ඩලස්ගෙන් රජයේ මාධ්‍යයට හොඳ කතාවක්! අපෙන් මල් මිටක්! ඒත්…

‘මං ඔබතුමාලාට කියන්නේ, ආණ්ඩුව කරන හරි දේ නිවැරදි විදියට සන්නිවේදනය කරමු. වැරදි දෙයක් තියෙනවනම් විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒ ගැන කිසිදේකට බයවෙන්න එපා මං ඒ වගකීම ගන්නවා.’

ඩලස් අලහපෙරුම

ඩලස් අලහප්පෙරුම මහතා රජයේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට රජය විවේචනය කරන ලෙසත්, ආණ්ඩුව කරන ‘හරි දේ’ ගැන පමණක් ලියන ලෙසත් රජයේ මාධ්‍ය ආයතනවල සාමාජිකයන්ට උපදෙස් දුන්නා.

ඒ වගේම තමන් කරන කිසිම විවෘත කිරීම්, උත්සවවල මුලසුන හෙබවීම ආදී දේවල් මාධ්‍යල දාන්න එපා කියලත් ඔහු කියනවා. ‘ඒක නියෝගයක්’ කියලා කියනවා.

කතාව මෙහෙමයි.

‘කවුරුහරි දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවක වෙන්න පුළුවන්. පොහොට්ටුවේ කියලා ලයිසන් දීලා නෑ කාටවත් වැරදි කරන්න.

කැබිනට් මාධ්‍ය සාකචඡාවේදී මම ඉඳගන්න එක ඇරෙන්න, මම ඉතාම ගෞරවයෙන් කියන්නේ. මම මාතර ගිහිල්ලා පොත් බෙදන එක, පාර විවෘත කරන එක. මේ කිසිම දෙයක් කිසිම මාධ්‍ය ආයතනයක දාන්න එපා. ඒක තමයි මට තමුන්නාන්සේලා කරන ලොකුම ගෞරවය.

මම කිසිසේත්ම. සතියේ එක දවසක උපරිම වශයෙන් අර මාධ්‍ය සාකච්ඡාවේදී හැරෙන්න, වෙන කිසිම වෙලාවක පෙන්වන්න එපා.

එහෙම වුණොත් විතරමයි අනෙක් දේශපාලනඥයන්ට කියන්න පුළුවන් මෙන්න අපේ ඩිසිප්ලීන් එක කියලා. ඉල්ලීමක් විදියට නෙවෙයි, නියෝගයක් විදියට දෙන්නේ. මම නම් පෙන්වන්නම එපා.

හරි දේ හරියටම රටට සන්නිවේදනය කරමු. මං මේ පුටුවේ ඉන්නකම් ඒකට බය වෙන්න එපා. ඩලස් අලහප්පෙරුමගේ වැරැද්දක් තියෙනවානම්, පැහැදිලිව ඒක විවේචනය කරන්න.’

ඔය ගැන ඇත්ත කතාව මෙහෙමයි. අපි අවංකව විශ්වාස කරනවා ඩලස් අලහප්පෙරුම මේ ට්‍රයි කරන්නේ පුද්ගලයෙක් විදියට උඩුගං බලා පිහිනන්න. ඔහුට ඕනෑ නම් මෙහෙම කතාවක් නොකියා ඉන්න තිබුණා. කෙහෙළිය වගේ ඔය මීඩියා ආයතනවලට ගිහින්, තමන්ට ඕනෑ බලපෑම කරගෙන ඉන්න තිබුණා. තමන්ගේ සහ ආණ්ඩුවේ කැම්පේන් ටිකත් කරන අතරේ.

අපට ජොන්ස්ටන් සහ ඩලස් අතරේ පැහැදිලි වෙනසක් පේනවා. ඒක හරි.

ඒ අතරෙම කියන්න ඕනෑ, ඔය කතාවෙම ලස්සන පොඩි කෑලි දෙකක් තියෙනවා. එකක් තමයි ‘ඉල්ලීමක් නෙවෙයි නියෝගයක් විදියට දෙන්නේ’ කියන කෑල්ල. එතැනම අප්සෙට් එක තියෙනවානේ. ඇමතිට පුළුවන් නම් රජයේ මාධ්‍යවලට ‘නියෝග කරන්න’. එතැනින්ම අවුල පේනවා. ඇමතිගේ නියෝගවලට නැවෙන්නෙ නැති මාධ්‍ය සංස්කෘතියක් තමයි ඕනෑ.

දෙවැනි කෑල්ල තමයි ‘මං මේ පුටුවේ ඉන්නකම්, බය වෙන්න එපා’ කියන කෑල්ල. ඒ කියන්නේ ඔය කියන ස්වාධීනත්වය කොච්චර තාවකාලික දෙයක්ද? මහජනතාව සතු මේ ජනමාධ්‍ය පාලක පවුලක් හෝ පාලකයන් සුළුතරයක, දේශපාලන පක්ෂයක වුවමනා එපාකම්වලට පාවිච්චි වෙන එක කොච්චර නාස්තියක්ද? විනාසයක්ද? ඩලස් සිටිනතුරු විතරක් නෙවෙයි, සදාකාලිකව මේවා ස්වාධීන වෙන්න ඕනෑ.

අන්න ඒ නිසා, ඔය වගේ කතාවක් කීම මාර විප්ලවීය දෙයක් විදියට සලකන්නම බැහැ. ඇමති කෙනෙක් කටින් ඕක කීව පළියට රජයේ මාධ්‍ය නම් වූ මහජන බදු මුදල් කාබාසිනියා කරමින් දේශපාලන පක්ෂවලට කඩේ යන ආයතන පද්ධතිය පිරිසිදු වෙලා යන්නේත් නැහැ.

හරි නං ඇමතිවරයෙක් කරන්න ඕනෑ රජයේ මාධ්‍ය ආයතන ආණ්ඩු බලය ලැබිච්ච පක්ෂයේ වුවමනාවට රෙද්ද උස්සන්නෙ නැති විදියේ ස්වාධීන යාන්ත්‍රණයක් හදන එක. ආණ්ඩු මාරු වුණාම හෝ ආණ්ඩු පක්ෂය අකමැති වැඩක් කළාම හිතුමතේට මාධ්‍ය ආයතන ලොක්කන් අස් කරන්න බෑ. එහෙම වෙලාවක වෘත්තිය සමිති කාරයෝ ගිහින් ඉන්න ලොක්කට ගහලා පන්නලා කවුරුහරි බලෙන් පුටුවේ ඉන්දවන සංස්කෘතියක් හදන්න බෑ.

ඔය වෙනුවෙන් ලොකු සිස්ටම් වෙනසක් දාන්න ඕනෑ. රජයේ මාධ්‍යවල පත්වීම්, උසස්වීම්, මාරුවීම්, වැටුප් වෙනුවෙන් ස්වාධීන කොමිසමක් ඕනෑ. ඒවා නොකර නිකම්ම ඇමතිවරයා ආණ්ඩුව විවේචනය කරන්න කීවාට මහා දෙයක් වෙන්නේ නෑ.

ඒ නිසා අප මිත්‍ර ජනමාධ්‍ය ඇමතිතුමනි! ඔය ටික ප්‍රශ්නයේ හැටියට මදි.

ඔන්න ඒ ටික කියලා, ඊළඟට අපි ඩලස් අලහප්පෙරුම නම් මනුස්සයාට මල් මිටක් දෙන්න ඕනෑ. අපි ඔය කීව සිස්ටම් චේන්ජ් එක කරන්න ඩලස් අලහපෙරුම කියන තනි කෙනාට බැහැ. රජයේ මාධ්‍ය ස්වාධීන කරන්න ආණ්ඩුව කවදාවත් එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා ඩලස්ට පුළුවන් තමන්ගේ මට්ටමන් මාධ්‍ය ආයතනවලට ස්වාධීනව වැඩ කරපල්ලා, මං උඹලගෙ ආරක්ෂාවට ඉන්නවා කියන පණිවිඩය දෙන්න තමයි.

ඒ නිසාම ඊළඟට අපි අහලා බලන්න ඕනෑ රජයේ මාධ්‍යවල වැඩකරන අය ගැන ප්‍රශ්නයක්. ඇත්තටම ඩලස් අලහපෙරුම ඇමතිවරයා කොහොම කිව්වත් ඒ අය ස්වාධීනව වැඩ කරයිද? එහෙනම් කාටහරි කොන්දක් තියෙන්න ඕනෑ බය නැතිව වැඩ කරලා යම් අභියෝගයක් ආවොත් බය නැතිව කියන්න, ඩලස් ඇමතිතුමා අපට කියලා තියෙන්නේ මෙහෙමයි කියලා.

ඒත් ඉතින් එහෙම කෙනෙක් ස්වාධීනව ලිපියක් ලීවත්, වීඩියෝ පුවතක් හැදුවත්, රේඩියෝ නිව්ස් එකක් ලීවත් ඒවා විකාශය කරන්නේ ආයතනයේ ලොක්කන්. ඒ ලොක්කන් ඩලස් ඇමතිතුමා කොහොම කීවත් කඩේ යෑම නවත්වයිද කියන එක තමයි අනෙක් ප්‍රශ්නය.