CID යේ නිළධාරී මහතුනි ජනතාවට හිරිහැර කරනවිට නීතිය පිලිබඳවත් අවධානය යොමු කරන්න! නීතිඥ ශිරාල් ලක්තිලක ලියයි..

නීතිය නවන්නට පෙර නීතිය හදාරමු!

ජන මතය පල කරන්නන්ට CID ය ලවා හිරිහැර කිරීම නවතනු!

මේ දවස් වල CID යට වැඩ වැඩියි. කව්රු හරි මාධ්‍ය ඔස්සේ තම මතයක් ප්‍රකාෂ කලවිට එහි සුලමුල හොයන්න ආන්ඩුව භාර දීලා තියෙන්නෙ CID යට. මේ දවස් වල තම අදහස් පල කිරීම නිසා කීර්ති රත්නායක කියන සමාජ මාධ්‍යවේදියා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රනයක් ඇතැයි කියා කියු ශෙහාන් මාලක ගමගේ පසුගිය දවස්වල දින පතාම CIDයට කැඳවලා පැය ගනන් ප්‍රශ්න කරනවා. ඒ වගේම මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාෂ කලා කියලා වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් CID යට කැඳවලා.

ශෙහාන් ගමගේ

මේ තත්වය තව ඉදිරියටත් වර්ධනය වේවි. අපට තේරුම් කරගන්න තිබෙන පලමු ප්‍රශ්නය තමයි CID යට මෙහෙම හැසිරෙන්න බලය පොලිස් ආඤා පනත මගින් බලය දීලා තියෙනවද කියලා.

දෙවැනි ප්‍රශ්නය වන්නේ රටේ පුරවැසියන්ට මතයක් ප්‍රකාශ කරන්නට බලයක් තිබෙනවාද හා එම බලය ලැබෙන්නේ කොහොමද යන්නයි.

තුන්වන ප්‍රශ්නය තමයි පොලීසියට යම් අදහසක් ප්‍රකාශ කල පුද්ගලයකුට අදාලව මහේස්ත්‍රාත් වරයකුට කරුනු වාර්ථා කරන්නේ නැතිව අනන්තය දක්වා පරීක්ෂණයන් කරනවා කියමින් අදාල පුද්ගලයාව කරදරේ හෙලන්න පුලුවන්ද?

ඇත්තටම පවතින ප්‍රශ්නය වෙන්නෙ ලංකාවෙ පොලීසියේ ලොක්කන්ට හෝ පොලිස් ඇමතිට පොලිසිය (policing) යන සංකල්පය පිලිබඳව අබමල් රේනුවක අදහසක් නොමැති වීමයි. මම දන්න විදියට බ්‍රිතාන්‍යන් මෙරට පොලිසිය පිහිටුවනු ලැබුයේ එරට ක්‍රියාත්මක වු පොලීසිය විසින් අනුගමනය කල පීලියන් වටිනාකම් ( Sir Robert Peel’s Policing Principles) මතයි. ඒ අතරින් ප්‍රධානවු වටිනාකම් තුන වුනේ;

  1. To prevent crime and disorder, as an alternative to their repression by
    military force and severity of legal punishment
  2. To recognize always that the power of the police to fulfill their
    functions and duties is dependent on public approval of their
    existence, actions and behavior, and on their ability to secure
    and maintain public respect.
  3. To recognize always that to secure and maintain the respect
    and approval of the public means also the securing of the
    willing cooperation of the public in the task of securing
    observance of laws.

මෙන්න මේ වටිනාකම් මත පිහිටා තමයි ලංකාවේ පොලිස් ආඤා පනත බිහිකලේ. එම ආඥා පනතේ 56 වගන්තිය හා 71 වගන්තිය අද අප අද කතා කරන මාතෟකාවට සෟජුව සම්බන්දයි. CID ය එම වගන්ති ගැඹුරින් තේරුම් ගත්ත නම් මෙවැනි මහජන අනර්ථයන් මග හරවා ගත හැකි වන බවයි අපගේ මතයයි.

පොලිස් ආඤා පනතේ 56 වන වගන්තියට අනුව පොලිස් නිලධරයන්ගේ බලතල වන්නේ සියලු අපරාධ, වැරදි හා මහජන අනර්ථයන් පිටු දැකීමට කටයුතු කිරීමත් , සාමය පවත්වා ගැනීමත්, වරදි කරුවන් අත්අඩංගුවට ගැනීමත්, වැරදි කරුවන් නීතිය ඉදිරියට පැමිනවීමත්, මහජන සාමය පවත්වා ගැනීමට අදාල බුද්ධි තොරතුරු එකතු කිරීම හා බෙදා හැරිමත්, අධිකරන මගින් සිදු කරනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමයි.

මෙම බලතල ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මාර්ගය පොලිස් ආඤා පනත විසින් සකසා දෙන්නේ අධිකරනය හරහාය. පනතේ 71 වගන්තියට අනුව අපරාධයක් පිලිබඳව මුල් තොරතුරක් ලැබුනු වහාම මහේස්ත්‍රාත්වරයාට ඒ බව දැන්විය යුතු අතර පරීක්ෂණයන්හි ප්‍රගතියත් එලෙසටම මහේස්ත්‍රාත්වරයාට වාර්ථා කල යුතුව තිබේ. අපරාධ නඩු විධි විධාන සංඝ්‍රහය මේ පිලිබඳව තවදුරටත් ප්‍රතිපාදන සලසයි. ඒ අනුව පොලිසියට මහේස්ත්‍රාත් වරයාට නොදන්වා කිසිදු බලයක් භාවිතා කල නොහැකි වන්නේය.

නමුත් පොලීසිය මේ වන විට සිදු කරමින් සිටින්න පොලිස් පනත යටතේ තමන්ට ලැබී ඇති බලතල අවභාවිතා කිරිමකි. ඒ සඳහා පොලිසිය කරන්නේ එක්කෝ කාගෙන් හෝ පැමිනිල්ලක් ලබාගෙන පරීක්ෂණ සිදු කරන බවක් පෙන්වමින් පුද්ගලයන් කරදරයට හා බියට පත් කිරීමයි. එසේත් නැති නම් ප්‍රථම තොරතුරක් නොමැතිවම පරීක්ෂණ කරන බවට කියා පුද්ගලයන් කරදරයට පත් කිරීමයි. පුදුමයට කරුනක්වන්නේ බොහෝ විට එසේ ලැබුනු එක පැමිනිල්ලක් මත අපරාධයක් හෝ අනර්ථයක් සිදුවු බවට මහේස්ත්‍රාත්වරයාට වාර්ථා නොකිරීමයි. ( අධිකරනයට කරුනු වාර්ථා කරමින්ම පුරවැසියන්ට නිකරුනේ සිදු කරන අනර්යන් පිලිබඳව වෙනම සාකච්ඡා කල යුතු මාතෟකාවකි)

දැන් අප පොලීසියට මෙලෙස හැසිරීමට බලය ලබා දෙන යම් අදහස් ප්‍රකාෂ කිරීමක් මෙරට තුල වරදක් ස්ථාපනය කරන්නේ කෙසේදැයි සොයා බලමු.

පුරවැසියකුට තම මතයක් සමාජය ඉදිරියේ පල කිරීමට ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 14(1)(අ) වගන්තිය මගින් යම් සීමාවන්ට යටත්ව බලය ලබා දී තිබේ. එම සීමාවන් ව්‍යවස්තාවේ 15 වගන්තිය මගින් දක්වා තිබේ.

14(1)(අ) වගන්තිය කියන්නේ සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට ප්‍රකාෂනය ඇතුලු පළ කිරීමේ නිදහස පවතින බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිලිබඳ සම්මුතිය අත්සන් කොට රට තුල ක්‍රියාත්මක කිරීමට අනුමැතිය පනතක් මගින්ම ලබා දී ඇති නිසා පුරවැසියන්ට භාෂණය හා අදහස් පල කිරීම පිලිබඳව ඉතා පුලුල් අයිතියක් ලැබී තිබේ.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිලිබඳ සම්මුතියේ 19 වගන්තිය කියන්නේ:
සෑම පුද්ගලයකුටම බලපැමකින් තොරව මතයක් දැරීමට අයිතියක් ඇති බවයි.


සෑම පුද්ගලයකුටම අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියක් පවතින අතර එම අයිතිය දේශ සීමා හා මායිම් තුල නොපිහිටා තොරතුරු හා අදහස් සොයා යෑම, ලබා ගැනීමේ හා බෙදාහැරීමේ නිදහස හා තම අදහස් වාචිකව, ලිඛිතව , මුද්‍රිතව, ඔනෑම ආකාරයක කලාත්මක ප්‍රකාෂයක් හෝ වෙනත් මාධ්‍යයක් තුලින් ප්‍රකාෂ කිරීමට හැකි බවයි.

කෙසේ නමුත් අපගේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙ 14 වගන්තිය මගින් පිලිගෙන ඇති මෙම අයිතිය මෙන්ම ඉහත 19 වගන්තිය යටතේ පිලිගෙන ඇති විශ්ව අයිතියටද සීමා නැතිවා නොවේ. එම සීමා අපගේ ආ.ක්‍ර.ව්‍ය. 15 වගන්තිය මගින්ද එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිලිබඳ සම්මුතියේ 19 වගන්තියේ සඳහන් ව්‍යතිරේඛය මගින් හා 20 වගන්තිය මගින්ද දක්වා තිබේ.

අපගේ ආ.ක්‍ර.ව්‍යවස්තාව මගින් අදහස් ප්‍රකාෂ කිරීමට හා භාෂණයේ නිදහසට පවතින සීමා වන්නේ:
15(2) වගන්තිය- 14(1)(අ) අයිතිය භුක්ති විඳිය හැක්කේ වාර්ගික හා ආගමික සහයෝගීතාවයට බාධාවක් නොවන , පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට යටත්ව, අධිකරනයට අපහාසයක් නොවන, වරදකට නොපෙලඹවන ප්‍රකාෂයන් වන්නේ නම් පමනකි.

එසේම 15(7) වගන්තිය මගින් අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය භුක්ති විඳිය හැකි බව පවසන්නේ රාජ්‍ය ආරක්ෂාවට , රටේ යහපැවැත්මට,මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීමට, අන් අයගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස ආරාක්ෂා කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුභ සාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරනු පිනිසත් , නීති මගින් හඳුන්වාදෙන විවිධ සීමාවන්ට යටත්ව බව සඳහන් කර තිබේ. නීති යන්නට හදිසි නීතියද ඇතුලත්වන්නේය.

ඒ අනුව ලංකාවේ පුරවැසියකු සිදු කරන ඔනෑම ප්‍රකාෂණයක් ඉහත කී එක් සීමාවක් යටතට පත්විය හැකිව තිබේ.

ඒ අනුව පොලීසියට ඉහත සීමා උල්ලංඝනය කිරීම මත වරදක් ස්ථාපනය කල හැකිව තිබේ. නමුත් ප්‍රශ්නය වන්නේ දන්ඩ නීති සංඝ්‍රහය මගින් එවැනි තත්වයකට ආරෝපනය කල හැකිවනසේ හඳුන්වාදෙන වරද ශක්තිමත් අර්ථ නිරෑපනයක් මත නොපිහිටීමයි.

එම නිසා දැන් පොලිසිය කෝකටත් තෛලය ලෙස භාවිතා කරන්නේ ICCPR පනතයි.

එසේ ICCPR පනත පොලිසිය භාවිතා කරනවිට ජාත්‍යන්තර නීතියේ ඉදිරියේ භාෂණයේ හා අදහස් ප්‍රකාෂ කිරීමට අදාලව පවතින සීමාද මෙන්ම එසේ පිලිගත් අයිතියද තේරුම් ගැනීම වැදගත් වන්නේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිලිබඳ සම්මුතියේ 19 වගන්තියේ ව්‍යාතිරේඛය කියන්නේ
පුද්ගලයන්ගේ කීර්ති නාමයට කැලලක් නොවන අන්දමට අදහස් ප්‍රකාෂ නොකල යුතු බවයි
ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍ය හා සදාචාරය අනතුරේ හෙලන ප්‍රකාෂ නොකල යුතු බවයි

එම සම්මුතියේ 20 වගන්තිය මගින් කියන්නේ:
යුද ප්‍රචාරනය නිතිය මගින් තහනම් කල යුතු බවයි,
වාර්ගික හා ආගමික අසමගිය හා වෛරය ඉස්මතු කිරීමට හේතුවන ඒ නිසා වෙනස්කමට භාජනය කරනු ලබන ,අසමගිය හා හිංසනය ජනනය කරනු ලබන ප්‍රකාෂ නීතිය මගින් තහනම් කල යුතු බවයි.

ඒ අනුව මේ වන විට ඉහත 20 වගන්තියේ පවතින සීමා මෙරටේ නීතියක් ලෙස හඳුන්වා දී තිබේ. ICCPR පනත ලෙස හඳුන්වන්නේ මෙම පනතයි. විවිධ රජයන් පොලීසිය හරහා තම විරුද්ධවාදීන් දඩයමට භාවිතා කරන්නේ මෙම උදාර නීතියයි.

කෙසේ නමුත් පොලිසිය විසින් තේරුම් ගතයුතු වන්නේ තමන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලනික අයිතීන් පිලිබඳ සම්මුතියේ සීමා නීතියක් ලෙස භාවිතා කරන්නේ නම් එම සම්මුතියේ 19 වගන්තිය යටතේ පවතින පුලුල් භාෂණයේ හා අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියද මෙරට පුරවැසියන්ට භුක්ති විඳිය හැකි බවයි.

එවැනි තත්වයක් තුල පුද්ගලයන් දඩයම් කිරීමේ අරමුනින් මෙම අයිතිය සීමා කිරීමේ අයිතියත් පොලිසිය සතු නොවන අතර එසේ පුද්ගලයකු විසින් කරන ලද ප්‍රකාෂයක් පිලිබඳව පොලිසියට ක්‍රියාත්මක විම අවශ්‍ය වන්නේ නම් පලමුව සිදු කල යුත්තේ සිදු කරන පරීක්ෂණය පිලිබඳවත්, පරීක්ෂණයෙන් මතු වන සාක්ෂි මත ස්ථාපනය කරන්නට අපේක්ෂා කරනු ලබන වරද පිලිබඳව අදාල මහේස්ත්‍රාත් වරයාට වාර්ථා කිරීමයි.

එසේ වාර්තා කරනු ලැබු වරදක් පැවතුනද, එවැනි වරදක් මත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කලද අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතීන් භුක්තිවිඳීමේදී මෙරට පොදු නීතිය යටතේ අදහස් ප්‍රකාෂනයට පුදගලයකු සතුව යම් වරප්‍රසාදයන්ද පවතින බව අප තේරුම් ගත යුතුව තිබේ. , එනම්;
වරප්‍රසාදී ප්‍රකාෂ( privileged statements); බොහෝ විට එවැනි ප්‍රකාෂයක් කිරිමට නීතිය මගින් ඉඩ සලසා ඇති පුද්ගලයන් කරන ප්‍රකාෂ
අර්ධ වරප්‍රසාදී ප්‍රකාෂ ( quasi- privileged statements) ජනමාධ්‍ය වේදීන් වැනි පුද්ගලයන්ගේ ප්‍රකාෂ
සත්‍ය ප්‍රකාෂ (statement of truth)
පොදු යහපත සඳහා කරන ප්‍රකාෂ (statements made for public benefit)
සාධාරන මතයන් ( fair comment), ප්‍රකාෂ කිරීම නීතිය ඉදිරියේ අපහාසයක් හෝ වරදක් ස්ථාපනය නොකරති.

එම නිසා පොලිස් බලතල අයාලේ යවන බවතුන්ට කියන්නට ඇත්තේ නීතිය නවන්නට පෙර නීතිය හදාරන්ට කියාය.