විල්පත්තු කැපුවායැයි චෝදනා ලැබූ සමාගමට කර්මාන්තශාලාවක් හදන්න ආණ්ඩුවෙන් ඉඩම්

– එදා කෝමාරිකා කතාවට සම්බන්ධව චෝදනා ලද ඇමති එස්.එම්. චන්ද්‍රසේන බැසිල් එක්ක මෙවර කැබිනට් යෝජනාව දාලා
– පරිසරවේදීන්ගේ විරෝධය! නඩු දානවාලු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක කෝමාරිකා ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමකට විශේෂ පහසුකම් සපයන්න කැබිනට් අනුමැතිය දී තිබේ.

කැබිනට් තීරණවල සඳහන් වන්නේ, අමෙරිකානු ඩොලර් මිලියන 783ක ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ව්‍යපෘතියේ මූලික ආයෝජනය ලෙස ඩොලර් මිලියන 300 ක් යෙදවීමට නියමිත බවය.

මෙම ව්‍යපෘතිය යටතේ කෝමාරිකා බීජ පැළ නිෂ්පාදනය කිරීම සඳහා රාජාංගණය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අක්කර 2,000ක් ද කෝමාරිකා වගා කිරීම සඳහා තවත් 102,000ක්ද යොදා ගැනීමට අපේක්ෂිත බව එහි සඳහන් වේ.

ඒ සඳහා දීමනා පත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විඳින පවුල් ද සහභාගි කරවා ගැනීමට නියමිත බව කැබිනට් තීරණයේ සඳහන් ය.

මෙම ව්‍යපෘතියේ කර්මාන්ත ශාලාව සඳහා අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වසර 30 ක දීර්ඝ කාලීන බඳු පදනම මත ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් කෝමාරිකා ව්‍යපෘතිය පිළිබඳව යෝජනාව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

මීට පෙර එස්.එම්. චන්ද්‍රසේන මහතා වන සංරක්ෂණ අමාත්‍යවරයාව සිටි කාලයේ විල්පත්තු වනාන්තරය පද්ධතියේ ප්‍රේරණ කලාපයේ වනාන්තර කොටසකට හානි කරමින් කෝමාරිකා වවන බවට පරිසරවේදීන් චෝදනා කළේ අවුරා සමාගමටම අයත් ව්‍යාපෘතියක් පිළිබඳවය.

මේ ගැන කළ විමසීමකදී පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ මෙම ව්‍යාපෘතියට දැනටමත් ඉඩම් අල්ලාගෙන තිබෙන බවත්, පරිසර තක්සේරු වාර්තාවක්වත් නොමැතිව මේ ව්‍යාපෘතිය කරන බවත්ය. මෙම ව්‍යාපෘතියට නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ඔහු කීය.