විසිල් මැද කතාවක් කියන Bigil



ජනප්‍රිය සිංහල චිත්‍රපටියකටවත් හොලිවුඩ් හෝ බොලිවුඩ් සිනමාවේ දැවැන්තම චිත්‍රපටියකටවත් පිරෙන්නේ නැති තරම් සෙනඟක් විජේ, අජිත්, රැජිණිකාන්ත් යන දෙමළ සිනමාවේ දැවැන්තම නළුවන් තිදෙනාගෙන් කෙනෙකුගේ චිත්‍රපටියක් එද්දී කොළඹ සිනමාහල්වලට පිරෙනවා. ඇත්තෙන්ම කොළඹ සිනමාහල් පවා වැඩි ආදායමක් සොයාගන්නේ එවැනි චිත්‍රපටියක් තිරගත වෙද්දී විය යුතුයි.


ජනප්‍රිය චිත්‍රපටියක් නරඹද්දී සිනමාව ගැන අප දන්නා ඇතැම් දේ පසෙකින් තබා සිනමාහලට යා යන්නට සිද්ධවෙනවා. මේ කාරණය ඉන්දීය මසාලා චිත්‍රපටිවලට මෙන්ම හොලිවුඩයේ ජනප්‍රිය සටන් නළුවන් සිටින ඇතැම් චිත්‍රපටිවලටත් අදාලයි. ඇතැම් චිත්‍රපටි තියෙන්නේ හුදු විනෝදය වෙනුවෙන් පමණයි. ඒවා නැරඹීම, රසවිඳීම මෙන්ම කියැවීමත් අනෙකුත් සිනමාකෘති කියැවීමට වඩා වෙනස්. ඇතැම් රසිකයෙකු කිසිසේත්ම ජනප්‍රිය චිත්‍රපටිවලට කැමති නැත්තේ, ඒවා සිනමා දෘෂ්ඨිකෝණයෙන් කියවාගන්න උත්සාහ කරන නිසායි.


එහෙත් යම් රසිකයෙකු විජේ කුමාරතුංගගේ හෝ ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටියක් නරඹන්නට ගියේ තමන් ආදරය කරන සිනමා වීරයාව සමරන්නට මිසක්, සිනමාකෘති රසවිඳින්නට නොවෙයි. සිනමාහල ඇතුලේදී විසිල් ගසා, අත්පුඩියක් ගසා තමන් ආදරය කරන සිනමා තරුව ගීත ගයන අයුරු, නටන අයුරු, සටන් කරන අයුරු, පෙම්කරන අයුරු රසවිඳිනවා මිසක් කලාවෙහි අරුත් එවැනි චිත්‍රපටියකින් සොයා පලක් නැහැ.


බිගිල් චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වන්නේ අතිශය තරුණ අධ්‍යක්ෂවරයෙකු වන ඇට්ලී කුමාර්. ඔහුගේ කතාව මේ චිත්‍රපටියට අදාලව විශේෂයි. දෙමළ සිනමාවේ ජනප්‍රියම අධ්‍යක්ෂවරයෙකු වන ශංකර්ගේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂණය කළ පළවැනි චිත්‍රපටිය වන්නේ රාජා රාණි. එය ලංකාවේ පවා තරුණයන් අතර අතිශය ජනප්‍රිය වූ ප්‍රේම කතාවක් රැගත් චිත්‍රපටියක් වුණා. ඒ චිත්‍රපටියට සුන්දර කතාවක් තිබුණා.


එහෙත් ඉන්පසුව ඔහු එකදිගට චිත්‍රපටි දෙක වන තෙරි සහ මෙර්සල් යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ විජේ වෙනුවෙන්. විජේ වෙනුවෙන් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරද්දී අධ්‍යක්ෂවරයෙක්ට තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකැමැත්ත මඳක් පසෙකට කර, විජේ රසිකයන් කැමති දේවල් ගැනත් කල්පනා කරන්න වෙනවා. අප කලින් කී කරුණු කාරණා ගැන හිතන්නට සිද්ධවෙනවා. තෙරි සහ මෙර්සල් චිත්‍රපටි දෙකම ඒ අතින් අතිසාර්ථකයි. විජේ රඟපෑ මෑත කාලයේ සාර්ථකම චිත්‍රපටි ඒවා. එහෙත් ඇට්ලී නම් දීප්තිමත් තරුණ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් හොද කතාවක් රැගත් චිත්‍රපටියක් කරන්නට තිබුණු තරුණයෙක් නේදැයි විස්සෝපයක් හිත තුළ නැගුණා.


ඇත්තටම තෙරි සහ මෙර්සල් අවසාන වෙද්දී විජේ දෙමළ ජනප්‍රිය සංස්කෘතියේ දැවැන්තම චරිතය හෙවත් තලෙයිවර් ලෙස සම්පූර්ණයෙන්ම ස්ථාවර වූ බව කිව හැකියි. වසර දහයකට පෙර විජේව ‘ඉලය තලපති‘ හෙවත් තාරුණ්‍යයේ නායකයා වැනි අන්වර්ථ නාමයකින් හැඳින්වුවා. ‘තලෙයිවර්‘ යන යෙදුම පාවිච්චි කළේ රැජිණි වෙනුවෙන්. රැජිණි අදත් ජනප්‍රිය බව ඇත්ත. එහෙත් දැන් ඊළඟ පරම්පරාවේ කාලය ඇවිත්. දෙමළ සිනමාවේ අනෙක් තරුව වූ අජිත්වද ( ඔහුව හඳුන්වන්නේ සෙන්පතියා යන අරුත යෙදෙන තල යන අන්වර්ථ නාමයෙන්. ) අමතක කරන්න බැහැ. එහෙත් 2019 වෙද්දී විජේ දෙමළ ජනප්‍රිය සංස්කෘතියේ ‘තලෙයිවර්‘ ( නායකයා ) ලෙස සැලකීමෙහි වරදක් නැහැ.


ඇට්ලී හා විජේ එක්ව නිර්මාණය කළ තෙවැනි චිත්‍රපටිය වන බිගිල් චිත්‍රපටිය කලින් චිත්‍රපටි දෙකට වඩා වෙනස්. එය ඇට්ලීගේ පැත්තෙන් මෙන්ම විජේගේ පැත්තෙන්ද රසවිඳින්නට පුළුවන් චිත්‍රපටියක්. බිගිල් චිත්‍රපටියටත් සංගීතය සැපයුවේ ඒ.ආර්. රෙහ්මාන්. පැය තුනක් දිග චිත්‍රපටිය පුරාම තියෙන්නේ ගීත තුනක් පමණයි. ඒ ගීත තුන විශිෂ්ඨයි. විජේ හැරුණාම ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ මේ වෙද්දී තනිව ප්‍රධාන චරිතය රඟපාමින්, සිනමාවේ දැවැන්තම පෞරුෂයක් බවට පත්ව සිටින ‘ලේඩි සුපර්ස්ටාර්‘ ලෙස හඳුන්වන නයන්තාරා.


චිත්‍රපටියේ පළවැනි හතරෙන් එකක කොටස සම්පූර්ණයෙන්ම තිබුණේ විජේ රසිකයන්ව පිනවීම වෙනුවෙන්. කොටින්ම කීවොත් විසිල් හඬ වෙනුවෙන්. වචනයේ අර්ථයෙන්ම රතිඤ්ඤා පුපුරවමින් විජේ මුලින්ම තිරයට එනවා. බොළඳ හැසිරීම් හා බොළඳ විහිළු අප වැනි රසිකයන් විජේගෙන් බලාපොරොත්තු වෙනවා. විජේගේ එවැනි හාස්‍යමය රංගනයන් බලා ඉන්නට අපූරුයි.


දෙවැනි අර්ධයේදී අධ්‍යක්ෂ ඇට්ලී සුක්කානම අතට ගන්නවා. පළවැනි අර්ධයේදී පටන්ගත් විසිල් හඬ එලෙසම තියෙන්නට ඉඩ හරිමින් දෙවැනි අර්ධය වෙද්දී ඇට්ලී තමන්ගේ කතාව කියන්නට පටන්ගන්නවා. දෙවැනි අර්ධයේදීත් විසිල් හඬට ඉඩ තියෙනවා. එහෙත් වැඩි අවධානය කතාවට යොමුවෙනවා.


තමිල්නාඩුවේ කාන්තා පාපන්දු කණ්ඩායම බිගිල් නම් පුහුණුකරුවාගේ මැදිහත්වීමෙන් ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේ අවසානය දක්වා ගෙනයෑමයි කතාවේ තේමාව වන්නේ. ඔහු චිත්‍රපටියේ සිටින හැම චරිතයකටම වැදගත්කමක් දෙනවා. නයන්තාරාගේ චරිතය දෙවැනි අර්ධයේදී එන්නේ විජේ රඟපාන බිගිල් නම් චරිතය වන්දනා කරන්නට නෙවෙයි. ඔහුගේ හපන්කම් ගැන පුදුම වෙන්නට නොවෙයි. ඇය භෞත චිතික්සවරියක් ලෙස පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන්ට අවශ්‍ය වෙනවා.


කණ්ඩායමේ සාමාජිකාවන් කිහිපදෙනෙක්ටම විවාහ වීමෙන් පසුව ක්‍රීඩාවෙන් ඉවත් කළ තරුණියක්, ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ තරුණියක් ආදී කණ්ඩායමේ සාමාජිකාවන්ගේ පසුබිම් කතා කිහිපයක්ම තියෙනවා. චිත්‍රපටියේ තිබෙන මසුරන් වටින දර්ශන දෙක වන්නේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තරුණියට නැවත ක්‍රීඩාවට එන්නැයි ඉල්ලමින් විජේ කතාකරන දෙබස් කිහිපයත් විවාහ වූ තරුණියගේ සැමියාට නයන්තාරා කතාකරන දර්ශනයත්.


දෙමළ සංස්කෘතියේ දැවැන්තම චරිතය හෙවත් තලෙයිවර් ඉතාම හැඟීම්බර ලෙස එවැනි තරුණියන්ට ‘එළියට වරෙල්ලා‘ යැයි පැවසීම චිත්‍රපටියෙන් එහා ලෝකයටත් විශේෂයි.


අනෙක් පැත්තෙන් දෙමළ සංස්කෘතියේ දැවැන්තම කාන්තා චරිතය වන්නේ නයන්තාරා. ‘කාන්තාවන්ටත් හීන තියෙනවා.‘ විවාහක තරුණියව නැවත පාපන්දු කණ්ඩායමට එකතු කරගනු පිණිස තරුණියගේ සැමියාට ඇය කියනවා.
සිනමාව පැත්තට ඉහළ බරක් තබන ප්‍රවීණ විචාරක භාරද්වාජ් රංගන් පවා චිත්‍රපටිය අගය කරන්නට ප්‍රධාන හේතුව වී තිබුණේ චිත්‍රපටියේ අවසාන දර්ශනයේදී විජේ රඟපාන ප්‍රධාන චරිතය දෙවැනි පෙළ අසුනක් ගැනීම නිසායි. සාමාන්‍යයෙන් විජේ වැනි නළුවන් රඟපාන මෙවැනි චිත්‍රපටි අවසාන වෙන්නේ වීරයාගේ වීරක්‍රියාවකින්. එහෙත් ඒ වෙනුවට පාපන්දු ක්‍රීඩිකාවන්ගේ වීරක්‍රියාවකින් චිත්‍රපටිය අවසාන වීම විශේෂයි.


මේ වෙද්දී දෙමළ සිනමාවේ දැවැන්තම නළුවන් පවා තමන්ට ඉහළින් චිත්‍රපටියේ කතාවට ඉස්මතු වෙන්නට ඉඩ දෙන අයුරු පෙනෙන්නට තියෙනවා. එමෙන්ම දෙමළ සිනමාවම කාන්තාවට දෙවැනි තැන නොදී කාන්තාවන්ව ඉස්මතු කරන අයුරුත් පෙනෙන්නට තියෙනවා. අජිත් කුමාර් රඟපෑ නේර්කොන්ඩ පාර්වෙයි චිත්‍රපටිය කාන්තාව ගැන තේමාවක් රැගත් එකක්. ඒ චිත්‍රපටියේදීත් අජිත් දෙවැනි පෙළ අසුනට පැමිණ, චිත්‍රපටියේ තීන්දු ගැනීමේ ක්‍රියාව අධිකරණ විනිසුරුවරයෙක්ට බාර කරනවා. අජිත් රඟපාන චරිතය අධිකරණයේදී තර්ක කරනවා පමණයි. එය දෙමළ සිනමාවේ නව රැල්ලේ බලපෑමක් බව විශ්වාස කළ හැකියි. ජනප්‍රියම නළුවන් මෙලෙස පසුපස අසුන්වලට යෑම ගැන වෙනම කතාකරන්නට වටිනවා.