පරාක්‍රම සමුද්‍රයේ මංතීරුව හදනවාලු! යූඩීඒ කියලා

පරාක්‍රම සමුද්‍රයේ මංතීරු ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිව ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්පීකේ රණවීර සන්ඩේ ටයිම්ස් පත්තරයක කියලා.

උද්ඝෝෂණවලට පදනමක් නැහැලු. කිලෝමීටර් දෙකක විතර මේ ව්‍යාපෘතිය නවත්වන්නේ නැහැලු. ඒ වගේම උද්ඝෝෂකයන්ට මේ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කරලා දෙනවාලු.

මේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී මැදිහත්වීමෙන් තමයි හදන්න පටන් අරන් තිබුණේ.

ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැදගත් කාරණයක් කියනවා. මේ ව්‍යාපෘතියට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබුණේ හිටපු ආණ්ඩුව කාලයේලු.

‘රළපනාවේ ගල් ව්‍යාපෘතිය සඳහා ඉවත් කළත්, ව්‍යාපෘතියෙන් පස්සේ නැවත ගල් අල්ලනවා. බැම්මේ උස වැඩිවීමෙන් ආරක්ෂාව තවත් වැඩිවේවි.’ ඔහු කියලා තියෙන්නේ එහෙම.

ඒ වගේම මේ ව්‍යාපෘතිය ඇවිදින මංතීරුවක් කීවාට, මෙය පදික වේදිකාවක් බව ඔහු කියා තියෙනවා. මේ වැව් බැම්මේ කලාත්මක වටිනාකම වැඩි කරමින් ආරක්ෂාව වැඩි කරන බවත් ඔහු කියා තියෙනවා.

කෙසේ වෙතත් අප මීට පෙර ප්‍රශ්න කළේ මිලියන 34ක් වන මේ ව්‍යාපෘතිය මේ මොහොතේ පොළොන්නරුවට අත්‍යාවශ්‍ය එකක්ද යන්න. විශේෂයෙන් මේ වැව් බැම්මට ඔය ඉදිකිරීම තිබුණත් නැතත් සංචාරක ආකර්ෂණය අඩු වේවිද? ඒ නිසා මෙය සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැත්තෙන් මෙන්ම ආණ්ඩුව පැත්තෙන් පොළොන්නරුවට ඉටු නොවූ දේවල් ගැන මේ විරෝධතාවේදීම කරුණු මතු වී තිබුණා.

අනෙක් අතට නැවත රළපනාවේ ගල් අල්ලන බව කීවත්, ඒවා ගලවා බුරුල් කිරීමෙන් හානියක් සිදුවේද යන අතුරු ප්‍රශ්නයත් තියෙනවා.

මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය අනුර මනතුංග සන්ඩේ ටයිම්ස් පත්තරේට කියා තිබුණා තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ව්‍යාපෘතියට අදාල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ බවත්, ව්‍යාපෘතියෙන් මේ වැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් සිදු නොවන බවට සෑහීමට පත් වන බවත්.

කෙසේ වෙතත් උද්ඝෝෂණවලට සහභාගී වූ හිමිවරුන් කියා තිබුණේ ඉදිකිරීම කරන්න ලැබෙන්නේ තමන්ගේ මළකඳන් උඩින් බව. රුවන්වැලිසෑයේ දිවුරුම් දී, මාසෙකට වතාවක් හාමුදුරුවරුන් ගෙන්වා උපදෙස් ගන්න බව කියා රංගනයන් දැමූ ජනාධිපතිවරයෙක් සිටින පසුබිමක, මේ ව්‍යාපෘතිය සඳහා ආණ්ඩුව කෙසේ පසුබිම සකසාගනීවිද යන්න සිතාගැනීමට අසීරුයි.