‘මිලියන 34 වියදම් කරලා පොළොන්නරුවට අයිසීයූ ඇඳන් තියෙන රෝහලක් හදලා දෙන්න. පොළොන්නරුවට අයිසීයූ එකක් නෑ. ‘
‘වැවට එහාපැත්තෙතන් අලි එනවා. කරන්ට් වැටක් ගහන්න.’
‘වැවේ එහාපැත්තේ රක්ෂිතතය අල්ලාගෙන හොටෙල් ගහනවා ඒක නවත්වන්න.’
‘ඒවාට කුණු ගෙනත් දානවා. ඒක නවත්වන්න.’
‘බන්ට් එක පුපුරලා තියෙන්නේ.’
හිමිවරුන්
පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා දමමින් මංතීරුවක් හදන්න උත්සාහ කරන මකබාස් ව්‍යාපෘතියට එරෙහිව පැමිණි හිමිවරුන් අතරින් එක් හිමිනමක් එහෙම කියා තිබුණා. දිවිහිමියෙන් වැව් බැම්ම රකින බවත්, මෙයට දැඩිව විරුද්ධ වෙන බවත් ඒ හිමිවරුන් කීවේ අගෝස්තු 27 වැනිදා වැව් බැම්ම ඉදිකිරීමට විරුද්ධව ඔවුන් එකතු වූ වෙලාවේ.
මේ එකතුවට ප්‍රතිචාර විදියට එතැනට ආපු නිලධාරීන් ව්‍යාපෘතිය නතර කරන්න සහ යන්ත්‍රසූත්‍ර ඉවත් කරගන්න වාචිකව එකඟ වුණා. කෙසේ වෙතත් මේ විරෝධයේදී නිලධාරීන් සහ හිමිවරුන් අතර හුවමාරු වූ අදහස් හුවමාරුව විශේෂයි. මේ ව්‍යාපෘතිය කෙතරම් නිරර්ථක එකක්ද යන්න මෙහිදී වැටහුණා.
මේ වැව් බැම්ම ඩෝසර් දමා කඩන විදිය නිව්ස්ෆ්‍රස්ට් ආයතනයෙන් 26 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබුවා. එයින් පසු දැවැන්ත කැළඹීමක් ඇති වුණේ පරාක්‍රම සමුද්‍රය නම් වූ අති දැවැන්ත ජලකඳක් තිබෙන වැව් කිහිපයක් එකතු කර හැදූ මහා වාරි ව්‍යාපෘතියේ රළපනාවට හානි කිරීම ඉතා භයානක වැඩක් වූ නිසා.
‘ගොවි සංවිධාන 35ක් තියෙනවා. ඔවුන් ඔක්කොම ගෙන්වනවා. එහෙම නැතිවුණොත් මළකඳන් උඩින් තමයි පටන්ගන්න වෙන්නෙ.’
හිමිවරුන්
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම හැදීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන, මධ්‍යම ආණ්ඩුවේ වැඩක්ලු. නාගරික සංවර්ධන අධිකාරිය වැනි මධ්‍යම ආණ්ඩුවේ ආයතනයකින් කරන මේ ව්‍යාපෘතිය මොන තරම් අමන වැඩක්ද කියා අමුතුවෙන් විස්තතර කරන්න දෙයක් නැහැ. වකුගඩු රෝගයෙන් පීඩා විඳින, ගොවීන් පොහොර අර්බුදය ආදී ප්‍රශ්නවලට මුහුණදෙන, අධ්‍යාපනික සහ සෞඛ්‍ය ආදී ගොඩක් ක්ෂේත්‍රවල සංවර්ධන අවැසි දිස්ත්‍රික්කයට ‘ඇවිදින මංතීරුවක්?’
මෙවැනි ව්‍යාපෘතියක් සංචාරක ව්‍යාපාරයට හොඳ බව යමෙක්ට කියාපාන්න පුළුවන්. ඒත්, හත්දෙයියනේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින්නට සංචාරක හිත පොළඹවන්නට අලුතින් වැව් බැම්මක් ඕනෑද?? මංතීරුවක් නැතිව ඇවිදින්න බෑ කියන එක සමහර මධ්‍යම පාන්තිකයන්ට හැඟෙන දෙයක් වෙන්න ඇති.
ඒත් ගහ දන්න කාටවත් කොළ කඩා පාන්න ඕනෑ නැහැ.
පොළොන්නරුව වැව් බැම්ම දිගේ ඇවිදින්න කැමති ගම්වැසියෙක් වුණත්, විදේශිකයෙක් වුණත් විඳින්න කැමතියි මේ වැව් බැම්මේ තියෙන ස්වාභාවික පිහිටීමට. බේරෙ වැව වගේ කුණු වැවක් නෙවෙයි මේ. පරාක්‍රම සමුද්‍රය. ඉතින් මේකේ මිලියන ගාණක් වියදම් කරමින්, අවදානමක් අරන් රළපනාව කඩා දාලා ඇවිදින මංතීරු හදන්න ඕනෑ නැහැ.
කොළඹ මන්දිරවල ඉඳන් රට හදන විදිය ගැන කයිවාරු ගහන උදවියට මේ ව්‍යාපෘති මාර ඇති. ඒත්, ඔය පොළොවට ගිහින් මිනිස්සු එක්ක ගැවසුණ අයට ඇත්ත තේරෙනවා. ඒ් මිනිසුන්ගේ ජීවන තත්වයේ හැටියට මේ වගේ සාටෝප ව්‍යාපෘති පේන්නේ ඇස්වලට පිහියෙන් අයිනවා වගේ.
පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු කියා තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බව. කිලෝ 1.7ක දුරකින් යුක්ත බව ඔහු කියා තිබුණා. දෙසැම්බර් වෙන්න කලින් මේක අවසන් කරන බවත් කියා තිබුණා.
‘රළපනාව අයින් කිරීමක් නෑ. අයින් කරන්නේ ඉදිකිරීමට විතරයි. ඊට පස්සේ තිබ්බ විදියට හදනවා. ගල් බැම්මක් හදනවා. වැව් බැම්මට ආරක්ෂාව වැඩි වෙනවා. අපි පාවිච්චි කරන්නේ මිනිස් ශ්‍රමය. ලොකු ගල් අයින් කරන්න හැරුණාම මැෂින් පාවිච්චි කරන්නේ නෑ.’ –
වාරිමාර්ග දෙපාර්තතමේන්තුවේ නිලධාරීන්
කෙසේ වෙතත් නිලධාරීන්ගේ ඒ ප්‍රකාශයට පිළිතුරු විදියට හිමිවරුන් විමසුවේ ‘ඡන්දෙදී පොරොන්දු වුණේ පොළොන්නරුවට ඇවිදින මංතීරු හදනවා කියලාද?’
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී ආයතන මෙවැනි ව්‍යාපෘතියකට අවසර දීම ගැනත් විරෝධයට එකතු වූ හිමිවරුන්ගේ විරෝධය පළ වුණා. එක් හිමිනමක් කීවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ වාසියට මෙවැනි ව්‍යාපෘතිවලට අනුමැතිය දුන් බව.
‘වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් නෑ මංතීරුවක් හදන්න. මේ අවශ්‍යතාව කාටද?’ ගොවි සංවිධාන නියෝජිතයෙක් ඇහුවා.
‘අපි සංවර්ධනය කිව්වම වාරිමාර්ග ශක්තිමත් වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙනුත් වෙන්න ඕනෑ. නාගරික සංවර්ධන අධිකාරියෙන් ඇවිත් තියෙන්නේ ඉල්ලීම මංතීරුව හදලා දෙන්න කියලා.’
වාරිමාර්ග නිලධාරීන්
ඒත් නිලධාරීන්ගේ ඉහත කතාවට ප්‍රතිචාර ලෙස හිමිවරුන් ඇහුවේ වාරිමාර්ගවලට හානි වන බව කියමින් ගොවියෙකුට කුඩා පාලමක් හදන්නවත් ඉඩ නොදෙන පසුබිමක මෙවැනි ව්‍යාපෘති කිරීම ගැන.
මිට අමතරව ගොවීන්ට වතුර ලබාගැනීමට ප්‍රශ්නයක් නොවන බවත්, බැම්ම ශක්තිමත් කරන බවත් නිලධාරීන් කියන්නට උත්සාහ කළා. ඔවුන් පෙන්වන්න උත්සාහ කළේ මේ මංතීරුව වැව වෙනුවෙන් කරන බව.
එවිට තවත් නියෝජිතයෙකු ‘ඔබතුමන්ලා බැම්මේ ශක්තිය ගැන කියනවා. පරහගල පැත්තේ වතුර තින්දු වෙනවා. ඒ ගැන බැලුවාද’ කියමින් වාරිමාර්ග නිලධාරීන්ගේ වැවට තිබෙන ආදරය ගැන හරස් ප්‍රශ්න විමසුවා.
අවසානයේ හිමිවරුන් ඉවත් වුණේ දැඩි ලෙස ව්‍යාපෘතියට විරුද්ධ බවත්, එය කිරීමට ඉඩ නොදෙන බවත්, නිලධාරීන් හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙසත් කියමින්. නැවැත්වීමේ එකඟතාව මත පිරිස විසිර ගියා.