කොවිඩ් අඳුරේ නිර්ධනීන්ගේ ශෝකාන්තය..

AP News


කොවිඩ් මර්දනයේදී රට වසාතැබෙන පිළිවෙතකට අවතීර්ණ විය නොහැක්කේ රටේ පහළම ආර්ථික තීරුවල ජීවත් වන ජනයා නිසාය යන්න ආණ්ඩුවේ ඇතැම් නායකයන් තර්කයක් හැටියට ඉදිරිපත් කළ කරුණ විය. මේ තර්කයට කොන්දේසි විරහිතව මෙන්ම සහිතව ද සහාය දුන් පිරිස් සිටියහ. විරුද්ධ වූවෝද වූහ. සමාජ මාධ්‍ය ආදී වේදිකාවලදී විරුද්ධ වූවන් බහුතරයක් මෙන් ද පෙනිණි.

රට වසන්නැයි තර්ක කරන්නෝ වනාහි මාසික වැටුප්වලින් යැපෙන අවිධිමත් ආර්ථිකය ගැන නොදන්නා ධනීයගෝපාලලා යැයි ඇතැම්මු විවේචන ද කළහ. කෙසේ වෙතත් මෙසේ ඇඟිල්ල දිගු කර පෙන්වන පිරිස හැටියට ආණ්ඩුව අදහස් කළ බවක් පෙනෙන්නේ තම ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික භෞතික පහසුකම් හෝ නොමැති පිරිස්ය. දේශපාලන විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් හැඳින්වෙන්නේ පරමවිරහිතභාවය හැටියටය. ලංකාවේ මේ කියන ජන තීරුව එවැනි ලක්ෂණවලින් සහමුලින්ම යුක්තද යන්න ප්‍රශ්නාර්ථයක් වුවත් ආණ්ඩුවේ දේශපාලකයන්ගේ කතාවේ ස්වරයේ හරයේ ගැබ්ව තිබෙන්නේ නම් එවැන්නකි. එසේ බලද්දී වසර හැත්තෑ ගණනක් වූ පාලන කාල මාරුවේදී තමන් අතින් එවැනි ජන තීරුවක් නිර්මාණය වී ඇති බව අනියමින් පාලකයෝ පිළිගනිති. එසේ බලද්දී මෙය සාමාන්‍ය කාලපරිච්ඡේදවලදී කන්න වේලක් නැතිව මිනිසුන් මැරෙන තත්ත්වයක් නැතැයි කී පාලකයන් විසින්ම යථාර්ථය වෙනස් බවට පිළිගනු ලැබූ තත්ත්වයකි.


පරම විරහිතභාවය යනු අන්ත දිළිඳුභාවය හඟවන යෙදුමකි. ආර්ථික හා සමාජ විද්‍යාවලදී ද මේ සම්බන්ධයෙන් ඉගැන්වෙන බැවින් ආචාර්ය බන්දුල ගුණවර්ධන හා පියල් නිශාන්ත වැනි හිටපු ටියුෂන් ගුරුන් මේ ගැන හොඳින්ම දන්නවා ඇතැයි සිතමි. සම්පත්වල හිඟතාවයක් ඇතිවීමත් ඒ හිඟ සම්පත් සඳහා පවතින තරගයේදී මෙම පිරිස පරාජයට පත්වීම එහි ලක්ෂණයකි. සැබැවින්ම බැලුවොත් කොවිඩ් වසංගත තත්ත්වය තුළදී ලෝක පරිමාණයෙන් දැකිය හැකි ඛේදනීය මනුෂ්‍ය ඉරණමක් බවට මේ තත්ත්වය පත්ව තිබේ. රට වසා තැබීම් ගැන කරන නිවේදන සමග ඇති හැකි ඇත්තන් සුපිරි වෙළෙඳ සැල්වලට වී පොදිකෑමෙන් පෙනුණේ ද එයයි. එක් අවස්ථාවකදී මේ තරගය උමතුවකි.

වසා තැබෙන රටක් තුළ පවා සිය රථවාහනවල ඉන්ධන ටැංකි පිටින් පුරවන්නට දත කෑම ඊට කදිම නිදසුනකි. මේ තරගය බහුල මධ්‍යම පංතිකයන් අතරේය. තරග කිරීමට හැකියාවක් නැති විශාල පිරිසක් සිටින්නේ අවිධිමත් ආර්ථික තලයේය. මේ දිනවල ලබාදෙනවා යැයි කියන රුපියල් දෙදහසේ සහනය මේ අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන්නන්ට අනිවාර්යෙන් ලැබිය යුතුය. එහෙත් යථාර්ථයේදී එවැන්නක් සිදුනොවේ. හංදියේ ත්‍රීරෝද රථයක් ගාල් කිරීමේ පදනමින් රුපියල් දෙදහස ලැබීමට නුසුදුසුවූවකු ගැන පසුගියදා රූපවාහිනී පුවත් මගින් විකාශය වූ වාර්තාව ඊට සරල උදාහරණයක් පමණි.

රුපියල් දෙදහස බෙදාදීමට සම්බන්ධ වී සිටින රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගෙන් විමසූ විට ඔවුන්ගේ පිළිතුර වූයේ බෙදන්න තරම් මුදලක් ලැබී නැතැයි ද ඒ වෙනුවට හැකි පමණින් ලැයිස්තු කපන්නැයි උපදෙස් නම් ලැබී ඇති බවත්ය. මෙසේ කප්පාදු වන්නෝ වනාහි නැවතත් පෙර කී පිරිසය. ඔවුන් පරම විරහිතභාවයට පත්ව නැතත් මේ මොහොතේ අසරණය. ගමේ භාෂාවෙන් මේ ඇතැමෙක් පුලන්නෝය. නැති නමුත් හිඟමනට නොයන්නෝය. එවිට ආධාර බෙදීමේදී ආණ්ඩුව හඳුනාගත් පරම විරහිත ලක්ෂණ සහිත පිරිස් ආණ්ඩුවේම ලැයිස්තුවෙන් කැපී ගොස් තිබීම පුදුමයකි.


පරම විරහිතභාවයෙන් පෙළෙන්නන් ගැන සැබැවින්ම නිශ්චිත දත්ත තිබිය යුත්තේ ද රාජ්‍ය ආයතන සතුවය. එනිසා කිසියම් උපකල්පන කළහැක්කේ ද ඔවුන්ටය. රජය සතු ආයතන පද්ධතිය පාවිච්චි කර සංයුක්ත වැඩපිළිවෙලක් දියත්කළ හැක්කේ ද එවිටය. එහෙත් ආණ්ඩුව එවැනි සංයුක්ත වැඩපිළිවෙලකට අත ගසනු වෙනුවට දේශපාලකයන් විසින් කරනු ලබන ගැලරි ඇමතුම්වලට සීමා වී ඇති බවක් පෙනේ. අනෙක් අතට ලංකාවේ බලයට පැමිණි සියලු ආණ්ඩු පක්ෂ භේදයෙන් තොරව අනුගමනය කළේ බිලී පිති වෙනුවට මාඵවකු කන්නට දෙන එදා වේල න්‍යායකි. ඒ අතරේ පාක්ෂික පවුල්වලට රාජ්‍ය සේවයේ දොර හැර රැකියා පූජා කරන වැඩපිළිවෙලකි.

මේ ක්‍රම දෙක විසින් සිදුකරනු ලැබුවේ බහුතරයක් වූ ජනයාට දරාගත නොහැකි තරමට රාජ්‍ය සේවය ප්‍රසාරණය කරනු ලබද්දී ඊට සාපේක්ෂව සහනාධාර පතන විශාල සමාජ තීරුවක් නිර්මාණය කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තරගයට මෙන් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළ අතර වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩ ආරම්භ කළේම ඒ මගිනි. පරමවිරහිතභාවයේ ගැලුණු ජනයාගේ ශෝකාන්තය වන්නේ ඔවුන්ට හඬක් නැති තරම් වීමය. සාමාන්‍යයෙන් ලෝකයේ වාමාංශික දේශපාලනයේ වැඩි ඉඩක් මෙම ජන තීරු වෙනුවෙන් වෙන්වුණ ද අද වනවිට ලංකාවේ පවා රාජ්‍ය සේවක අයිතින් උදෙසා නැගෙන හඬ මේ ජනයා වෙනුවෙන් නැගෙන බවක් පෙනෙන්නේ නැත. උත්ප්‍රාසජනක කරුණ වන්නේ මේ ජන තීරුවේ ඡන්ද පදනම් ද ප්‍රධාන පක්ෂ දෙක කේන්ද්‍ර කරගැනීමය.

පනහ දශකයේදී ශක්තිමත්ව තිබූ වාමාංශයේ පංති පදනම් ක්‍රමිකව වෙනස්වීමේ කතාව ද මේ හා ගැටගැසී ඇත. පූර්ව නිදහස් අවධියේ සටන්කාමී වතු කම්කරු වෘත්තිය සමිති ව්‍යාපාර පුරවැසි පනත වැනි දේශපාලන තීන්දු මගින් මර්දනය කිරීම හරහා ධනේෂ්වරය විසින් දැනුවත්ව සිදුකරනු ලැබුවේ හඬක් නැති ජනයා වෙනුවෙන් වූ සංවිධානාත්මක සමාජ ව්‍යාපාර තීරණාත්මක ලෙස විනාශ කිරීමය. අද ඒ හඬක් නැති ජන තීරු රටේ තැනින් තැන සිටින්නේ තමන්ටම අනන්‍ය වූ හුදෙකලාවක ප්‍රාදේශීය දේශපාලන නායකයන් දක්කාගෙන යන දුරකටය.

යුද්ධය තීව්‍ර වීම සමග විශාල වශයෙන් සොල්දාදුවන්ට රැකියා ස්ථානයක් වූ විධිමත් හමුදා සේවය හා ඒ හා බැඳුණු සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයත් ජනසවිය සමෘද්ධිය වැනි සහනාධාර මත ප්‍රධාන පක්ෂ දෙක වටා මේ ජන තීරු කේන්ද්‍රගත වීමත් සමග සිංහල සමාජයේද වෙනසක් නැතිව මේ තීරුවලට ආමන්ත්‍රණය කෙරෙන දේශපාලන නායකත්වයේ හැකියා වෙනස් විය. ශක්තිමතුන් ඉතිරි වී දුර්වලයන් මියයෑම පරමවිරහිතභාවයේදී සිදුවේ. බඩසයින් පීඩිතව මිය යන්නන් ගැන වාර්තා නොවුණත් ලංකාවේ ද මන්දපෝෂණය යනු සමාජ අභියෝගයකි. දේශපාලන විද්‍යාවේදී පරම විරහිතභාවය එක්තරා ආකාරයකට වහල් තත්ත්වයකට සමාන කරයි. ඊට හේතුව නම් වහලකු හුදෙක්ම සිය ස්වාමියාගේ දේපළක් පමණක් වීමය. එසේ බලද්දී නම් මේ සමාජ තීරුවේ ජනයා එක්තරා ආකාරයකට සිය දේපළක් සේ දේශපාලකයන් සිතන බව නිවැරැදිය.

මෙය දේශපාලන අලංකාරෝක්තියක් හැටියට බයියන් වහලුන් යැයි බුකි වහරේ තිබුණත් මීට පක්ෂ භේදයක් නැත. සැබැවින්ම කොවිඩ් වසංගතය හමුවේ වාර්තා වන මරණ දෙස ගැඹුරින් බැලුවහොත් ප්‍රතිපත්ති සම්පාදනයේ වැරැදි මෙන්ම ශක්තිමතුන්ගේ පැවැත්මට ඇති පරිසරය ද කැපී පෙනේ. මේ බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා බී.බී.සී ලෝක සේවයට නිවැරැදිව පවසා තිබිණි. ඒ, ලංකාවේ කනගාටුදායක යථාර්ථය නම් මියයෑමේ විභවයට ආර්ථික වශයෙන් වූ අසරණභාවය ද බලපා තිබෙන බවයි.

නිදසුනකට ගතහොත් දැන් පෙර දී මෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනයාමක් නැත. මූලික ආරක්ෂණ පියවර සඳහා මුදල් හදල් ඇති අයකුට නම් බද්ධ වැසිකිලි සහිත විසල් නිවෙසක් හොඳ ආරක්ෂක ස්ථානයක් වනු ඇත. හුස්ම ගැනීමට අමාරු වුවහොත් සමාජ සම්බන්ධතා හෝ ධන බලය පිහිටට එනු ඇත. අසරණ පහළ තීරුවට මේ සරණක් නැත. එවැනි තත්ත්වයකදී ශක්තිමතුන් පමණක් ඉතිරි වී දුර්වලයන් මියයෑමේ න්‍යාය වඩාත් වලංගු නියමය බවට පත්විය හැකිය.

මාක්ස්වාදීන් නම් පැවසුවේ නිර්ධනීන් යනුම පරම විරහිතභාවයේ ගැලුණු පිරිසක් බවය. සිය ජීවිතය පවත්වාගැනීම සඳහා සිය ශ්‍රමය විකිණීම හැර අන් කිසිදු හිමිකමක් නැතිකම නිර්ධනයාගේ ලක්ෂණයයි. එහෙත් ලංකාවේදී මේ නිර්ධන පංතික කතාව දේශීය සන්දර්භයේදී තේරුම් ගත යුතුව ඇත. එසේ බලද්දී නිර්ධනීන් නමැති බැටඵ රැල පංතියක් හැටියට මහා පරිමාණයෙන් ඒකරාශි වී සිටින්නේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක කේන්ද්‍ර කරගෙනය.

ඔවුන් තේරුම් නොගන්නා සත්‍ය වන්නේ කැමැති විටෙක මරණයට කැප කරන්නට ඇති අයිතිය තබාගෙන සිය ගොපල්ලන් තමන් නොපෙනෙන ඉමකට දක්කමින් සිටින බවය. මේ පසුබිමේ වාමාංශය සිටින බව පෙනෙන්නේ ද මේ යථාර්ථය තත් පරිද්දෙන් සන්නිවේදනය කරගත නොහැකිවූත් ඓතිහාසික දේශපාලන වැරැදි නිසා අතරමංවූත් තත්ත්වයකය. කොවිඩ් වසංගතය විසින් මේ අඳුර තව තවත් වර්ධනය කරනු පෙනේ.

බිඟුන් මේනක ගමගේ