දිගම යුද්ධයෙන් පස්සේ අවසන් ඇමෙරිකන් යානය පරාජිතව පිටවෙලා

ඇමෙරිකාව නිල වශයෙන් තමන්ගේ ඉතිහාසයේ දීර්ඝතම යුද්ධය දිනුමක් නැතිව ඉවර කරමින්, උපාසකයන්ට ඇඳගෙන සිටින තාලිබාන් ත්‍රස්තයන්ට රට බාර කරමින් සම්පූර්ණයෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගත්තා.

සම්පූර්ණ ඉවත් කරගැනීම පිටිපස්සේ පේන්න තියෙන්නේ ඇමෙරිකන් පරාජයේ සෙවණැලි.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ සම්පූර්ණ නික්මයෑම නිවේදනය කළේ අන්තිම ගුවන් යානය කාබුල් නගරයෙන් පිටත් වුණාට පස්සේ. මේ අන්තිම යානයේ හිටියේ ඇමෙරිකානුවන් සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටවෙන පුද්ගලයන් පිළිබඳ කටයුතු භාරව සිටි ඇමෙරිකානු කොමාන්ඩර්වරයා වූ මේජර් ජෙනරාල් ක්‍රිස්ටෝපර් ඩොන්හුඒ සහ ඇමෙරිකානු වැඩබලන තානාපති ලෙස කටයුතු කළ රොස් විල්සන් ඇතුළු පිරිසක්.

මීට මාස කිහිපයකට කලින් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරපු වෙලාවේ කීවේ සැප්තැම්බර් 11 වැනිදා සම්පූර්ණයෙන් ඉවත් වෙන බව. 2001 9/11 ප්‍රහාරයට අවුරුදු විස්සක් පිරෙන්නේ එදා. ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට කඩා වැදුණේ ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස.

ඒ දුක්බර දවස සංකේතාත්මකව ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා දවස බවට පත් කර ගැනීම සංකේතාත්මකව පාවිච්චි කිරීමට ඒ දවස තෝරාගෙන තිබුණා. එහෙත්, තාලිබාන් හමුදාව ඇෆ්ගන් බලය අල්ලාගත්තා. ඇමෙරිකාවට ඉවත් වෙන්න කාලය දුන්නේ අගෝස්තු 31 දක්වා පමණයි.

ඇමෙරිකාව කිසි ජයග්‍රහණයක් නොලබා මෙලෙස ඉවත් වීම බොහෝ අය සමාන කරන්නේ වියට්නාම් යුද්ධයට. මෙලෙස හමුදාව ඉවත් වෙද්දී සාමකාමී සමුගැනීමක් හෝ උත්සවයක් තිබුණේ නැහැ. ඇමෙරිකාවට ස්තූති පාඨ හෝ අලුත් රජයේ නියෝජිතයෙක් නිල වශයෙන් සමුදීමට හිටියේ නැහැ.

එහෙත්, තමන් ලැබූ ජයග්‍රහණය තාලිබාන් ත්‍රස්තයන් ඉහළින් සමරා තිබුණා.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ සමුගැනීමෙන් පස්සේ කියා තිබුණේ ‘අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණා’ කියලයි. මිලිටරි මෙහෙයුම් අවසාන වුණායින් පස්සේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් ඇරඹෙන බව ඔහු කියා තිබුණා. ඇෆ්ගනිස්ථානය පිළිබඳ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කටයුතු දැන් සිද්ධවෙන්නේ කාබුල් නුවර එක්ක නෙවෙයි. කටාර් එක්කයි.

ඇෆ්ගනිස්ථානය කිසිම අරමුණකට ළඟා කරවන්නේ නැතිව, ඇමෙරිකාවත් කරන්නේ කුමක්දැයි දන්නේ නැතිව හමුදාව තබාගැනීමෙන් කාටවත් සෙතක් අත් නොවූ පසුබිමක, ඇමෙරිකාවට හමුදාව කවදා හෝ පරාජිතව ඉවත් කරගැනීම හැර විසඳුමක් තිබුණේත් නෑ.