ආබාධිත ලේබල් එපා! දිනේෂ්ගේ රන් පදක්කමේ අඳුරු කතාව!

ශ්‍රී ලංකා යුධ හමුදවේ සේවය කළ දිනේෂ් ප්‍රියන්ත හේරත්, ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තබමින් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ලය විසිකිරීමේ එෆ්-46 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා දීමට සමත් වෙලා. ඒ එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තබමින්.  

ලංකාවේ සමාජය 'ආබාධිත' කියන විශේෂණයෙන් කොච්චරවත් හඳුන්වා ඔවුන්ගේ දුර්වලතා ඉස්මතු කරනවා.  ඒත් 'ආබාධ නැති' බව කියන අයට අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ ඔලිම්පික් උළෙලවල්වලදී පදක්කමක් දිනාගන්න බැරි වුණා.

සමාජයේ තමන්ට හිමි තැන නොලැබුණු ප්‍රජාවක් නියෝජනය කරන මේ අය පිට පිට පැරා ඔලිම්පික් උළෙලවල් තුනකදී (2012 ලන්ඩන්, 2016 රියෝ, 2020 ටෝකියෝ) පදක්කම් දිනාගනිමින් හොඳට ඉන්නවායැයි කියන අය අසමත් වූ දේවල් කරන්න සමත් වුණා.

අඩු තරමේ දැන්වත් ඇස් අරලා බලාපල්ලා, කළ යුතු දේ කරපල්ලා යැයි අපි සමාජයෙන් ඉල්ලන්න ඕනෑ. කළ යුතු දේ මොකක්ද කියා අපි මේ සටහනේ ඉදිරියේදී කියන්නම්. නොකළ දේ මොකක්ද කියා කියන්නම්.

ඒ ජයග්‍රහණය

මෙය ලංකාව ඉහළින්ම සැමරිය යුතු ජයක්. කෙතරම් ඉහළින් සැමරිය යුතු ජයක්ද? මීට කලින් ඔලිම්පික් පදක්කම් දිනූ ඕනෑ ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට ලැබෙන ගෞරවයම දිනේෂ්ට ලැබෙන්න ඕනෑ. ඊටත් වඩා ලැබෙන්න ඕනෑ.

මොකද මේක අපේ ඉතිහාසයේ පළවැනි ඔලිම්පික් රන් පදක්කම!

ශ්‍රී ලංකාව ලැබූ තුන්වැනි පැරා ඔලිම්පික් පදක්කම මේ. ඉන් දෙකක්ම දිනා ඇත්තේ දිනේෂ්. මීට කලින් 2016 රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් උළෙලේදී    පදක්කම ඔහු දිනා ගත්තා. 2019 ලෝක පැරා මළල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත්තා. මෙවර ශ්‍රී ලංකා පැරාඔලිම්පික් කණ්ඩායමේ නායකයාත් ඔහු.

ඒ අනුව මේ ධෛර්යවන්ත ක්‍රීඩකයා ලෝකඩ පදක්කමේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් රන් පදක්කමක් දක්වා ගමන් ගත් විදිය ඉතා විශේෂයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෑත ඉතිහාසයේ කේවළ තරග ඉසව්වලට ගිය සියලු ක්‍රීඩකයන් අතරින් සාර්ථකම ක්‍රීඩකයා ඔහු.

‘ආබාධ නැති’ බව කියන කිසිවෙක්ට ලංකාව වෙනුවෙන් කරන්නට බැරි දෙයක් දිනේෂ් ප්‍රියන්ත කරලා තියෙනවා.  ඒ වගේම ඔහු අප්‍රහතිහත ධෛර්යයක් පෙන්වමින් ලංකාවට තමන්ගේ ක්ෂේත්‍රයේ ලබන්න පුළුවන් උපරිම ජයග්‍රහණය ගෙනල්ලා තියෙනවා.

අපි ආබාධිත වැනි හැඳින්වීම්, ඔවුන්ගේ ශරීරවලට කළ නොහැකි දේවල් ඉස්මතු කෙරෙන අදහස් පවා පසෙක දමා ඔවුන්ට කළ හැකි දේවල් ඉස්මතු කළ යුතුයි නේද? ඔවුන්ට කළ හැකි දේවල් ගැන ආඩම්බර විය යුතුයි නේද?

‘ආබාධිත’ වගේ වචන වෙනුවට ‘වෙනස් හැකියාවන් ඇති’ වගේ වචන හඳුන්වාදීලා තියෙන්නේ දිනේෂ්ලා වැනි මිනිසුන් ඕනෑ තරම් ලංකාවේ අහුමුලුවල ඉන්න නිසා. ඔව්, යම් කෙනෙකුගේ දෑස් නොපෙනෙනවා ඇති. ඒත් ඒ අයගේ අනෙක් සෑම ශරීරාංගයක්ම ක්‍රියාකාරීයි. ශරීරයේ යම් අවයවයක ක්‍රියාකාරීත්වයේ අඩුවක් ඇති. ඒත්, අනෙක් සෑම අවයවයක්ම අපේ රටේ ඕනෑ කෙනෙක් වාගේ ක්‍රියාකාරීයි. යම් විදියකට ඒ කෙනාගේ අඩුපාඩුව මඟහරින්න සමාජයක් විදියට උදව් කළොත්. ඒක නොතකා ජීවත්වෙන්න පසුබිම හැදුවොත් මොනතරම් විශාල පිරිසක් ලංකාවට ජයග්‍රහණ දිනා දෙන්න ඉදිරිපත් වේවිද?

හැමෝම ඔලිම්පික් රන් පදක්කම් දිනා දෙන්න ඕනෑ නැහැ. ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට ලොකු දායකත්වයක් දෙන්න ඔවුන්ට පුළුවන්. මහා ව්‍යාපාර අරඹන්න, නව සොයාගැනීම් කරන්න, ඉංජිනේරුවන් වෙන්න, දාර්ශණිකයන් වෙන්න, දේශපාලනඥයන් වෙන්න හෝ තවත් බොහෝ දේ කරන්න හැකි වේවි.

ඔන්න ඔය නිසා දිනේෂ්ගේ කතාව පුංචි පුවතකින් එහාට යන්නම ඕනෑ. ලංකාවේ වෙනත් හැකියාවන් සහිත සියලු ප්‍රජාව ගැන දිනේෂ් රටට පණිවිඩයක් කියා තියෙනවා. ලංකාව වෙනස් හැකියාවන් සහිත අය ගැන හිතන විදිය, සලකන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෑ.

ඔලිම්පික් ජයග්‍රහණවල කතාව

මතක තියාගන්න, අපේ ආණ්ඩුව පවා ඔවුන්ට සලකන විදිය ඉතාම නරකයි.

මීටර 67.79ක් ඔහු මෙවර හෙල්ලය විසි කළා. මීට කලින් බ්‍රසීලයේදී 2016 දී ඔහු මීටර් 58.2ක් හෙල්ලය විසි කළා. එ වාර්තාව තැබීමෙන් පස්සේ තමයි දිනේෂ් වෙත බලධාරීන්ගේ අවධානය යොමු වුණේ. ඔහු ඒ ඉසව්වෙන් පස්සේ බීබීසී ලෝක සේවය සමග සාකච්ඡාවකදී කියා තිබුණා තමන් එක්ක තරග වැදුණ අනෙක් ක්‍රීඩකයන්ට ඉහළ තාක්ෂණික පහසුකම් යටතේ පුහුණුව ලබන්න හැකි වූ බව. තාක්ෂණය තිබුණා නම් තමන් මෙන්ම තවත් කිහිපදෙනෙකුට එදා මීට ඉහළ ජයග්‍රහණ ලබන්නට හැකි වූ බව ඔහු 2016 දී කීවා.

එයින් පසු දිනේෂ්ට වැඩි අවධානයක් ලැබුණා. ඒ සියල්ල සාර්ථකත්වයට පත් කරමින් අවුරුදු 35 දී ඔහු යා හැකි උපරිමයට ගියා. සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිරුර ක්‍රමයෙන් දුර්වල වෙන බවට ඇති ජීව විද්‍යාත්මක සත්‍යයට අභියෝග කරමින් අවුරුදු 35 වයසේදී ඔහු මහා ජයග්‍රහණයක් ලැබුවා.

මීට කලින් 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙලේදී ටී46 මීටර් 400 දුර දිවීමේ ඉසව්වෙන් සොල්දාදුවෙක් වන යූ.ඩී.පී. ප්‍රදීප් සංජය පැරාඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඒක තමයි අවුරුදු ගාණකට පස්සේ කුමන හෝ ඔලිම්පික් උළෙලකදී අපි දිනාගත් පදක්කම.

එතැන් පටන් මේ දක්වා සෑම ඔලිම්පික් උළෙලකදීම තමන්ගේ සලකුණ තබන්නට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

හැබැයි මෙච්චර ජයග්‍රහණ ලැබුවාට පස්සේත් අපේ ලියන්නන් ප්‍රදීප් සංජය ගැන හෝ දිනේෂ් ගැන ලියද්දී ‘ආබාධිත’ කෑල්ල ඉස්සරහට දාන්නේ අමුතු විශේෂණයක් විදියට.

අපි වෙනත් මිනිසුන් ගැන එහෙම ලියනවාද? කොණ්ඩය වැවූ කෙනෙක් ගැන ලියන හැම වෙලාවෙම ‘කොණ්ඩෙ වවපු සමන්’ කියා ලියනවාද? ටිකක් උස ‍කෙනෙක් ගැන ලියන හැම වෙලාවකම ‘උස කුමාරි’ කියා ලියනවාද?

එදිනෙදා කතා කරද්දි එවැනි විශේෂණ දානවා ඇති. ඒත්, මිනිසුන්ට තියෙන සාමාන්‍ය නම්වලින් සාමාන්‍ය විදියට අපි අමතනවා. ‘ආබාධිත’ අය කියා විශේෂයෙන් ලියන්න ඕනෑ නැහැ.

පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ නිසාම අපට අවබෝධයක් තියෙනවා ඒ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට වඩා වෙනස් හැකියාවන් සහිත අය බව. එතැනින් එහා විශේෂණ දාන්න ඕනෑ නැහැ.

දියුණු සම්ප්‍රදායන්

එතැනින් එහාට දිනේෂ්ගේ ජයග්‍රහණය තවත් මාතෘකා ගණනාවක් ගැන කතා කරන්නට වේදිකාවක් කරගන්න ඕනෑ. ලංකාවේ නීති රීති සහ ප්‍රතිපත්ති පවා තියෙනවා, වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන්ට රැකියා ලබාදිය යුතු බවට පවා. ඔවුන්ගේ මානව හිමිකම් සහතික කිරීම ගැන පවා.

සාමාන්‍යයෙන් වෙනස් හැකියාවන් සහිත අයට රජයේ රැකියාවන් සඳහා බඳවාගනිද්දී කෝටාවක් වෙන් කිරීමයි දියුණු සම්ප්‍රදාය. අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල සිට තවත් බොහෝ තැන්වල අවස්ථා ලබාදීමේදී කෝටාවක් වෙන් කිරීම යහපත් ආරම්භයක්. එවැනි කෝටාවක් ලබාදුන්නාට පස්සේ පළවැනි වටයේ පුද්ගලයන් ඉදිරියට එන්න පටන් ගන්නවා. අවස්ථා ලබාගන්න පෙළඹෙනවා.

කාලයක් ගියාට පස්සේ එවැනි කෝටා ඕනෑ නැහැ. වෙනස් හැකියාවන් සහිත අය රටේ විවිධාකාර ඉහළ තැන්වලට ගමන් කරද්දී සමාජයක් ඒකට හුරු වෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව මෑත කාලයේ ඒ ගැන විශේෂ වැඩසටහන් පවා කළත්, අපේ අය හිතන්නේ වෙනස් හැකියාවන් තියෙන අය ‘ආබාධිතයන්’ කියලා තමයි. වැඩක් කරගන්න බැහැ කියලා තමයි.

මෝඩයෝ! බලාපන් එක කොල්ලෙක් රන් පදක්කමක් දින්නා.

නිල හැඳින්වීම

කෙසේ වෙතත් අපි මෙතැනින් පහළ කතා කරන්නේ වෙනස් හැකියාවන් තියෙන අය ගැන රජයේ ප්‍රතිපත්ති, පනත් සහ දත්ත වගේ දේවල් ගැන. ඒ කතාවේදී රජය පාවිච්චි කරන්නේ ‘ආබාධිත’ කියන වචනය වන නිසා අපට වරින් වර ඒ වචනය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකාවේ ‘ආබාධිත’ පුද්ගලයන් මිලියන 1.74ක ජනගහනයෙන් සීයට 8.7ක් විතර ‘ආබාධිත’ බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අවසන් වරට කළ සංගණය අනුව කියවෙනවා. යුද්ධය වගේ හේතු අපේ රටේ වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කළා.

හැබැයි ලොකුම කැත කෑල්ල මොකක්ද දන්නවද? අපේ රජය ආබාධිතයන් ගැන කියන නිල හැඳින්වීම.

‘ආබාධ සහිත තැනැත්තා යන්නෙන් සහජයෙන්ම ඇති වූ හෝ එසේ නොවූ ශාරීරික හෝ මානසික හැකියාවන්හි යම් ඌනතාවක ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතාවන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් තමා විසින්ම තමා සඳහාම ඉටු කර ගැනීමට නොහැකි යම් තැනැත්තෙකු අදහස් වේ.’ කියලා.

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසික්ම ආරක්ෂා කිරීමේ පනත

‘ආබාධිත පුද්ගලයා යනු දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, මන්දමානසික හෝ ශාරීරික හො මානුෂීය හැකියාවන්ගේ ඌනතාවයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතාවන් මුළුමනින්ම හෝ කොටස් වශයෙන් හෝ තමා විසින්ම තමා සඳහාම ඉටු කරගැනීමට නොහැකි තැනැත්තෙකි.’

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙබ් අඩවිය

මේ හැඳින්වීමේ අඩුපාඩුව ගැන මෑතකාලීන වාර්තාවක එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවා පෙන්වලා තියෙනවා. ඒ වගේම මේ පනත සංශෝධනය කරන බව පාර්ලිමේන්තුවේදී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයකට උත්තර විදියට කියලා තියෙනවා. අලුතෙන් පනතක් ගේන බව.

1996 අංක 28 දරන ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ අරමුණ අවංකයි. ආබාධිතයන්ගෙ අයිතීන් රැකීම.

ඒත්, ඒ පනතේ රාමුව, වචන සෙට් එක ආදී සියල්ල තියෙන්නේ මෙයාලාට බැහැ කියන එක හයිලයිට් කරන්න. මහත්වරුනි! මේ විසිඑක්වැනි සියවස. හැම මගුලටම යන්ත්‍රෝපකරණ, තාක්ෂණ උපකරණ වගේම සමාජයීය ක්‍රමවේද හැදිලා තියෙනවා. මුළු ශරීරයම ක්‍රියාකාරී නොවූ ස්ටීවන් හෝකින්ගේ හැකියාවන් අමුතුවෙන් කියන්න ඕනෑද?

නීති අරවා මේවා

‘ආබාධිත තැනැත්තන්’ ගැන නීති, ගැසට්, ප්‍රතිපත්ති වගේ ඒවා ගණනාවක් තියෙනවා. ඒවා කිහිපයක් මෙහෙමයි.

■ අංක 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත
■ 1998 දී නිකුත් කරන ලද රාජ්‍ය සේවයට ආබාධ සහිත පුද්ගලයින් 3% ක් බඳවා ගැනීමේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය
■ 2003 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
■ 2006 දී නිකුත් කරන ලද ප්‍රවේශ පහසුකම් පිළිබඳ රෙගුලාසි
■ 2014 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
■ 2016 දී රජය විසින් අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

මීට අමතරව අලුත් පනතක් 2008 ඉඳන් මේ දක්වා කාලයක් තිස්සේ කැබිනට් එක වටේ කරකැවෙනවා. අලුත්ම ලෝක තත්වයන්ට සහ දියුණු අදහස්වලට ගැලපෙන එක පනතක් විදියට. ඒත්, වැඩේ සිද්ධ වෙන්නෙ නෑ.

රස්සා ප්‍රතිපත්තිය

අපි කලින් කීවා වගේ වෙනස් හැකියාවන් සහිත අයට ලංකාව සලකන්නේ ඉතා සවුත්තු විදියට. ලංකාවේ ආණ්ඩුව සංවර්ධන නිලධාරීන් බඳවාගත් මොහොතේ පවා විශේෂ හැකියාවන් සහිත අයට අවස්ථාව වෙන් කළේ නෑ. ‘ඔවුන්ට කරන්න වැඩ නැහැ’ වගේ බයිලා කතා කීවා. විශේෂ හැකියාවන් සහිත අයගේ සංවිධාන ඒ ගැන විශේෂ ඉල්ලීම් පවා කරලා තිබුණත්, ඒවා පවා ප්‍රතික්ෂේප වුණා.

හරි නම් 2002 මැයි 01 වැනිදා කම්කරු අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ජාතික රැකියා ප්‍රතිපත්ති කෙටුම්පත අනුව ‘ආබාධ සහිත තැනැත්තන්ට’ ඉඩකඩ දෙන්න ඕනෑ. අපි කලින් කීව 1998 සීයට 3ක ඉඩකඩ ලබාදීමේ ප්‍රතිපත්තිය තියෙනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

ආබාධිතයන්ගේ ජාතික ප්‍රතිපත්තිය කියා එකක් 2003 දී හැදුවා. ඒ ප්‍රතිපත්තියේ තියෙනවා ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය එක්ක එකතුවෙලා ‘ආබාධිත’ අයට රැකියා ලබාදීමට සුදුසු දත්ත ගබඩා හදන කතාවක්. ඒ වගේ තැන්වල ලියාපදිංචිලො වෙනස් හැකියාවන් සහිත අයට රැකියා ලබාගන්න ඉඩකඩ විවෘත වෙන බව. ඒත්, ප්‍රායෝගිකව ඒක සිද්ධවෙන්නේත් නැහැ.

ඔය ජාතික ප්‍රතිපත්තියේත් සඳහන් වෙනවා ලංකාවේ ඉතාම පොඩි ප්‍රතිශතයකට විතරයි රැකියා ලැබිලා තියෙන්නේ. මොකද, ‘ආබාධිත’ කියන වචනයත්, අපේ රටේ ආකල්පත් එක්ක හිතෙන්නේ මේ අය මොකක්හරි ‘බැරිකමක්’ තියෙන උදවිය බව.

තනියෙන් යන්න එන්න

රස්සා දීලා සමාජයේ තැනක් දෙන එක කෙසේ වෙතත්, වෙනස් හැකියාවන් සහිත කෙනෙක්ට මේ සමාජයේ හැසිරෙන්නට පහසුකම් තියෙනවද?

2003දී අපි කලින් කීව පනතට සංශෝධනයක් ආවා. ඒ සංශෝධනයෙන් නියම වුණා ප්‍රසිද්ධ ස්ථානවලට සහ ගොඩනැගිලිවලට යන්න එන්න ‘ආබාධිත’ අයට පහසුකම් දෙන්න ඕනෑ බව.

ඒ සංශෝධනය අනුව විශේෂ විස්තර සහිත ගැසට් එකක් 2006 ඔක්තෝබර් 17 වැනිදා ගහලා තිබුණා. ඒක ‘ආබාධිත තැනැත්තන් ප්‍රවේශ වන ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන සහ පොදු සේවාවන් සහිත ස්ථානවලට’ පනවපු නියෝගයක්.

ඒ වගේම දැනට පවතින ‘ප්‍රසිද්ධ ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන සහ සේවාවන් සපයන ස්ථාන’ පවා අවුරුදු තුනක් ඇතුළත ඒකට ගැලපෙන විදියට වෙනස් කරන්න නියෝග කරලා තිබුණා.

ඒ අනුව ආබාධිත පුද්ගලයන්ට යන්න පුළුවන් විදියට 'වාහන නවත්වන තැන්, පඩි වෙනුවට කොරිඩෝ, පදික වේදිකා සහ පාර පනින තැන්, අත් වැටවල් සහ ආධාරක පොලු, බෑවුම් තියෙන ඇතුළ්වීමේ පාරවල්, පොදු ටොයිලට්, විනෝද ස්ථාන, බස් නැවතුම්, කෝච්චි නැවතුම්' වගේ හැම එකක්ම අලුත්වැඩියා වෙන්න ඕනෑ. 

මේ ගැසට් එක පොඩ්ඩක් කියවලා බලන්න. චිත්‍ර සහිතව හැම දෙයක්ම කරන්න ඕනෑ විදිය ඒකේ සඳහන් වෙනවා. ඒත්, ලංකාවේ ප්‍රායෝගිකව පොදු ගොඩනැගිලි, පොදු ස්ථාන ඔය කියන නිර්නායක අනුව හැදිලා තියෙනවාද කියලා බලන්න. ඔය සුපිරි වෙළඳසැල් වගේ පාරිභෝගිකයා ගැන හිතන අලුත් ආයතන හැරුණාම ගොඩක් තැන්වල ඒ ගැසට් එකෙන් නියෝග කරපු පහසුකම් නෑ.

ඒත් ලංකාවේ ඔය ගොඩනැගිලි ගැන වගකිය, ඒවාගේ සැලසුම්වලට සහ ඉදිකිරීම්වලට අනුමැතිය දෙන ප්‍රාදේශීය සභා ඇතුළු ආයතනවලට ඕවා ගැන වගේ වගක් නෑ.

දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් ලබද්දී ඔය පනත්වල, ප්‍රතිපත්තිවල තියෙන විදියේ මානුෂීය හැකියාවන්ගේ ඌනතාවයක් පෙනුණාද? මිනිසුන් හිතන විදියේ ‘අඩුවක් පෙනුණාද?’

පහත දැක්වෙන්නේ පැරා ඔලිම්පික් උළෙලට මෙවර සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම්.

1) දිනේෂ් ප්‍රියන්ත හේරත්- හෙල්ල විසි කිරීම (F46)

2) සමිත දුලාන්- හෙල්ල විසි කිරීම (F44)

3) සම්පත් බණ්ඩාර- දුනු විදීම 

4) කුමුදු ප්‍රියංකා- මීටර් 100 සහ දුර පැනීම (T45/46)

5) සම්පත් හෙට්ටිආරච්චි- හෙල්ල විසි කිරීම (F44)

6) සමන් සුබසිංහ- මීටර් 400 (T47)

7) පාලිත බණ්ඩාර- යගුලිය විසි කිරීම (F42)

8) මහේෂ් ජයකොඩි- ඔරු පැදීම 

9) ඩී.එස් ධර්මසේන- ටෙනිස්