලසුම් සකස් කරමින් ඉන්නවා.

මීට කලින් බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකානු සංචාරයකදී බයිඩන් පාලනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මුණගැසුණු බවත් සන්ඩේ ටයිම්ස් වැනි පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවේදී ඇමෙරිකානු තානාපතිනිය එක්ක රජයේ නායකයන්ගේ සාකච්ඡා වට කිහිපයකුත් තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් වගේම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් දෙන්නෙකුත් මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජ් එක ගැනීමේ වැදගත්කම ගැන කියමින් ඉන්න බව සිලෝන් ටුඩේ ලියා තිබුණා.

ඒත් ඒ වාර්තාවේම තිබුණ හැටියට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල වගේම අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා අයිඑම්එෆ් යනවාට විරුද්ධයිලු.

මෙවැනි පැකේජයක් ලබා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට කොන්දේසි දාන බව අපි හැමෝම දන්නවා. සමහර අය මේ කොන්දේසි විග්‍රහ කරන්නේ ‘බටහිර ගැති කොන්දේසි’ කියලා. ඇත්තටම මේ කොන්දේසි අතර බටහිර ලෝකය පිළිගත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට වැඩි නැඹුරුවක් දක්වන බව ඇත්ත. ඒ කොන්දේසි යම්කිසි ආර්ථික ප්‍රතිපත්තියක් අනුව හැඩගැහිච්ච, ඒ ඒ රටවල මිනිසුන්ගේ යහපත වෙනුවෙන් දාන කොන්දේසි.

අයිඑම්එෆ් කියන්නේ ‘ණය ගෙවන්න බැරිවුණොත් වකුගඩුව දීපං’ වගේ කතන්දර කියන ලෝන් ෂාක් කෙනෙක් නෙවෙයි. මැරයො දාලා ගස්සලා ගෙදර බඩු උස්සන පොළී මුදලාලි කෙනෙක් නෙවෙයි. ඒක දීර්ඝ ඉතිහාසයක් තියෙන විධිමත් ආයතනයක්. අපේ රටේ සමහරු මවන චිත්‍රයේ ඉන්න ‘මැර කල්ලි’ පන්නයේ හැසිරීමක් අයිඑම්එෆ් එකට නෑ.

ආණ්ඩුවක වියදම්වල තිබෙන අනවශ්‍ය කෑලි ගොඩක් කපන්න සිද්ධවෙනවා. ගැලරියට සහන දෙන්න බැරි වීම වගේම මූල්‍ය විනය උපරිමයට ළඟා කරගන්න වෙනවා. ගජමිතුරන්ට රජයේ ප්‍රොජෙක්ට් දෙනවා වගේ ඒවා වෙනුවට, ආයෝජකයන්ට සාධාරණ, සමාන සහ විනිවිද පේන ඉඩක් දෙන්නට සිද්ධ වෙනවා.

කොටින්ම කිව්වොත් ආර්ථික කළමණාකරණයට අදාල ‘යහපාලන මූලධර්ම’ අනුව කටයුතු කරන්න වෙනවා. (හිටපු ආණ්ඩුව නෙවෙයි. යහපාලන මූලධර්ම කියන්නේ දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව අනුව හැදිච්ච සංකල්ප ටිකක්.)

ඊටත් වඩා මේ ආණ්ඩුවට අමාරු ඇත්තේ මේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් එහෙම රකින්න, ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්න සිද්ධවෙන එක.