ආයුර්වේද රෝහල්වලින් 299ක් අමාරු වෙලා බටහිර රෝහල්වලට යැව්වා – සිසිර ජයකොඩි

ධම්මික පැණිය ගැන ඇහුවාම ‘කවුරුත් මැරුණේ නැති’ බව මතක් කරයි

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ්-19 රෝගීන් 5758ක් අතරින් රෝගීන් 299ක් අසාධ්‍ය වී බටහිර රෝහල්වලට යැවූ බව ආයුර්වේද කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට පිළිතුරු දෙමින් කීවා.

ඒ වගේම ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර නිරීක්ෂණය කරන්නට බටහිර වෛද්‍යවරුන් යොදවා සිටින බවත් ඔහු කියා තිබුණා.

එහිදී ඔහු පැහැදිලි කළේ ආයුර්වේද රෝහල්වලදී රෝගීන් මැරෙන්නේ නැති බව මීට පෙර කර ඇති ප්‍රකාශ ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී.

ඊට අමතරව විවිධාකාර මිත්‍යා විශ්වාසවලට (ධම්මික පැණිය වැනි) ඉඩ ලබාදීම ගැන කළ විමසීමකට උත්තර විදියට සිසිර ජයකොඩි රාජ්‍ය ඇමතිවරයා දුන් පිළිතුර සරල බසින් විස්තර කළොත ‘කවුරුත් මැරුණේ නෑනේ’ වගේ එකක්. විවිධ ‘අත්හදාබැලීම් කරන්න සිද්ධවෙන බවත් ඔහු කීවා.

ඔහු කළ ප්‍රකාශය මෙහෙමයි.

‘ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළා. දැනට 5758ක් විතර රෝහල්වලට ඇතුළත් කරලා තියෙනවා . 4720ට වඩා සුව වෙලා ගිහින්.

මේ කොවිඩ් රෝගීන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සමග බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ප්‍රතිකාර ලබා දීම කරන්නේ.

විශේෂයෙන් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් විශාල සහයක් ලබා දෙනවා. ලෝකයේ බොහෝ කොවිඩ් රෝගය පාලනය කරපු රටවල්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, දේශීය පාරම්පරික දැනුමත්, බටහිර වෛද්‍ය ක්‍රමයත් සංකලනය කරමින් උත්සාහයන් දරලා තියෙනවා.

සංකූලතාවයන් නිසා ආයුර්වේද රෝහල් පද්ධතියෙන් බටහිර රෝහල්වලට ඇතුළත් කරලා තියෙන්නේ 299ක ප්‍රමාණයක්. අපි හැබැයි දැකලා තියෙනවා දේශීය ප්‍රතිකර්ම, ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න රෝගීන්ගේ සංකූලතාවන් අවමයි කියලා. ඒ ජයග්‍රහණය ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.

මං හිතනවා සමහර තීන්දු තීරණ අපි සද්භාවයෙන් ලබාගත්ත ඒවා. ඒවායින් කිසිසේත්ම කිසිම කෙනෙක් මියගිහිල්ලා නෑ. සංකූලතා ඇති වෙලා නෑ. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විදියට අපට යම් අත්හදාබැලීම් කරන්න වෙනවා. මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නැහැ. ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධවලට ප්‍රමුඛතාව ලබාදෙන්න කටයුතු කරනවා.’