කැබිනට් තත්වයක් එක්ක මිලින්ද දිල්ලියේ වැඩ බාරගනී!

  • චීනය නිසා බිඳී ගියා ඉන්දු ලංකා සම්බන්ධතා මොරගොඩ හරිගස්සාවිද? ඔහුගේ 2021-2023 සැලසුම මොකක්ද?

ඉන්දියාවේ 26 වැනි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විදියට මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී වැඩ බාරගත්තා. ඔහු තවත් එක් මහකොමසාරිස්වරයෙක් විදියට නෙවෙයි, කැබිනට් ඇමතිවරයෙකුට සමාන නිලයක් එක්කයි වැඩ බාරගත්තේ.

මේ පත්කිරීමෙන් හොඳට පේනවා ආණ්ඩුව ඉන්දියාව එක්ක මිත්‍ර ලීලාවකින් වැඩ කරන්න සූදානම් වෙන බව. මිලින්දට පත්වීම හිමි වීම එක්කම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් තමන්ගේ වෙබ් අඩවියේ පළ කරලා මාධ්‍යවලට නිකුත් කරපු ‘2021-2023 ඉන්දු ලංකා සම්බන්ධතාවල සැලැස්ම’ ගැනත් ලොකු කතාබහක් ගියා.

චීනය එක්ක ලොකු ලොකු ඇයිහොඳැයිය නිසා ඉන්දියාව සහ ලංකාව අතර පළුදු වෙච්ච සම්බන්ධතා ආයෙ හදාගන්න ලංකාව උත්සාහ කරන බව ඒ වාර්තාව ඇසුරෙන් ඉන්දියාවේ සහ ලංකාවේ ප්‍රවෘත්ති අඩවිවල පළ වුණ ලිපි පහුගිය දවස්වල මිලින්ද තමන්ගේ ෆේස්බුක් පිටුවට ෂෙයා කරන බවත් දකින්න ලැබුණා.

මිලින්දට මහකොමසාරිස්කම දෙන්න තීන්දු කළේ අවුරුද්දකටත් කලින්. ඒත්, ඔහුගේ නමට අනුමැතිය නොලැබීමේ ප්‍රමාදයක් වගේම ලංකාව ඇතුළේ ආපු විරෝධයක් එක්ක වැඩේ කල් ගිහින් තිබුණේ.

නමට අනුමැතිය ලැබෙන්න ප්‍රමාද වීම කැබිනට් තත්වයක් සහිතව මේ තනතුර අනුමත කිරීම සඳහා ඉල්ලීමේ ප්‍රථිඵලයක් බවත් වාර්තා වුණා.

විශේෂයෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ අය මිලින්ද ඉන්දියාවට යවනවාට විරුද්ධ වුණා. නියන්ගොඩ විජිතසිරි අනුනාහිමි ප්‍රමුඛ බෞද්ධ හිමිවරුන් පිරිසක් සජීවීව සහ සූම් මාධ්‍යයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියා.

ඉතින් හිමිවරුන් පිරිවරාගෙන ආගමික උත්සවයක් එක්ක වැඩ බාරගනිමින් මිලින්ද ඒ කලින් කීව කඳවුරේ හිත හදන්න උත්සාහ කරනවාදැයි විමතියක් ඇති වෙනවා. කොහොමහරි මිලින්ද වැඩ බාරගත්තේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ.

ඔහු එතැනදී 2021-2023 කියන අපි කලින් කීව ප්‍රතිපත්ති මාලාව නිල වශයෙන් ඉදිරිපත් කළා. ‘ඉන්ටර්ග්‍රේටඩ් කන්ට්‍රි ස්ට්‍රැටජි ෆො ද ශ්‍රී ලංකා ඩිප්ලෝමටික් මිෂන්ස් ඉන් ඉන්දියා 2021-2023’ කියන මේ වාර්තාව ඔය මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.

මිලින්ද කියා තිබුණේ  බෞද්ධ දර්ශනයේ එන සතර ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයේ එන සතර සම්පදාව, ඒ කියන්නේ සද්ධා, සීල, චාග, පඤ්ඤා කියන ඒවායින් ආදර්ශය අරන්ලු හැදුවේ. ඒ කියන්නේ යහපත් විශ්වාසය, ධර්මිෂ්ඨ හැසිරීම, කැපකිරීම සහ හොඳ අවබෝධය කියන ඒවා.

ජීඑල් පීරිස් විදේශ කටයුතු ඇමතිවරයා විදියට පත් කිරීම වගේම මොරගොඩ ඉන්දීය මහකොමසාරිස් විදියට පත් කිරීම යන දේවල්වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව චීනය නිසා කැඩිච්ච ඉන්දු-ඇමෙරිකානු සම්බන්ධතා හදාගන්න උපරිම උත්සාහ කරන බව.

මීට කලින් සන්ඩේ ටයිම්ස් වගේ මාධ්‍ය ආයතනත්, අපිත් වාර්තා කළා ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය එක්කත් කිහිප වතාවක් සාකච්ඡා කරමින් බැසිල් පිළ ඒ රටවල් එක්ක සම්බන්ධතා හදාගන්න උත්සාහ කරපු බව. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ ගිහින් හිටපු දවස් කිහිපයේ වොෂිංටන් ගිහින් ඒ රටේ ඉහළ කට්ටිය එක්ක කතා කරපු බවත් අපි ලීවා.

මිලින්ද මොරගොඩ විවාහ වී සිටින්නේ ජෙනිෆර් මොරගොඩ නම් ඇමෙරිකානු සම්භවයක් ඇති කාන්තාව එක්ක. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, ඇමෙරිකානු හිතවාදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු සහ දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටයි. මේ වන විට චීන විරෝධය හේතුවෙන් ඇමෙරිකාව සහ ඉන්දියාව සමීපව රාජ්‍යතාන්ත්‍රික දේශපාලනයේ යෙදෙනවා.

ඇමුණුම්

විකිලීක්ස් එකෙන් හෙළි වූ මොරගොඩ සහ ජීඑල් ගැන කතාවක්

“In general, the Oxford-educated Peiris’ focus has been more on cultivating ties with former colonial power Britain and other Commonwealth countries, but he is very pro-U.S. and often visits Washington. More than Peiris’, Moragoda’s direct focus has been on cultivating relations with the U.S. and with India. Re the U.S., the intelligent, articulate Moragoda is a perfect fit. Born in Washington, D.C, he is a dual national Amcit (please protect) married to an American, with plenty of Washington connections, many from his days as a visiting fellow at the Heritage Foundation and at Harvard. A “big picture” person, Moragoda is also highly aware that the U.S. is the most powerful country in the world, and he feels that it is better that Sri Lanka recognize that fact and work within it.”

 May 29, 2003 by the US Ambassador to Colombo E. Ashley Wills (Wikileaks)

මොරගොඩගේ 2021-2023 ඉන්දු ලංකා සැලැස්ම මෙතැනින් – https://www.slhcindia.org/images/stories/N_images/PDF/ics%20english%20final300821.pdf.