‘සමහර කමටහන්’- ඩිල්ශානි චතුරිකා දාබරේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය ලක්ශාන්ත අතුකෝරල විසින් දිනාගන්නා ලදී. ඒ ‘සමහර කමටහන්’ නම් කාව්‍ය ග්‍රන්ථය වෙනුවෙනි. ස්වර්ණ පුස්තකය මගින් ඔප් නැංවූ නවකථාවට තරම් වටිනාකමක් කාව්‍ය හා කෙටිකථා සංග්‍රහයන්ට ලබා නොදුනැයි විවාදාපන්න මත පළ වූ යුග කිහිපයක් තුළ යථෝක්ත දිරිමත් කිරීම් අවැසිය.

තතු එසේ වූවත් ‘රජතය තවත් සාහිත්‍ය බෝම්බයකැ’යි සේන තෝරදෙනිය විසින් 2017 ජනවාරි මස දේශය පත්‍රයට සැපයූ අර්ථ කථනය නැවත විමසිය යුතුව පවතී. ‘අමාවකේ සඳක් සිඹිමි’ (2006) නම් කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට පිවිසි අතුකෝරල මේ වනවිට කාව්‍ය ග්‍රන්ථ කිහිපයක ම උරුම කරුවෙකි; විද්වත් විවාදාදියට තුඩුදුන් පැසසුම් මෙන් ම ගැරහුම් ද ලද්දෙකි. අතුකෝරලට සමගාමීව කාව්‍යකරණයේ නියැළෙන තෝරාගත් නූතන කවීන් කිහිපයකගේ පැදි කෙරෙහි ද ප්‍රෝත්සාහී වෙමින් සමහර කමටහන් පිළිබඳ මධ්‍යස්ථ අධ්‍යයනයන යෙදීම මෙම ලිපියෙන් අපේක්ෂිතයි.

තිඹිරියාම බණ්ඩාර විසින් 2017 ජූනි මස 20 දින ‘සමහර කමටහන් හද ඔසුවකි වදන්’ මැයෙන් දිනමිණට ලියූ ලිපියෙහි අවධාරණය කරන මතයෙන් මීට එළඹුමක් ලබමු. -‘ලක්ශාන්ත යනු ලක්ශාන්තය. ඔහුගේ කවිය ඔහුගේ මය. ඔහුගේ කවියෙන් අනෙකාගේ කවිය නොදැකිය යුතුය’- බණ්ඩාරගේ අර්ථකථනය සදා සත්‍යයකි යන උපකල්පනය බිඳලා සහෘදයකු වශයෙන් සක්‍රියවීම අවැසි ය. එබැවින් අපි තවදුරටත් ස්ටීවන් ඩොබින්ස් පවසන ‘පාඨකයාට ද වගකීමක් ඇත.

එය නම් අකර්මණ්‍යව නොසිට ආක්‍රමණශීලී ලෙස ප්‍රශ්න අසමින් පිළිතුරු ඉල්ලා සිටිමින් කියවීමය’ යන්න විදාරණය කිරීමට යත්න දරමු. : කාව්‍යාකෘතිසමහර කමටහන් කාව්‍ය සංග්‍රහයෙහි එන කාව්‍යවල පොදු ලක්ෂණ කෙරේ සවිංඥානික වන සහෘදයකු කාව්‍ය ග්‍රන්ථය පෙරළන මාත්‍රයෙන් එහි ග්‍රන්ථමය මැයෙන් ද කවරයෙහි ගැළපීමෙන් ද මදකට සසල වෙයි. කමටහන් වනාහි යෝගාවචාරී පුද්ගලයකු භාවනාවකට නිමිත්ත වශයෙන් උපයෝගී කරගන්නා යම් වස්තුවක්, සංකල්පමය අත්දැකීමක් ය. කවියකුට කමටහන කුමකට ද? කවියාට දිවිය ම කමටහනක් නොවේද? ග්‍රන්ථ කවරයෙහි ඇති අන්ධකාරයේ ලයිට් එළියකට ඇදෙන මෙරු සමූහයක් මෙම දෘෂ්ටිය නියෝජනය කරන්නේ වෙයි.කෘතියේ ඇතුළත් සියලු කාව්‍ය නිර්මාණවල තේමා දීර්ඝය.

ඔහුගේ ම පෙර කාව්‍ය නිර්මාණ වල නොඑන මෙකී ලක්ෂණය තවදුරටත් තේමාත්මක කමටහන සංකේත කරන්නක්දැයි සිතිය යුතුවේ. අතුකෝරල සිය අනන්‍යතාව සනිටුහන් කරන්නේ නිදහස් සහ සිවුපද ආරෙන් වීම අරුමයක් නොවේ. සහෘදයා නොසිතන තැනෙකදී එකී අදහස බිඳ දමයි. එහෙත් ඒ කලාතුරකිනි. අරුමය වන්නේ එයයි. නීරස ගද්‍යමය පාඨ යැයි හැගෙන ආකෘති ද හමුවේ. ආයාසයෙන් කියවිය යුතු එවන් රචනා දුහුන් රසිකයා වෙහෙසවයි. පැක් ඉන්වානන්, කිම් ටොන්යෙරන් වැනි කොරියානු කවීන්ගේ මෙටපිසිකලියානු රිද්මය ලෙසින් ද පැබ්ලෝ නෙරූදාගේ ගැස්ම ලෙසින් ද ඇතැමෙකු වර්ණනා කරන මෙකී ලක්ෂණය සමහර කමටහන් තුළින් නොව ඔහුගේ පෙර කාව්‍ය ග්‍රන්ථවලින් වඩාත් සුනිශිත වන බව අපගේ හැඟීමයි. තතු එසේ වූවත් ‘හිතග්ගිස්සෙ නැතක් මොට්ටු’ (2008) නම් කෘතියේදී හයිකු කවි වැනි ආකෘති පවා ඔහු පර්යේෂණාත්මකව යොදාගත් බව කිව යුතුය. මෙය හොඳ ලකුණකි.

මේ බව අමරකීර්ති සිය ‘නව කවි සලකුණ’ (2016)හි ද කියා සිටී. නූතන කවීන් බහුතරයකගේ නව කවි ආකෘති අතරට ඒමට ඔහු දැරූ සාර්ථක වෑයම් වශයෙන් ‘ග්‍රීෂ්මේ පිපෙන මල් අමුතුයි ලස්සනයි’, ‘ප්‍රේමය සමග ගැඹුරුතම හුදකලාවේ කාමරයක’, ‘තනි නොතනි හිස් තැනකි ලං නොවුණ සිහිනයක’ කවි දැක්විය හැකිය.: කාව්‍යනුභූතීන්අතුකෝරලගේ කාව්‍ය සංග්‍රහයට රජත සම්මානය ලැබීමට වඩාත් ම ඉවහල් වූයේ යැයි හැගෙන ප්‍රධාන සාධකය ඔහු කව්ගත් රැසයූ ආනුභූතීන්ගේ බුහුටිතා බව අපගේ අවධාණයට ලක්විය. නූතන කවීන් අතරෙහි ඔහුගේ කිවියාවට අදාළ පරාමිතීන් අවශ්‍යයෙන් ම පෘථුල වූවකි.

සුළවතුන් කියන්නා සේ සාහිත්‍ය මණ්ඩප නියෝජනය කිරීමේ උන්මාදයක් මොහුට නොතිබුණ ද විශ්ව සාහිත්‍යයට වූ නැඹුරුව හේතුවෙන් ලද දෘෂ්ටාන්ත මීට තුඩු දුන්නා විය හැකිය. කවියකු ඉසියුම් විය යුතු සූක්ෂම අවස්ථා ග්‍රහණයෙහි ලා අතුකෝරල දක්වන සමත්කම සාධනීය වෙතත් එය ඉදිරිපත් කරන විලාසයෙහි දුර්වලතා පැවතීම හේතුවෙන් සහෘදයා අන්දමන්ද වන අවස්ථා බහුලය. සමහර කමටහන්හි එන කාව්‍යානුභූතීන් කිහිපයක් මෙනයින් විමසා බලමු.

ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන අදටත් මුහුණදෙන අලි ප්‍රශ්නය ඉලක්ක කරගත් විමලරත්න කුමාරගම වැනි කවීන් ගත් මග යන අතුකෝරල තනියාට අසු වූ පියකු හා කොළඹ එන පුතකු වෙනුවෙන් කවි ලියයි. මස්ඉඹුලගේ ‘හස්ති වියරුව’ත්, රත්න ශ්‍රීගේ ‘සත්වෝද්‍යානයකදීය’ වැනි කවිවලත් එන උදාරම් හස්තියාගෙන් ද රුවන් බන්දුජීවගේ මීළඟ මීවිතෙහි ‘වියළි නැළවිලි’ වල එන මිනිස් පවුල සහ අලි පවුල අතර ඝට්ටනයෙන් පෙරෙන ළතෙත් බවින් ද අතුකෝරළ මදකට මිදෙයි.

ගමෙන් නගරයට ඒමට අලි ප්‍රශ්නය නිමිත්ත කරගත් විසිඑක්වන සියවසේ ගැමි තරුණයා අතුකෝරල තේමාවට මුඛ්‍ය විෂය කරගනී. ‘තනියාට හසු වූ මහඉලුප්පල්ලම ශ්‍රී ලාල්ගේ කොළඹ කවියේ’ ආරම්භය හද සසලවයි.’අහුවුණා තනිකම් තනියාටපෙට්ටිය පිටුපස්සේ ගාටද්දි කනත්තටඌ මාව පාග පාගාහොඬවැලෙන් ගැහුවා දෙපැත්තටතාත්තේ තාත්තේ ඉතින් අපිවෙන්වුණා නේද ඇත්තට’එහෙත් එහි අවසානය ධනේශ්වර ආර්ථීකයේත් ගෝලීයකරණයේත් මර්යාදා පිළිබඳ ඥාන පුංජ දල්වයි. වත්මන් තරුණයා තවදුරටත් වැළප්මෙන් නතරවීමට සූදානම් නොවනබවට ඉඟියකි මේ.’කොන්ඩ කට්ටෙකක් කපලා චාමෙටහොන්ඩා කට්ටකුත් බැලුවා ලාබෙට’රූම් සංස්කෘතියේ කිමිදෙන වත්මන් ප්‍රේම සල්ලාප හා ආලිංගන කෙරෙහි නූතන කවියා මනෝමූලික ම තද එළඹුමකය. එබැවිනි ප්‍රේමයට මෙතරම්ම කවි.

අතුකෝරලගේ ‘ප්‍රේමය සමග ගැඹුරුතම හුදකලාවේ කාමරයක’ මීට දෙස් දෙයි. එහෙත් කිව යුතු සියල්ල ම කීම හේතුවෙන් සහෘදයාට සිතීමට ඉඩ අහුරන්නේ ය යන සංක්ෂය ද මතු වේ. ‘රීරි බී ඇඳේ මුව පිසිි තැනක් රතට දිලුණා’ වැනි පද ඊට නිදසුන් ය. කාව්‍යානුභූතිය ප්‍රබලත්වය මතුනොව නිමවුමෙහි විය යුතු සිත් කා වැඳීමෙහි ගුණය ද ලුහු ව ඇත. එහෙත් රිද්මය ඒ සියල්ල විසිර යා නොදී රඳවා සිටී. මස් ඉඹුලගේ ‘සමනල තටු ගැලවුණ පසු’ සමග තුලනය කළ කල්හි අතුකෝරල තමා සමඟ ම භාෂාත්මක අරගලයක යෙදෙන බවක් පැහැදිලිය.

තතු එසේ වුවද කණවේර ජාතකය, කුණ්ඩලකේසී කථාව සිහි කැඳවන නිමිත්තකින් හෙතෙම කව අවසන් කරයි. රුවන් බන්දුජීවගේ,’සන්තුක නිදි ඇඳ වටේට- තුන් වටයක් පැදකුණු කරමන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී’මෙන් මේ පෙම්වතිය අරගල නොකරයි; ඉරණම දරාගෙන සිටී. පුරුෂ මූලික සමාජයේ ස්ත්‍රී ඛේදවාචකය මෙයයි. එහෙත් තත් නිර්මාණය අයාලේ ගිය බැස්මකින් අවසන් කර ඇත. මේ එම පැදියයි.’නොගලවා තිබූ ළය පිට-බාල රත්තරන් ඉරි පොටපවා සොරාගෙන නිරුවත- පූර්ණ කොට තිබුණාළයේ ඇතුළතින් රැඳවුණ-ආල නිල් මැණික් තැලි රැසමාල දහස හැර දා ඔහු- ගොසින් ඇතැයි දැනුණා’යථාර්ථයේ පය ගසන ඉසව්වේ සිටියදී පවා ෆැන්ටසිය සොයන නූතන මිනිසාගේ චින්තන විලාස කැටිකොට ගත් නිර්මාණය ද්වයකි, ‘දම් පැහැ ආලෝක පිරුණු අවන්හළකදී’ සහ ‘රිසි විටෙක රිසි අය සමග මම එමි ෆැන්ටසිය’. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන ආශාවන් ත්‍රිත්වයෙහි (කාමාශය, භාවාශය හා විභාවාශය) කාමාශයට සෘජුව නෑකම් කියන ෆැන්ටසිය පුද්ගල අවියෝජනය ද සංකේතවත් කරයි. ස්ත්‍රිය හා පුරුෂයා ඔවුනොවුන් තුළින් සොයනා සුරඟනමය සහ දඩයක්කාරී දේහ ව්‍යුහය බෝනිකි-කුමර කථාවල ප්‍රකාශ නියෝජනය කරන්නකි.

ජටිල වාණිජවාදයේ යථාර්ථයෙන් මිදී ෆැන්ටසිමය නිදහසෙහි මිනිසා තෘප්තකරවීම කවියා නිමිති කරගනී. එබැවිනි ඔහු කියනුයේ,’මල් උයනෙ යෝධයා වෙමින් මා’, ‘රෝස ඇඟිලි තුඩු උණුහුම් මායාවෙන් පිට’, ‘දම් ගවුමක් වැටී තිබෙයි මල් ඕවිල්ලක’.සබඳතා කිහිපයකින් හෙම්බත් වූ පෙම්වතියක, සාම්ප්‍රදායට නතුවෙමින් දෙමව්පියන් සොයා දෙන තෙක් සිටින තරුණියක හෝ වත්මන් අතෘප්තිකර වෛවාහික සබඳතාවක නිර්මිතයක් වූ බිරියක නියෝජනය කරන කව් ද සමහර කමටහන්හි වෙයි. අනෝමා රාජකරුණාගේ ‘බිරිය’, යමුනා මාලිනී ගේ ‘දුම්ගෙයි කුමාරිකාවගේ සිහිනය’, මස්ඉඹුලගේ ‘මනාලිය’ වැනි නිර්මාණ ද මීට දෙස් දෙයි. මංජුල වෙඩිවර්ධන බඳු පොදු ප්‍රේමයක නියැලීමට තැත් දරන අතුකෝරල ‘පෙඟුණු ඉසව්වක සංකාකාසෙට අන්ධකාරෙන් සඳ පහනක්’ කව් පෙළ සමාජ ප්‍රතිරෝධතාව අනුවම දිග හරියි. එහෙත් එහි එන, ‘මගෙ ප්‍රේම පිස්සො ටික’ වැනි යෙදුම් අයාසායෙන් යොදන බවක් පෙනේ.

එය ගලා එන කවියට හානි පමුණුවයි. ත්‍රිකෝණගත පෙම් පුවත්, සැමියාට අනියම් සබඳතාවක් සැක කරන බිරිඳක් වැනි තේමා ද ඔහු ආමුඛ කරගනී. නමුත්, ඒවායින් ඔහු සිරි ගුණසිංහ බඳු රූපකාර්ථවත් බසක් ගොඩනැගීමට තැත් කිරීමෙන් අනෞචිත්‍ය කෘතිම රස ගෙනෙන ‘ඔය ප්‍රේම ගින්දර කූරෙන්’, ‘ඇයට නෑ පිච්ච මල් සුසුම්’ වැනි යෙදුම් රොබෝටික්මය සහෘදයකුයකුට උචිත සංකේත පද්ධතියක් බිහිකරන්නේදැයි සිතේ.ගී පද රචකයා සහ ගායකයා අතර පවතින කුදු මහත් සබඳතා දෙදරමින් වෙළඳපොළ නාභිගතව කෙරෙන සියලු බුද්ධිමය දේපළවල මානුෂීය හිමිකාරත්වය උල්ලංඝනය වූ සංවේදී කලාකරුවකු පිළිබඳව අතුකෝරල අප සිත යොමවයි.

තමා රචනා කළ ගීයේ මූල්‍යමය වාසිය ද සමාජ පිළිගැනීම ද ලබමින් ගායකයා ජනගතවන මොහොතක රචකයා සංවේදී නොවේද? ප්‍රබුද්ධ හි මහගමසේකර පවසන සිල්ලර කාසි වී පැමිණෙන හඬ මෙය නොවේද? කවියාගේ අත්දැකීම ප්‍රබල වුවත් කවිය අවසානයේදී ඔහු වඩාත් සංවේදී වීමට යාමෙන් කවියේ ගුණාත්මක භාවය නැති කරගනී. මෙය අතුකෝරලගේ බොහෝ කවිවල දක්නට ලැබෙන්නකි. නැවතිය යුතු තැන නොනවතා තවදුරටත් කවිය කියා ඒදණ්ඩ මැද සහෘදයා අතරමං කරවන ඔහුගේ කවි තත් කෘතියේ සුලබ වන්නේ එබැවිනි.මීට අමරතව ‘මස් කඩයක් දෙසින් පැමිණ පපුවෙ ඇණුන අං කැබැල්ල’ නිර්මාණයට විෂයය වන පිටිසරබද ගැමියාගේ ශෝකාලාපය අතුකෝරල සම්බන්ධයෙන් තිඹිරියාගම ද මතුකරන වාර්තාමය ස්වරූපයට නිදසුනකි. කවියා වේදනාවෙන් හඬනා තරමට සහෘදයා නොහඬන්නේ එබැවිනි.

කරුණ රසයේ සිට හාස්‍ය රසයට අප විතැන් කරවන ‘අපොයි මෝඩ මොළ ගෙඩිය මගේ’ වැනි යෙදුම් හැරුණුවිට තත් පරිසරය පිලිබඳව ඔහු මවන චිත්‍රය සාධාරණ එකකි.: රිද්ම ලක්ෂණඅතුකෝරලගේ නිර්මාණවල පොදුවේ දැකිය හැකි ලක්ෂණය නම් නිශ්චිත රිද්මයක් හෝ ලයකින් තොරව කවි ඉදිරිපත් කිරීමේ ශක්‍යතාවය. එය ඔහුගේ නිදහස් ආරේ කවිවල මැනවින් නිරූපිත ය. සිවුපද කවිවල දී එළිසමයට අවධානය යොමවන නමුත් ඊට ම ගැති නොවූ අවස්ථා ද හමුවේ. මෙය හොඳ ලකුණෙකි. රිද්ම අතර කවිය සිර කිරීමේ අභිලාෂයක් ඔහුට නැති. එබැවිනි මෙවන් කදිම ශබ්ද රටා මැවෙනුයේ.’පුලින මලු ගෙන දෙගොඩ පිහිනනකැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක්නුහුරු පිරිසිදු නිල් තටාකෙක-ලබයි ජය පළඟක්මුදා අබිමන ඔහුගෙ අත දවටන්න සුබ පැතුමක්’සිවුපද රචනා අතරෙහි අතුකෝරල මින් මතුත් වර්ධනය කරගත යුතු යැයි හැඟෙන රිද්මය ලක්ෂණ සඳහා පහත නිදසුන කෘතියෙන් උපුටමු.

අප කවියාගේ නිස්සරණාධ්‍යාශයෙන් උපන් කිවියාව මෙය නොවේද?’රොබරෝසියා මල් වැළපෙන වැහි දාටනොබලා පියාඹන මුතුකුඩ නැතු වාටඔබ දුන් කඳුළු සහ අහසෙහි කළු පාටනිබඳව සෙවණ දෙන බව කියමිද කාට’පුනරුක්තිය දෝෂයක් වන්නේ එය නුසුදුසු තැනෙක භාවිත කළේ නම් පමණි. කවියා පුනරුක්තිය යොදාගන්නේ කාව්‍යානුභූතියේ රසඥතාව වඩවනු වස් නම් ඊට වෙන පෙරළි අවැසි නැති. අනුප්‍රාසය එසේ භාවිතවීම සාධාරණය. අතුකෝරළගේ කෘතියේ මේ දෙයාකාරයෙන් ම යෙදෙන අවස්ථා හමුවෙයි. ‘අද අද ඔව් දැන් එන්නම් දෝතට එනවද’, ‘මං ඔහේ වැළපුණා වැළපුණා’, ‘මහත්තය මහත්තය නෝනා නෝනා”පදික වේදිකා අයිනය සෙල්ලම් මිදුලපදික වේදිකා අයිනය කුස්සිය අටුව’ ඉන් කිහිපයකි.: වාග් චිත්‍රසමහර කමටහන් පද්‍ය සංග්‍රහයේ තවත් එක් සාධනීය ශානර ප්‍රවර්ගයක් වන්නේ සංකල්ප රූප මැවීමේ ප්‍රබලත්වය යැයි කීම නිවැරදි ය. කෘතිමය ලකුණු පෙන්වන කවෙක වුවද සැනින් නිවී බැබලෙන පුංජයක් මෙන් දිස්වෙන කාව්‍යමය යෙදුම් මෙකී සංකල්ප රූප නිමවුමෙහි ලා ගෝචරව ක්‍රියා කරනු පෙනේ.

අතුකෝරලගේ සංකල්පමේය දෘෂ්ටීන් කුළුගැන්වුණු අවස්ථා බහුල බව ද කිය යුතුය. සමහර කමටහන් කෘතියේ කාව්‍ය නිර්මාණ සඳහා අතිසාර්ථක පිටුබලයක් සපයන මෙම යෙදුම් සමස්ත කෘතියට ම සාධාරණයක් ඉටු කරයි. ‘දේදුණු කැබැල්ලකි වැහි ලිහුණු අහසේ’, ‘කැබ් එකටත් කැස්ස’, ‘මැනික් තරු බටිත්තිය’, ‘සීතලට රිසි එකෙක් ඉපිලෙයි’, ‘අකුරු වැස්ස’ මීට නිදසුනි. අජීවී වස්තූන්ට සප්‍රාණිකත්වය ආරෝපණය කළ ‘ඔයේ වතුර පය උස්සා ගෙය පාගන දවස්වලට’ යෙදුම පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘කුලී ගේක පදිංචියට යන වගයි’ හි එන ‘කළු ගං කොමලිය රෙද්ද ලිහාගෙන ගෙදරට රිංගුව දවසේ’ සිහි කරවයි. එසේ වුවත් අප කවියාගේ ඇතැම් සංකල්ප රූප මැවීම් යම් පැන මතුකරයි.

‘අන්ධකාරය මැදින් ගමන් කළ අම්මා’හි කවියා ‘පැරණි කොට්ට උරයක් වැනි වූ’ යන කියමන යොදයි. ඔහුට අවැසි කොට්ට උරයේ ගුරු පැහැ පැල්ලම් සහිත පැරණි හුණු බිත්තිය ගැන කීමට වුවත් ඇරඹුමේදී ම එසේ කීමෙන් කියවන්නා මවනුයේ බිත්තිය නොව අම්මාවය. අනෙක් අතින් කොට්ට උරයක් යැයි කීමෙන් වුවද පළමුව සහෘද මනසේ මැවෙන්නේ කොට්ටය බැවින් මේ මවන අම්මා කඳ බඩ ආරා ඇති ගැහැනියකැයි සිතෙනු වැළැක්විය නොහේ. එය කවියා අනපේක්ෂිතව මතු වූවකි. මෙවන් ඉසියුම් තැන් අතුකෝරලගේ අවධානයට යොමුවිය යුතු යැයි හඟිමු.

ජී. බී. සේනානායකට පොදු ‘දිග් මුහුණ’ මෙන් අතුකෝරලට පොදු යෙදුම ‘ලා ඉර’ බව අප මනැසට ගෝචර විය. කවි කිහිපයක ම ඔහුගේ ‘ලා ඉර’ පායනු පෙනේ. ගැටලුව වන්නේ අප කවියා එකවර සංකල්ප රූපය ගනණාවක් ප්‍රකාශකිරීම තුළ මවන රූපයේ අසංදිග්ධතාව මිස අනෙකක් නොවේ. කවි සිතේ මැවෙන රුව කෙබඳුදැයි උභතෝකෝටියක සිරගත වන්නා සේ සමහර කමටහන් කියවන්නා ද කවියාගේ රූප පද්ධතිය ග්‍රහණය කරගැනීමේ ආරවුලක නියැලෙයි.: සමාලෝචනයසමහර කමටහන් කාව්‍ය ග්‍රන්ථයේ ඇතැම් වාර්තාමය ස්වරූපත්, කවිය ගැලීමට ඉඩ නොදී ගලා බස්වන්නට යාමත්, ඇතැම් යෙදුම් භාවිතයත් කෙරේ තවදුරටත් සාවධාන වූයේ නම් කෘතියේ හර පක්ෂය වඩාලා ම තීව්‍ර වනු ඇත යන්න අපගේ හැඟීමයි.

කවියට ආධුනිකයෙකු නොවූ අතුකෝරළගේ ආකෘතිකමය ලක්ෂණත්, කාව්‍යනුභූතීන්හි සූක්ෂ්මත්වයත්, රිද්මය ලක්ෂණවල නැවුම් ස්වභාවයත් අගය කරනු රිසින් තවදුරටත් කාව්‍යමය අභ්‍යාසයන්හි නියැළීමට අවැසි විචාරමය සංවාද ගොඩනැංවීම තත් ක්ෂේත්‍රයෙහි නිපුන් සුධීමතුන්ගේ උත්තමාර්ථය විය යුතුය. ලක්ශාන්ත අතුකෝරල නූතන කවියෙහි තව තවත් පෙරැළි කරනු දැකීමේ අපේක්ෂාවෙන් අවසන් වැකියෙන් ඔහුගේ කිවියාවෙහි අභිෂේකයට සුබ පතමු.