හලාවත එන්නත් අවුලට මිඩ්වයිෆ් සංගමයෙන් පරීක්ෂණයක් ඉල්ලයි! ඇඳන් හිටියේ මිඩ්වයිෆ් නිල ඇඳුමත් නෙවෙයිලු!

හලාවත කොක්කවිල පාසලේ තිබුණ එන්නත්කරණ මධයස්ථානයකදී අවුරුදු 18ට අඩු දරුවන් කිහිපදෙනෙකුට සහ පිට පළාත්වලින් ආ පිරිසකට පෝළිම් පැනලා ෆයිසර් එන්නත ලබාදුන්නා කියලා අද දෙරණ වාර්තා කරලා තිබුණු කතාවට පුළුල් පරීක්ෂණයක් ඉල්ලමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශයක් කරලා තියෙනවා.

“හලාවත ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක සිදුවු අක්‍රමිකතාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න. පුළුල් පරීක්ෂණයක් සිදුකරලා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එහි වැරදිකරුවෙකු වෙනවානම් දෙපාර්තමේන්තු නියෝග ක්‍රියාත්මක කරන්න කියන කාරණය මම මේ අවස්ථාවේ දී ප්‍රකාශකරනවා.

ඇත්ත වශයෙන්ම මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ නියමිත නිලඇඳුම නොවේ ඔය සැරසී සිටින්නේ. අපට එයත් ප්‍රශ්නයක් මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්මද කියලා. ඒ නිසා මේ පිළබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන්න.“ 

දේවිකා කොඩිතුවක්කු

මේ විදියට එන්නත් ලබා දෙන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් සහ වෛද්‍යවරයෙක් සම්බන්ධයි කියලා අද දෙරණ පුවත් විකාශයේදී වාර්තා කරලා තිබුණා. ඒ අනුව ඒ චෝදනා ලැබූ දෙන්නා පුත්තලම මූලික රෝහලට මාරු කරලා යැව්ව බවත් පසුව වාර්තා කරලා තිබුණා.

මේ ගැන ප්‍රවෘත්ති වාර්තාවේදී ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණ ආකාරයේ හැසිරීම හා සම්බන් වූ මාධ්‍යවේදියා කැමරාවත් රැගෙන කටයුතු කරන ආකාරය ආචාරධාර්මිකද කියන එක අතුරු ප්‍රශ්නයක්. කෙසේ වෙතත් මෙලෙස කැමරාවලට හසු නොවී එන්නත්කරණ අක්‍රමිකතා තව තිබෙනවාද යන පැනය පුරවැසියන්ට මතු වෙනවා ඇති.

එමෙන්ම හොරෙන් එන්නත් ලබාගත් කෙනෙක් එය සාධාරණීකරණය කරන්නට ‘අපි සිංහල’ යන ජාතිය මුල් කරගත් ප්‍රකාශයක් කිරීමත් විශේෂයි. එතකොට ඔය ක්‍රමේට එන්නත් ලබාගැනීම වැරදි වෙන්නේ දෙමළ, මුස්ලිම් හෝ වෙන ජාතියකට අයිති වුණා නම් විතරද?