– බැසිල්ගේ ප්‍රතිපත්තියේ මූලිකම අවුල පෙන්වමින් රෝහිණීගෙන් දැඩි ප්‍රහාරයක්
– රට හිඟා කද්දී මොළහත කොහේදැයි මන්ත්‍රීවරියක් විමසූ හැටි
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා.
එහිදී ඇය සිහිපත් කරනවා මීට පෙර මුදල් අමාත්‍යධුරය දැරූ ‘ධනපති’ පන්තියට අයත්යැයි කියූ පාලකයන්වත් නොකළ තරම් දුප්පතා අමතක කර ධනපතියන්ට හිතවත්ව කටයුතු කරන බව. ඇය මූලිකව පෙන්වා දී තියෙන්නේ ඉතා අසීරු ආර්ථික තත්වයකට රට මුහුණ දී තියෙන වෙලාවක, ආර්ථිකය පාලනය කරන අය හරි නම් කරන්න ඕනෑ ධනවතුන්ට වැඩිපුර බදු අය කරමින් සාමාන්‍ය ජනතාවට අසීරුතාවන්ට මුහුණදෙන්න බැරි විදියට කටයුතු කරන එක.
ඒත්, ඇත්තටම සිද්ධවෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ‘කැපකිරීම් කරන්න ලෑස්ති වෙන්න’ එයාලා කියද්දී මුලින් කැපෙන්නේ පොඩි මිනිහාගෙන්. ලංකාව අවම බදු රාජ්‍යයක් විදියටයි තාමත් පවතින්නේ. ඒ අවුල පෙන්වාදෙමින් දාපු, මන්ත්‍රීවරියගේ නිවේදනය පහතින්.
‘මේ ආණ්ඩුව බලයට ඇවිත් 2019 නොවැ. 27 පළමු කැබිනට්ටුවේ, පළමු රැස්වීමේ දී කරපු පළමු වැඩේ ඡන්දෙට වියදම් කරපු ගජමිතුරන්නට බදු සහන ලබාදීමයි. උපයන විට බද්ධ, වැට් බද්ද, ජාතිය ගොඩනැගිමේ බද්ද. කොටස් වෙළෙඳපොල බද්ද ආදී එකි මෙකී හැම බද්දක්ම අඩු කරලා භාණ්ඩාගාරයේ ආදායම රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයකින් ආණ්ඩුව අඩු කර ගත්තා. දැන් රජයේ සේවකයින්ගෙන්, පඩිය හිඟා කනවා. දැන් රට කරන්න දිගට හරහට ආණ්ඩුව සල්ලි අච්චු ගහනවා. අගෝස්තු 20 දවසට රු.බිලියන 29 ක් අච්චු ගැහුවා. අද මහ බැංකුව කියන්නේ සල්ලි අච්චු ගහන මැෂිමක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරන්නේ මුද්‍රණාලයාධිපති ගේ වැඩේ. මුදල් ලේකම් සල්ලි ඉල්ලලා ලියුම් ලියලා සල්ලි ඉල්ලලා, එයාම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට වාඩි වෙලා සල්ලි අච්චු ගහන්න අවසර දෙනවා.
මුදල් රාජ්‍ය ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති කියනවා මුදල් අච්චු ගැහුවට බඩු මිල ඉහළ යන්නේ නෑ කියලා. දැන් පලාත් සභාවට කතා කර කර කියනවා රට වහලා තිබ්බට කොහොම හරි මෝටර් රථ ප්‍රවාහණය ඇරලා සල්ලි ටික එකතු කරලා දෙන්න කියලා. මේ රටේ කවුරුත් ධනපතියන්ට බදු සහන දීලා සීනි, හාල්, පරිප්පු, ඖෂධ, ගෑස්, ඉන්ධන මිල ඉහළ දාන්න කිව්වේ නෑ. කෘෂි රසායන ගෙන්වන්න මුදල් නැති කර ගන්න කිව්වේ නෑ. සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකම මිල දෙගුණයකට වැඩිය වැඩිවෙලා තියෙනවා.
මොන අවාසනාවන්ත කාලය ආවත් ගොවිබිම්වල කන්න එළවළු – පළතුරු ටික හැදුණා. දැන් කෘෂි රාසායන නැතිව වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිව උඩරට එළවළු වත්තේ කුණු වෙනවා. ඒක කිව්වාම, ඡන්දෙට වියදම්කරපු ගජමිතුරෙකුට කෘමිනාශක, දිලීර නාශක අලෙවියේ ඒකාධිකාරය දෙන්න හදනවා. ගොවියාට බීලා මැරෙන්නවත් අද වල් නාශකයක් නෑ.
සීනි ඒකාධිකාරය දිලා රු. 65 ට ගෙන්වපු සීනි දැන් රු. 220 ට කනවා. මේ ආණ්ඩුව දුප්පතාගේ ඔළුවට පිස්තෝලේ නොතියා සේසතම පැහැර ගන්නවා.
පොහොර ටික, කෘෂි රසායන ටිකට සල්ලිවලට දෙන්න කැමති නැති ආණ්ඩුව කිරි පිටි වලට බදු සහන දුන්නා. දැන් ආණ්ඩුවට ආදායමත් නෑ. මිනිස්සුන්ට කිරිත් දෙකම නෑ. ගොවියාට කෘෂිරසානයන ටික දුන්නා නම් රටට අල බතල ටික හදාගන්න තිබුණා. නිකං නෙවෙයි, සහන මිලට නොවෙයි, සල්ලිවලට වත් රටේ කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගේන්න දෙන්නේ නැති ආණ්ඩුව කටින් රෝකට් යවනවා.
අද මුදල් අමාත්‍යාංශය යාලුවන්ට බදු සහන දෙන දන්සලක් වෙලා. අලුත් මුදල් ඇමතිතුමා එනකොට හන්දි ගානේ කොඩි දාලා රතිඤ්ඤා පත්තු කරලා කවි ගී ලිව්වා. නිදහසින් පස්සේ හිටපු මුදල් ඇමතිවරු, ජේ.ආර්., වන්නිනායක, ඇන්.එම්., ෆීලික්ස් ඩයස්, රෝනී ද මෙල්, චන්ද්‍රිකා, මංගල හත් දෙනාගේම මොළ හතම තියනවා කියලා බැනර් ගැහුවා. දැන් ඩී.බී.විජේතුංග මුදල් ඇමතිතුමා කිව්වා කිව්වා මගේ ප්‍රතිපත්තිය ධනපතියාගෙන් අරං දුප්පතාට සහන දෙන එක කියලා. දැන් වෙන්නේ එකේ අනිත් පැත්ත. ධනපතියෝ කිව්ව ජේ.ආර්., ෆීලික්ස් ඩයස්, රෝනී, චන්ද්‍රිකා ලා වත් මෙහෙම කළේ නෑ. වගා කරලා කාපු රටක් දැන් හිඟා කාලා කන තැනකට පත් වෙලා තියෙන එකෙන් මහා වැඩකාරයොන්ගේ මොළයේ ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්.’