ආණ්ඩු ලොක්කන්ගේ මැසිවිලි තිබුණත්! ඇඳිරි නීතිය දීර්ඝ කරන්න තීන්දුවක්

ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් 6 පාන්දර 4 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්වීට් කරලා.

ආණ්ඩුවට හිතවත් බොහෝ අය රට විවෘත කළ යුතු බව කීවා. ආර්ථිකය පවත්වාගෙන යෑමට එහි වැදගත්කම කීවා. කොටින්ම කීවොත් එස්.බී. දිසානායක මිලියන ගණනක් මැරුණු මේ වසංගතය ඒ තරම් දරුණු නැති බව කීවා. (ඔහු එය කීවේ මුහුණේ ෆේස් මාස්ක් එකකුත් දමාගෙන. ඒ එස්.බී. දිසානායකම මන්ත්‍රීවරුන්ට එන්නත දුන් විගස එය ලබාගෙන ආඩම්බරකාර කතාවකුත් කියා තිබුණා.)

දිගින් දිගටම රට වසා දමා තැබීම ප්‍රායෝගික තත්වයක් නොවන බව 27 වැනිදා උදේ අරලියගහ මන්දිරයේ තිබුණ සාකච්ඡාවකදී අගමැති මහින්ද රාජපක්ෂ කියා තිබුණා.

රට වසාදමන ලෙස ඉල්ලීම් කරන අය අතර ‘සාහසික පාපිෂ්ඨ බලවේග සිටින’ බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා තිබුණේ ලංකාදීප පුවත්පත එක්ක. 30 වැනිදායින් පස්සේ රට වහන එකක් නැති බව ලංකාදීපය එක්ක කතා කරද්දී ඔහු ඉඟි කරලා තිබුණා. හදවතින් එකඟ නොවුණත් විවිධ පුද්ගලයන්ගේ අදහස්වලට ඇහුම්කන් දී ඒ ඉල්ලීම් ඉටු කරන්න සිද්ධවෙන බව තමයි ඔහු එතැනදී කියා තිබුණේ.

අඩු ආර්ථිකයක් තියෙන රටක් වහලා ඉදිරියට ගෙනියන්න බැරි බව ඔහු කියා තිබුණේ ‘සෞඛ්‍ය භාර ඇමතිවරයා විදියට’ රටේ සෞඛ්‍ය ගැන කම්පනය වෙනවාටත් වඩා ආර්ථිකය ගැන කම්පා වෙන බව පෙන්වමින්.

මීට අමතරව කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද රට වැසීම නුසුදුසු බව හැඟෙන අදහස් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් 27 වැනිදා උදේ තිබුණ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී වෙනස් තීන්දුවක් අරන්.