කැළේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව දන්න අපේ සමාජය, ජාතික තරුණ සේවා සභාවෙන් ඉවත් වුණත් ඉරාජ් වීරරත්න මේ ආණ්ඩුව වෙනුවෙන් කරන දේවල් නවත්වන්නේ නැති බව පැහැදිලියි. ෆේස්බුක් පිටුව ඩවුන් කළ විගස අපට වුණත් හැඟුණේ ඉරාජ් කුමන හෝ දෙයකට ලෑස්ති වෙන බව.
ඉරාජ් වීරරත්න කියන්නේ යූටියුබ් සහ අන්තර්ජාල අවකාශයේ ‘පීක් අවර්ස්’ ආදිය හොඳින් දන්න කෙනෙක්. වැඩිපුර ප්‍රේක්ෂකයන් ගැවසෙන කාලය හොඳට දන්න කෙනෙක්. ඒ නිසාම සතියේ මුල ෆේස්බුක් ඩිලීට් කළ ඔහු, බ්‍රහස්පතින්දා වෙද්දී ෆේස්බුක් පිටුව යළි අප් කළා. ගොඩක් ප්‍රවෘත්ති අඩවිවලට සහ සමාජ මාධ්‍යවල සිටින අයට ඒක ප්‍රවෘත්තියක් බවට පත් වුණා.
අගෝස්තු 27 සිකුරාදා වෙද්දී නයි එෆ්එම් නම් ‘ඉරාජ්ලාගේ කැම්පේන්වලට තකට තක’ වූ යූටියුබ් නාළිකාවට ඔහු සාකච්ඡාවක් ලබා දී තිබුණා. සිකුරාදා හැන්දෑව කියන්නේ යූටියුබ් අඩවියේ ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් එකතු වෙන කාලසීමාවක්. ඒ නිසා ‘වයිරල්’ යවන්න වීඩියෝ දාන්න ඕනෑ හොඳම වෙලාව විදියට ගොඩක් අය සලකන්නේ ඒ වෙලාව.
ඔය විදියට ඉරාජ් දුන්න සාකච්ඡාවෙන් අපට දකින්න ලැබුණේ මොනවද?
පිටුව ඩිලීට් කිරීම
සමාජ මාධ්‍යවල පිටු ඉවත් කිරීම ‘පොඩි ආතල් එකක් ගැනීමක්’ බව ඔහු කීවා. තමන්ගේ ෆේස්බුක් පිටුවේ ‘කුණුහරුප’ ගොඩක් වැටෙන බවත්, ඒවා සංවිධානාත්මකව ජවිපෙ කණ්ඩායම් කරන ඒවා බවත් ඔහු කියා තිබුණා.
ඇත්තටම මේ පිටුව වසා දැමීමෙන් පසු ඔහු සියලු පෝස්ට් ඩිලීට් කර තිබුණා. මේවා ඩිලීට් කරන්නට එක හේතුවක් බව ඇත්තටම පෙනෙන්නේ ජනාධිපතිවරණයට කලින් ඔහු දැම්ම පෝස්ට් ආදියට වැටෙන උපහාසාත්මක කමෙන්ට් වැළැක්වීම. පිටුව වසා දමා, පෝස්ට් සියල්ල ඩිලීට් කරවා, නැවත අලුත් පිටුවක් මෙන් පබ්ලිෂ් කිරීම සිද්ධ වී තිබුණා.
ඒ හැරුණාම ඉරාජ් වීරරත්න හොඳින්ම දන්නවා ෆේස්බුක් පිටුව වසා දැමූ ගමන් ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඉරාජ් ට්‍රෙන්ඩින් වන බව. ඉන්පස්සේ ඉරාජ් අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවල සහ වෙනත් වේදිකාවල ලබා දෙන සම්මුඛ සාකච්ඡා ලක්ෂ ගණනක් අහන බවත් ඔහු දන්නවා.
ඉතින්, ඉරාජ් ඊට පස්සේ කිව්වේ මොකක්ද? ඔහුගේ යටතේ සිද්ධවෙන අලුත් කැම්පේන් එක මොකක්ද? අපට ඇත්තටම ඔහුගේ කතා මැද්දෙන් ඔහුගේ අලුත් රැල්ල කියන්න මාරු වුණා.
ජේවීපී විරෝධය
මේ සම්මුඛ සාකච්ඡාවේදීත් පෙනුණේ ප්‍රධාන විපක්ෂයටත් වඩා ජේවීපීයට විරුද්ධව තමන්ගේ ‘රසිකයන්’ පෙළගැස්වීම ඉරාජ්ගේ ලොකුම අරමුණක් බව. බොරු කියන, කුණුහරුප කියන, ඉතා නරක පිරිසක් විදියට ජේවීපීය ගැන ඔහු කියා තිබුණා.
ඇත්තටම මෙතැන ජේවීපී කියන එකෙන් ඔහු සහ ඔහුගේ කඳවුර අර්ථවත් කරන්නේ පැලවත්තේ ඔෆිස් එක තියෙන ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය නෙවෙයි. නැත්නම් ජාතික ජන බලවේගය කියන ජේවීපි බලවේගය නෙවෙයි. එතැනින් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, අයිතිවාසිකම් වගේම මේ දේශපාලුවන්ගේ ගේම්වලට විරුද්ධව අදහස් දක්වන ලොකු පිරිසකට ජේවීපී කියන අකුරු තුනේ ලේබලය ඇලවෙනවා. අපටත් එක්ක.
ඔහු මූලික වශයෙන් වසන්ත සමරසිංහලාගේ චෝදනාවලට උත්තර සපයා තිබුණා. ඔහු කියා තිබුණේ වසන්ත සමරසිංහ මහතාගේ අංකය යොදමින් සමාජ මාධ්‍ය දැන්වීමක් තමන් හැදුවේ නැති බව.
අපේ රටේ මිනිසුන් තවත් කෙනෙකුට වැරදුණු පසු ‘මාර සතුටක් ලබන’ බව ඉරාජ් වීරරත්න සම්මුඛ සාකච්ඡාවේදී කියා තිබුණා.
ඊට කලින් වසන්ත සමරසිංහ මහතාගේ අංකය යොදා ‘ඇන්ටිජන්’ ඇතැයි පළ වූ දැන්වීමක් ගැන කියද්දී ඔහුගේ මුහුණේ පුදුමාකාර උපහාසාත්මක ප්‍රීතියක් සනිටුහන් වී තිබුණා. ඒ දැන්වීම පළ කළේ තමන් නොවන බව කියද්දී ‘එලෙස දැන්වීම් පළ කිරීම නරක වැඩක්’ බව ඔහු ප්‍රකාශ කළා. බැලූ බැල්මට ඒ දැන්වීම් පළ කළ අයව හෙළා දැකීමක්. එහෙත් මේ වසංගත සමයේ නොවුණානම් එය ‘ආතල් වැඩක්’ විදියට ඔහු ඒ මොහොතේම කීවා.
කොහොමත් අපේ රටේ මිනිසුන අනුන්ට වැරදුණු පසු ලබන සන්තෝසය ඉරාජ්ගේ ෆේස්බුක් පිටු, නොයිස් ටීවී ආදී තැන් සහ ඉරාජ්ගේම ගීතවලින් දකින්න පුළුවන්.
වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ අසීරු තැනක් අල්ලා මුදල් උපයන්නට සිංදුවක් හැදුවේ ඔහුගේ අනුදැක්ම එක්ක. අද විපක්ෂයේ ඉන්න විවිධ පුද්ගලයන්ගේ ජීවිතයේ පුංචි කෑලි අල්ලා වීඩියෝ හදමින් අපහාස කළේ ඔහු. මිනිසුන්ගේ ලිංගික ජීවිතවල තියෙන සමාජය ‘අඩුපාඩු’ කියා හිතන දේවල් හයිලයිට් කරමින් කැම්පේන් කළේ ඔහු.
ඉතින් ඔහු කෙනෙක්ට වැරදුණාම මාර සතුටක් ලබන සමාජය ගැන විවේචනාත්මක විම උත්ප්‍රාසජනකයි.
ඇත්තම අරමුණ
කොහොම වුණත් ෆේස්බුක් එකෙන් සැඟවුණු ඉරාජ් යළි මතු වෙන්නට හේතු වූ හැබෑ අරමුණ විනිවිද දකින එක වටිනවා.
ඔහු මෙහෙම කියා තිබුණා.
‘2018, 2019 තිබ්බ විදියට ගියා නම් ලොකු ප්‍රශ්නයක්. අපට වෙනසක් ඕනෑ වුණා. ඒ වෙනස වෙනුවෙන් අපි පෙනී සිටියා. ඉතින්, එහෙම කියලා දැන් මේ ආණ්ඩුව පිස්සු කෙළිනකොට අපට වග කියන්න බෑ. මම ආටිස්ට් කෙනෙක්, මියුසික් කරන කෙනෙක්. මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ නෑ.
මට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා ඉදිරියේ වෙනසක් කරයි කියලා. හැබැයි ආණ්ඩුවේ, ජනතාව පත් කරපු අය කරන පිස්සු ගැන මට කතා කරන්න දෙයක් නැහැ. අපි බලමු ඉස්සරහට.’
මෙතැනින්ම කතාව පැහැදිලියි. ඉරාජ්ට ඕනෑ තමන් මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන පිතිකරණ රටාව සම්පූර්ණයෙන් මාරු කරන්න.
ක්‍රිකට්වලින් වෙනුවට ඉරාජ්ගේ සංගීත ක්ෂේත්‍රයෙන්ම කතාව කීවොත් ඔහුට ඕනෑ ආණ්ඩුවට කඩේ යන්නට අලුත්ම ඇල්බමයක් වාදනය කරන්නයි. අලුත් මෙලඩියක්, අලුත් ටෙම්පෝ එකක් එක්ක අලුත් ක්‍රමේකට මේ ආණ්ඩුව වෙනුවෙන් මතවාදයක් සමාජයට ගෙනියන්නයි.
සරල බසින් කීවොත් තැටිය මාරු කරන්නයි.
මතක තියාගන්න. ඉරාජ් කියලා කීවාට අපි ඉරාජ් කියන එකෙන් අදහස් කරන්නේ තනි පුද්ගලයෙක් ගැන නෙවෙයි. ඒ වෙනුවට ඔහු නියෝජනය කරනවා පෙරමුණක්. ඔහුම මීට පෙර කියා තියෙනවා සමහරු ඉරාජ්ගේ කියා නොදන්න යූටියුබ් නාළිකා පවා ඉරාජ්ට අයිති බව. ඒ අනුව වෙබ් අඩවි, යූටියුබ් චැනල්, ෆේස්බුක් පිටු සහ සැලකිය යුතු සෙනඟක් ඉරාජ් කියන එකෙන් නිරූපණය වෙනවා. ඒ නිසා ඉරාජ් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. පෙරමුණක්.
ඉරාජ් පෙරමුණ.
‘වැඩකරන විරුවා’ ආ පසු රට දියුණු වනු ඇතැයි කී ඉරාජ් වීරරත්න පෙරමුණ දැන් ඒ තැටිය මාරු කර ඇති බව පෙනෙනවා.
ජනප්‍රිය නැති ආණ්ඩුවකට කඩේ යන ඕනෑ කෙනෙක් (අන්තිම කාලේ යහපාලන ආණ්ඩුවට කඩේ ගිය අය පවා) වාදනය කළ තැටිය ඔහු වාදනය කරන්න පටන් අරන්.
‘ක්‍රමය දූෂිතයි, එකපාර වෙනස් කරන්න බෑ, අනෙක් පැත්තේ අය ආවා නම් මීට වඩා නරකයි.’ වගේ කතා ඔහු කියන්න අරන්.
‘මේ රට හදන්න, මං දන්නෑ ජෙනරේෂන් කීයක් යයිද කියලා.’ ඔහු කියා තිබුණා.
ඒ හැරුණාම අප්‍රසන්න ආණ්ඩු රැකීම නම් වූ සංගීත ඇල්බමයේ වැදගත්ම ගීය තමයි විපක්ෂයේ සිටින උදවිය බලයට ආවොත් නරක බව.
‘කොවිඩ් ප්‍රශ්නයක් තියෙන හින්දනෙ මේ ප්‍රශ්නෙ තියෙන්නේ. මට තවම විශ්වාසයක් තියෙනවා එයා මේ රටේ වෙනසක් ඇති කරයි කියලා. ඔයා බොක්කෙන් කියන්න එයා නැති වුණත් කවුද එන්න ඉන්නේ කියලා. එහා පැත්තේ විපක්ෂයේ එකෙක් ආවොත් මීට වඩා විනාසයක් වෙන්නේ. ජේවීපී එක ආවොත් මීට වඩා විනාසයක් වෙන්නේ. මේ වෙලාවේ අපට ඉන්න හොඳම ඔප්ෂන් එක මෙයා. මෙයාගෙන් වැඩක් කරගන්න ඕනෑ.
පිස්සු කෙළිනවා. යට නිලධාරීන් පිස්සු කෙළිනවා. ඕගනයිස් නෑ.’
මර්දනය ඉල්ලීම
ඒ වගේම මේ ආණ්ඩුවට ‘වැරදුණු තැන’ අර්ථකතනය කරලා දීමත් ඉරාජ් අයියා ලස්සනට කරලා තිබුණා. මතක තියාගන්න. ඉරාජ්ට භක්තිමත් ලොකු තරුණ ප්‍රජාවක් ලංකාවේ ඉන්නවා. ඒ තරුණ ප්‍රජාව අපේ දුර්වල අධ්‍යාපන සිස්ටම් එකෙන් හැදුණ, ස්වාධීන දැක්මක් නැති අය.
දැන් තියෙන තත්වය විනිවිද දකින්න හෝ තේරුම් ගන්න ගොඩක් අයට බෑ. කොතැනද ආණ්ඩුවට වැරදුණේ, මොකක්ද දැන් වෙන්න ඕනෑ කියලා ඒ මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා.
ඒ නිසයි ඉරාජ් වීරරත්න කියපු භයානකම වාක්‍යය ඉතා සීරියස් ගන්න ඕනෑ.
‘ජනාධිපතිතුමා තද නීති දාන්න ඕනෑ. තව පොඩ්ඩක් සැර වෙන්න ඕනෑ.’ ඔහු කියා තිබුණා.
ජාතිවාදය යළි ඉස්සීම
ඒ හැරුණාම ඉරාජ්ලාට අල්ලන්න පුළුවන් අනෙක් කොටස තමයි ජාතිවාදය. මුස්ලිම් විරෝධය. ඒක තමයි එදා ඉරාජ් පෙරමුණ
ඒ හැරුණාම කූරගල සිදුවීම වගේ සිහිපත් කරමින් ජාතිවාදී වෛරයක් මත අදහස් දැක්වූ උදවිය ‘මේ ආණ්ඩුව වෙනුවෙන් ෆෝම් කිරීමට’ ඔහු උත්සාහ කර තිබුණා.
පහරදීම ප්‍රතික්ෂේප කරයි
යෝෂිත ඉරාජ්ට පහරදුන් බවට පුවතක් පළ වූ මොහොතේම අපි ඒක ඒ හැටියෙන් විශ්වාස කළේ නැහැ. සමහරවිට ඒ ප්‍රවෘත්තිය ඉරාජ්ලාගේ තරහකාරයන් නෙවෙයි, එයාලාට සපෝට් කරපු අයම ප්ලාන්ට් කරපු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්.
මොකද, ඉරාජ් නිකම්ම පිටුවක් ඩිලීට් කළා කියන ප්‍රවෘත්තිය රසවත් කෑමක් නම්, ඒකට උඩින් දාන හොඳම රසකාරකය තමයි ඔය ගොසිප් ප්‍රවෘත්තිය. දවස් දෙකක් ඔය නෙගටිව් කැම්පේන් එක ගියාට පස්සේ ඉරාජ් මේ ඉන්ටවිව් එකේදී කියපු කතාව කියන්න පුළුවන්.
‘පිස්සුද මල්ලි, එහෙම.. එහෙම ඇයි මල්ලි. ඒ ළමයි බැඳලා ගෙවල්වල ඉන්නවා, ගහ මරාගන්න යන්නේ නෑ කාත් එක්කවත්. මම නාමල් එක්කත් කතා කළා. තරුණ සේවා සභාවෙන් අයින් වුණාට ඉදිරියේදී වැඩ ටිකක් කරමු, මං උදව් කරන්නම්.’
ඔය විදියට ගැහුවා කියන එක සම්පූර්ණ බොරු කතාවක් බව ඉරාජ් වීරරත්න කියා තිබෙනවා. හරියටම කීවොත් මේක සීයට 3 කණ්ඩායම සමාජගත කළ බොරුවක් බව ඔහු කියා තිබුණා.
අන්තිමේ අපි කල්පනා කරලා බලන්න ඕනෑ මේ ඉරාජ් පෙරමුණ හදන මතවාද පිළිගන්නට ලෑස්තියෙන් පිරිසක් ඉන්නවාද කියන එක. මොකද, ජවිපාවුන් කියල ඉරාජ්ම හදපු සිංදුවේ අන්තිමට ලස්සන ක්ලිප් එකක් තිබුණා. ඒක යළි මතක් කරන්නං.
ස’ගෙ පාලනය ආවාට පස්සේ ජේවීපීය මර්දනය කරලා. ඉතිරිවෙච්ච පිරිසක් ‘වානරයො’ වගේ කොණ්ඩය වැවිලා කූඩුවක හිර කරලා.
මේ විදියට සත්තු වගේ කූඩුවල හිර කරලා, හරියට අඳින්නවත් නැතිව ඉන්න මේ සත්තුන්ව පොඩි දරුවන්ට පෙන්වනවා. වඳ වී යන පිරිසක් විදියට. සංකේතාත්මකව නිකං ජේවීපී ඇතුළු ලංකාවේ විකල්ප දේශපාලනයක් ගැන කතා කරන උංව මර්දනය කරලා, අනාගත දරුවන්ට තොපි නැගිට්ටොත් තොපිටත් මේක තමයි වෙන්නේ කියලා පෙන්නනවා වගේ.
ඒත් ඇත්තටම වුණේ මොකක්ද. ලොකු බලයක් එක්ක පාලනයක් ආවාට, දැඩි අදහස් මර්දනයක් කළාට මිනිසුන් දිගින් දිගටම නැගිටිනවා. කතා කරනවා. එන්න එන්නම වඳ වෙන්නේ ඉරාජ් පෙරමුණ. ඒ නිසා දැන් ප්‍රශ්නය තමයි මේ අලුත් කැම්පේන්වලට අහුවෙන කීදෙනෙක් ඉඳීවිද කියන එක.
ඒත් එයාලා බයවෙන්න ඕනෑ නැහැ. එයාලා වඳ වුණාම කවුරුත් කූඩුවල දාලා දරුවන්ට පෙන්වන්නේ නැහැ.