හිමිනමක් පෝන් වීඩියෝවක් ගැන ලිව්ව ලියුම! ලිව්වේ බලලාද? නොබලාද?

ලංකාවේ බෞද්ධ හිමිනමක් ලිංගික වීඩියෝවක් හෙවත් පෝන් වීඩියෝවක් ගැන ලියුමක් ලියලාලු. ලියුමේ ඡායාරූපය ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම පළ කරලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ ලියුම ලියමින් ඉල්ලලා තියෙන්නේ ‘අවශ්‍ය පියවර ගන්න’ කියලා ඉල්ලමින්.

දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමිගේ නමින් තමයි ඒ ලියුම තියෙන්නේ.

ලියුම

මෙරට පුරවැසියන්ගේ ලෞකික ජීවිතේට අයිති දෙයක් වන ලිංගික වීඩියෝ වැනි දෙයක් ගැන බෞද්ධ හිමිවරුන් ලියුම් ලිවීම සුදුසුද? නැද්ද යන කාරණය ගැන විවිධාකාර අයට විවිධාකාර අදහස් ඇති. මේ සටහන ටිකක් හිතුවක්කාර එකක්. ඇතැම් අය එතරම් මේ සටහන ගැන නොසතුටු වෙන්නත් පුළුවන්.

ඒත් ඉතින් අදහස් ප්‍රකාශනය කියන්නේ ඕක තමයි. හැමෝම කියන දේට හැමෝම කැමති නෑ.

කොහොම වුණත් පහන්තුඩාව වීඩියෝව ගැන බොහෝදෙනෙක් සැලකුවේ සාමාන්‍ය දෙයක් හැටියට. ලෞකික සමාජයක, නූතන සමාජයක මෙවැනි දේවල් සාමන්‍යයි. මිනිසුන්ට නිදහස තියෙන ලෝකෙක විවිධ අය තමන්ගේ කැමැත්තෙන් විවිධ දේවල් කරනවා. අනුන්ට හානියක් නොවනතුරු ඒවායේ වරදක් නැහැ. විශේෂයෙන් වෙබ් ලිපිනයක් ඇතුළු කරලා පිවිසෙන්න ඕනෑ වෙබ් අඩවියක් කියන්නේ මහපාරේ හන්දියක බිල්බෝඩ් එකක් වාගේ නෙවෙයි. ඔන්ලයින් යන දරුවෙක්ට වුණත්, වෙන කෙනෙක්ට වුණත් යන එන ගමන් මෙවැනි දේවල් ඉබේ පේන්නේ නෑ. විශේෂයෙන් ගිහින් බලන්න ඕනෑ.

ඔය ක්‍රමේට මෙවැනි දෙයක් තිබීම සාමාන්‍ය දෙයක්.

ඒ නිසා වෙන්න ඇති දිනමිණ වෙබ් අඩවියත් තමන්ගේ වීඩියෝවකට අවධානය දිනාගන්න මෙවැනි දෙයක් පළ කර තිබුණේ.

දිනමිණ වෙබ් අඩවියෙන්

අපි වගේම බොහෝ දෙනෙක් විහිළුවට වගේ මුලින්ම විමසා තිබුණු ප්‍රශ්නය මේ හාමුදුරුවන් ලියුම ලියන්නට කලින් වීඩියෝව නැරඹුවාද, නැද්ද කියන එක. ගෞරවණීය ස්වාමීන්වහන්සේට අපහාසයක් විදියට නෙවෙයි එවැනි අදහස් හුවමාරු වෙන්නේ. මෙවැනි ලෞකික මාතෘකාවක් ගැන හිමිනමක් කතා කරන විට මිනිසුන්ගේ ඔය වගේ විමසීම සාමාන්‍ය දෙයක්.

ඒ ලියුමේහිමිනමක් වීඩියෝව හිමිනම බැලීම හෝ නොබැලීම ගැන පැහැදිලිව කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒත්, ඒක නොබලා ඒ ගැන පරීක්ෂණ කරන්න ඉල්ලා ලියුමක් ලීවා නම් එතැනත් ප්‍රශ්නයක් තියෙනවා.

වීඩියෝවේ ඇති කරුණු හරිහැටි නොදැන ඒකෙන් සංස්කෘතියට හා සංචාරක කර්මාන්තයට සිදු වෙන හානිය ගැන කතා කරන්නේ කොහොමද?

අනෙක් පැත්තෙන් නැරඹුවා නම් එය නැරඹුවේ කුමන අරමුණෙන්ද? මෙරට සංස්කෘතිය බේරාගැනීමේ උත්තරීතර අරමුණෙන් හෝ අධ්‍යන අවශ්‍යතා මත පමණක් නැරඹුවා වෙන්න පුළුවන්.

නැත්නම් හිමිනමට මේක අකැප නිසා තවත් කෙනෙක් යොදවා, ඒ කෙනා නරඹා එකතු කරගත් තොරතුරු මත මේ ලිපිය ලීවා වෙන්නත් පුළුවන්.

මේ ලියුමට පදනම් වී තිබුණේ පහන්තුඩාව නමින් ප්‍රකට වූ පෝන් වීඩියෝව ගැන.

පෝන්හබ් වෙබ් අඩවියේ ‘විද්‍යාගේ දිනපොත’ නමින් ඇති චැනලයෙන් ප්‍රසිද්ධ කර තිබුණු පහන්තුඩාව ගැන ලොකු සමාජ සංවාදයක් ඇති වුණා. ඒ වීඩියෝව බොහෝ අය නරඹා තිබුණා, එහි ඡායාරූප එක්ක සමාජ මාධ්‍යවල අදහස් හුවමාරුවීම් තිබුණා.

සතියෙන් සතියට විවිධාකාර මාතෘකා උත්කර්ශයට නැගෙන සමාජ මාධ්‍ය අවකාශය ශානි නිෂාධි නම් ෆේස්බුක් වීඩියෝ ක්‍රීඩා කරන තරුණියගේ කතාවෙන් පස්සේ කටගැස්මට තෝරාගෙන තිබුණේ ඒ වීඩියෝව.

මෙලෙස පෝන්හබ් වැනි වෙබ් අඩවිවලට මුදල් ඉපයීමේ අරමුණෙන් විවිධ අය කැමැත්තෙන් වීඩියෝ නිර්මාණය කිරීම පසුගිය වසර කිහිපයේ වේගයෙන් ජනප්‍රිය වූ කාරණයක්. මේ වන විට ඒ මාර්ගයෙන් ඉතා ඉහළ ආදායමක් ලබන (විදේශ විනිමය) නිර්මාණකරුවන් පිරිසක් සිටින බව කියනවා. ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පනත වැනි පරණ අණපනත් පාවිච්චි කරමින් පොලීසිය අනුන්ගේ කාමරවලට එබීම සහ ලිංගික විනෝදය කැඩීම එදිනෙදා සිද්ධවෙන දෙයක්. ඒ නිසා ලංකාවේ සිටින නිර්මාණකරුවන්ට තමන්ගේ මුහුණ පෙන්වන්න නම් බැහැ.

කෙසේ වෙතත් කැමැත්තෙන් නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ වීඩියෝවලට වැඩි ඉඩක්, තල්ලුවක් ලබා දීම පෝන්හබ් ආදී වෙබ් අඩවිවල ප්‍රතිපත්තිය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන්ගේ ජීවිත විනාස කරන, අකැමැත්තෙන් හෝ හොරෙන් වීඩියෝ කළ, නැත්නම් සොරකම් කළ වීඩියෝ එවැනි වෙබ් අඩවිවල ප්‍රේක්ෂකයන්ට දැන් මුණගැහෙන්නේ අඩුවෙන්.

කැමැත්තෙන් නිර්මාණය කළ වීඩියෝවලින් වෙබ් අඩවි පිරෙද්දී, ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේත් ලිංගික වීඩියෝ කර්මාන්තයක් නිර්මාණය වෙද්දී කැමැත්තකින් තොරව අනුන්ගේ නිරුවත සහ ලිංගික ක්‍රියා බලන සංස්කෘතිය ලංකාවේ වෙනස් වෙමින් තිබුණා. තමන් කැමති කාන්තාවකගේ හෝ ප්‍රසිද්ධ චරිතයකගේ වීඩියෝවක් ‘ලීක්’ වනතුරු බලා සිටීම ටිකෙන් ටික අඩු වුණා. ඒ වෙනුවට තමන් කැමතිම නිර්මාණකරුවන් කැමැත්තෙන් වීඩියෝවක් කරනතුරු බලා සිටින තැනට සංස්කෘතිය මාරු වී තිබුණා.

ලෝකයේ ගොඩක් නූතන රටවල සංස්කෘතිය ඒකයි. පෝන්ස්ටාර්ස්ලා නමින් තරු බිහිවෙන්නේ ඒකයි.

එහෙත්, ඒවා නවත්වා අනුන්ගේ නිරුවත හොරෙන් බලන සංස්කෘතියට මාරු වීමට කැමති අයත් ඇති. මේ ලියුම ලියා තියෙන හිමිනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත්තේ එවැනි අරමුණකන් නොවන බව නම් ලිපිය කියවූ විට පැහැදිලියි.

ඒ හිමියන් ලෝකෝත්තර දිවියක් ගතකරන පැවිදි හිමිනමක්. ලෞකික ජීවිතය ගැන එහිමියන්ට අවබෝධය අඩු ඇති. සමහරවිට කෙලෙසුන් ප්‍රහීන කරන ඒ හිමිනමට වාගේ ලිංගික සුවයේ නිසරු බව අපි හැමෝටම පේන්නේ නැතිව වෙන්නත් පුළුවන්.

ඒත් සමාජයේ බහුතරය කෙලෙසුන් ප්‍රහීන කරලා නෑ. සාමාන්‍ය තත්වය හෙවත් නෝමල් එක කියන්නේ ඒක.

එහිමියන් ලියූ ලියුම පහතින්.

‘ඔබතුමන් දන්නා පරිදි පහන්තුඩාව දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරම දිය ඇල්ලකි. ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කොට්ඨාශයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට අයත් එම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි.

එම ස්ථානයේ පසුගිය දවසක තරුණ දෙපළක් අසැබි වීඩියෝවක් නිර්මාණය කොට එය අන්තර්ජාලයට මුදා හැර ඇත. දන්නා තොරතුරු අනුව ඒ දෙපළම මුදල් හෙවීමේ අරමුණෙන් මීමුරේ ප්‍රදේශයේද එවැනිම විඩියෝවක් නිකුත් කර මුදල් උපයා ඇති බව වාර්තා වේ.

ඉතාම අභාග්‍ය සම්පන්න මෙම ක්‍රියාව ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන නරක ආරංචියක් පැතිර යාමකි. එය විදේශ රටවලද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සදාචාරයට මරු පහරකි. ඊටත් වඩා මෙහි ඛේදජනක තත්වය වන්නේ දැන් දරුවන් ඔන්ලයින් තාක්ෂණයේ නිතර අධ්‍යාපනය ලබන බැවින් මෙවැනි දර්ශන බැලීමට යොමුව තිබීමයි. ඔවුන් මේ දර්ශන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමාජජාලා මාධ්‍ය වෙතද මුදාහැර ඇත. එය ඛේදවාචකය තීව්‍ර වීමට හේතු වී ඇත.

එබැවින් ගරු ජනාධිපතිතුමනි, ලංකාවේ සංචාරක ව්‍යාපාර ගැන වැරදි සිතුවම් මැවෙන බැවිනුත්, සදාචාර හා සංස්කෘත හානියත්, දරුපරපුරට වන හානිය ගැන සලකා මේ සඳහා හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

දැනටමත් මේ ජනාධිපතිවරයා යටතේ සීඅයිඩීය වැනි ආයතන භාරදූර රාජකාරීවල යෙදී ඉන්නවා. ඒ ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන් කියන කරන දේවල්වල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම වගේ අසීරු රාජකාරී.

ලංකා ඉතිහාසයේ නොවිසඳුණු මහා පරිමාණ අපරාධ තවදුරටත් නැති නිසාදෝ, සීඅයිඩීයට පැවරුණු අලුත් රාජකාරිය ඔවුන් සාර්ථකව කරමින් ඉන්නවා. සතියකට වතාවක් හෝ කාගේ හෝ කට වැරදුණ තැනක් අල්ලාගෙන සීඅයිඩීයට කැඳවනවා.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ‘විරුද්ධවාදීන්ගේ කටවල්වලින් වැරදි වචනයක් හැලෙනතුරු බලා ඉන්න දෙපාර්තමේන්තුව’ වෙලා.

සමහරවිට ඉදිරි කාලයේ ලිංගික වීඩියෝ නිර්මාණය කරන නිර්මාණකරුවන් කොටු කිරීමේ භාරදූර රාජකාරියත් සීඅයිඩීය පවරාගනීවි.

සමහරවිට රස්සාව විදියටම පෝන් වෙබ්වල සැරිසැරීමේ අවස්ථාව නිලධාරීන් පිරිසකට ලැබේවි.

කොහොමද සීඅයිඩීය පෝන් බැලීමේ දෙපාර්තමේන්තුව වුණොත්?

සමස්ත පොලිස් බලකායම පෝන් වෙබ් බල බලා ඒවා වළක්වන්න යෙදෙව්වත්, ඕනෑ තැනකින් රිංගායෑමේ හැකියාව තිබෙන අන්තර්ජාලය නම් වූ සංකීර්ණ අවකාශය පාලනය කරන්න කිසි රජයකට බෑ.

රටක් ඇතුළේ වෙබ් අඩවි තහනම් කළත් වීපීඑන් තියෙනවා. වෙනත් මාර්ග තියෙනවා. එවැනි පසුබිමක නිර්මාකරුවන් කොටු කරන්නට පටන්ගතහොත් ඊළඟට සිද්ධවෙන්න පුළුවන් දේ තමයි තරුණ තරුණියන්ගේ පෞද්ගලික රූපරාමු හොරකම් කොට ප්‍රසිද්ධ කරන, ඒ අයගේ අකැමැත්තෙන් ඒවා බලන සංස්කෘතියක් යළි ඇති වීම.

මේ හිමිනම ලෞකික ජීවිතය ගැන නොදන්නා පැවිදි හිමිනමක් බව අප අනුමාන කළේ කලින් කී ලියුමේ තිබුණ එක වාක්‍යයක් නිසා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නරක විදියට මේ වීඩියෝව නරඹනු ඇති බවත්, මේ වීඩියෝව පිටරටවල අය බැලීමෙන් අපේ සංස්කෘතියට මරු පහරක් එල්ලවිය හැකි බවත්.

ඇත්තටම දැන් මෙවැනි වීඩියෝ නිර්මාණ නැති රටවල් ලෝකයේ නැති තරම්. ආ.. වැරදීමක්. ආගම් මත පදනම් වූ නීති රජකරන, මෙවැනි දෙයක් කළොත් ගල් ගසා මරන ආකාරයේ දඬුවම් ලැබෙන මූලධර්මවාදී රටවල නම් මේවා අඩුයි. අනෙක් සෑම නූතන රාජ්‍යයකම මේවා මැජික් නෙවෙයි.

ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් මේවා නැරඹීම ගැන එහිමියන්ගේ කම්පාවත් තේරුම්ගත හැකියි. එහෙත්, ඔන්ලයින් අධ්‍යාපනය එන්නට පෙර සිටම දරුවන් බලන දේවල්වලට පාලනයක් තිබුණේ නැහැ. තමන්ගේ දරුවන් නරඹන දේවල් ගැන විමසිල්ලෙන් සිටීම ඒ ඒ මාපියන්ට කළ හැකි දෙයක්. ඒත්, ඕනෑ සීමාවක් මැද්දෙන් නවයොවුන් දරුවන් ලිංගිකත්වය ගැන කුතුහලයෙන් දේවල් සෙවීම වැට බැඳ නවත්වන්න බෑ. අපිත් නවයොවුන් කාලේ එහෙමයි. ඕනෑ කෙනෙක් එහෙමයි.