ඔක්තෝබර් 2 වෙනකල් ලොක්ඩවුන් කළොත් ජීවිත 10,000ක් බේරේවි -අලුත්ම වාර්තාව (PDF)

– මේ විශේෂඥ වාර්තාවේ කරන්න ඕනෑ දේ සඳහන්! මෙයාලා අහයිද?

දැනට තියෙන ලොක්ඩවුන් තත්වය ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කිරීමට හැකි වුණොත් කොවිඩ්-19 මරණ 10,000ක් අඩු කරන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට අනුබද්ධිත වෛරසවේදය පිළිබඳ ස්වාධීන තාක්ෂණ විශේෂඥයන් වාර්තාවක සඳහන්.

මේ වාර්තාව සකස් කිරීමට ලංකාවට අදාල ඉහළම සෞඛ්‍ය විශේෂඥයන් සම්බන්ධයි. ලොව අංක එකේ කොරෝනා වෛරස විශේෂඥයෙක් වන මලික් පීරිස්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය උපදේශක පාලිත අබේකෝන්, වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිලීකා මලවිගේ, වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රමුඛ ඉහළම විශේෂඥයන් මේ වාර්තාවට දායක වෙලා.

ඒ හැරුණාම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය ආලාකා සිං, දැන් ඉන්දුනීසියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව සේවය කරන වෛද්‍ය පබා පලිහවඩන ප්‍රමුඛ පිරිසක් මෙම වාර්තාව සැකසීමට සම්බන්ධයි.

කෙසේ වෙතත් ආණ්ඩුවට එතරම් කාලයක් ලොක්ඩවුන් කිරීම සඳහා සැලසුම්කරණ ශක්තිය තිබේද? ලොක්ඩවුන් කරමින් ආර්ථිකය පවත්වාගෙන යන්න තරම් නිර්මාණශීලී නායකත්වයක් තිබේද? ලොකු ප්‍රශ්නයක්.

ඔවුන්ගේ වාර්තාව අනුව සැප්තැම්බර් 18 දක්වා හෝ ලොක්ඩවුන් දීර්ඝ කළොත් මරණ 7,500ක් විතර අඩු කරන්න හැකි වේවි. සැප්තැම්බර් 18 දක්වා ලොක්ඩවුන් කරමින් ජනතාව නිවෙස් තුළ තැබීම සඳහා පියවර ගැනීම ජීවිතාරක්ෂාව සඳහා අත්‍යාවශ්‍යයි.

ඒ අනුව හුදෙක් ලොක්ඩවුන් කිරීමෙන් එහාට ගිය පියවර ගැන යෝජනා එහි සඳහන්.

මුලින්ම ජීවිත රැකගැනීමේ පියවර

ක්ෂණිකව සෞඛ්‍ය සේවය අවශ්‍ය තැන්වලට ළඟාවීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ උදව්වෙන් හදන එක, නිවෙස්වල ඉඳන් වසංගය පාලනය කරන්න අවශ්‍ය පියවර ගැනීම සහ ලේවල ඔක්සිජන් අඩු අය හඳුනාගැනීම, එන්නත්කරණය ජීවිත රැකගැනීමේ පියවර විදියට සඳහන්.

පැතිරීම වළක්වන පියවර

වෛරසය පැතිරීම සඳහා තද සමාජ පියවර ගන්න පෙළඹවීම. ගෘහස්ථ මට්ටමෙන් සියලුදෙනාගේ ක්‍රියාකාරී දායකත්වය එයට ලබාගැනීම. ගූගල් මැප්ස්, ජංගම දූරකථන දත්ත සහ ෆේස්බුක් දත්ත ආදිය පාවිච්චි කරමින් වෛරසයේ චංචලතාවය අවම කරන්න අවශ්‍ය පියවර හඳුනාගැනීම. ක්‍රමානුකූලව නැවත විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර, ප්‍රදේශ සහ ආරම්භ කරන්න ඕනෑ වෘත්තීන් කලින්ම හඳුනාගෙන පියවර ගැනීම එමගින් යෝජනා කරලා. ඒ රෝගය පැතිරීම වළක්වන්නට.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ අගෝස්තු 26 වැනිදා සමස්ත මරණ සංඛ්‍යාව අනුමාන කළාට වඩා වේගයෙන් වැඩි වෙමින් පවතින බවත්, සාම්පල් පරීක්ෂාවෙන් පෙනී යන ආකාරයට බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වලද ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් තිබෙන බවත්.

‘ඉතා කෙටි බීජෞෂණ කාලයක් සමග මෙය අධිවේගයෙන් පැතිරීමේ අවදානම සහිතයි. රෝහල් සම්පූර්ණයෙන් පිරී ඉතිරී ගිහින්. සෞඛ්‍ය සේවකයන් වැඩි වැඩියෙන් ආසාදනය වෙනා. ඔක්සිජන් ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් ප්‍රමාණය අඩුයි. වෛරසය නිවෙස් තුළ පවා පැතිර යනවා.’

වාර්තාවේ එසේ සඳහන්

මේකට බලපෑම් සහගත උත්තරයක් විදියට එන්නත්කරණ වේගය සම්පූර්ණ කිරීම වැදගත් බවත්, විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන පසුබිමක එන්නත්කරණය අත්‍යාවශ්‍ය බවත් වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත් ඒ වාර්තාව හුදෙක් ලොක්ඩවුන් කිරීම විතරක් සලකලා නැහැ. ලෝක බැංකුවේ දත්ත එක්ක ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් මත ආර්ථික බලපෑම සලකලා. ඒ අනුව දින දහයක ලොක්ඩවුන් එකක බලපෑම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.12ක් බව එහි සඳහන්.

සති හතරක ලොක්ඩවුන් එකක බලපෑම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.67ක්.

සති හයක ලොක්ඩවුන් එකක බලපෑම ඇමෙරිකන් ඩොලර් බිලියන 2.22ක් කියා වාර්තාවේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් වසංගතය තියෙද්දී රට ඇරගෙන, තවත් ජීවිත හානි සිදු කරගැනීම ආර්ථිකය ගොඩදාන ක්‍රමයක් නෙවෙයි. මේ වාර්තාවේ වැදගත් කරුණු දෙකක් පෙන්වලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරකයන්ට රතු කලාපයක්. එංගලන්තයේ ප්‍රමිතිය අනුව ගත්තොත් ශ්‍රී ලංකාව ඇම්බර් වර්ණයෙ ඉඳන් කොළ වර්ණයට එන්න දිනකට වාර්තා වෙන රෝගීන් ගාණ අඩු වෙන්න ඕනෑ.

අපට ලොක්ඩවුන් පියවරෙන් අවුරුද්දේ අග වෙද්දී නැවත කොළ තත්වයට එන්න පුළුවන්. ලෝකය ඇරෙද්දී සංචාරක ගමන් ප්ලෑන් කරන අයට අවුරුද්දේ අග වැඩි වැඩියෙන් ලංකාවට එන්න පුළුවන්. අවුරුද්ද අග වෙනකොටත් මේ ප්‍රශ්නය විසඳාගන්නෙ නැතිව රෝගීන් වැඩි වශයෙන් හිටියොත් ඒක අපටමයි අවාසි.

අනෙක් පැත්තෙන් මේ වාර්තාවේ පෙන්වලා තියෙනවා ගෝලීය දත්ත වගේම ලංකාවේ පරණ දත්ත සලකනකොට ලොක්ඩවුන් කරලා තියෙද්දී ආර්ථිකය දුර්වල වුණත්, ඇරලා ඉතා කෙටි කාලයක් ඇතුළත ආර්ථිකය නැවත ‘බවුන්ස් බැක්’ වෙන බව. ඒ කියන්නෙ නැගී සිටින බව.

ඒ වගේම මෙහි නිර්දේශ කර ඇත්තේ ආර්ථික අපහසුතාවලට මුහුණදෙන පුද්ගලයන්ට අවශ්‍ය ආධාර සැපයීම සඳහා ආරක්ෂක දැල් සැකසිය යුතු බව. රාජ්‍ය නොවන සංවිධාන, ආගමික මධ්‍යස්ථාන වගේම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහයෝගය දෙන අනෙකුත් පාර්ශ්වයන් එක්ක එකතුවෙලා ආරක්ෂක දැලක් හැදීමේ වැදගත්කම එයින් පෙන්වලා තියෙනවා.

ඒ අනුව ආණ්ඩුව එන්නත්කරණය නිවැරදි ආකාරයෙන් වේගවත්ව සිදු කිරීම අගය කළ යුතුයි. අනෙක් පැත්තෙන් ජීවිතාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කාලසීමාව ලොක්ඩවුන් කිරීමත් වැදගත්.

කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ එන්නත්කරණය තවත් වේගවත් කළ යුතු බව මෙන්ම වඩාත් කාර්යක්ෂම එන්නත් ලබා දිය යුතු බව.