ලංකාවේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදියාටත් විස්තර අහලා සැකසහිත කෝල් ඇවිත්! පොලිස්පතිට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සිටින හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදියා ලෙස පිළිගැනීමක් ඇති, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අදාලව මෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිව වැඩිම හෙළිදරව් ගණනාවක් කළ මාධ්‍යවේදියා වන අනිද්දා නියෝජ්‍ය කතෘ ලසන්ත රුහුණගේටද හැඳුනුම්පත් අංකය සහ සම්පූර්ණ නම විමසමින් සැකසහිත දූරකථන ඇමතුමක් ලැබී ඇති බව හෙළිවෙලා.

මෙම කරුණු නිසා මාධ්‍යවේදීන් අමතමින් තොරතුරු එකතු කිරීමේ රහසිගත ක්‍රියාවලියක යම් පාර්ශ්වයක් යෙදෙනවාදැයි ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන විමසිලිමත් වෙනවා.

ලසන්තට ලැබුණ ඇමතුම අගෝස්තු 14 වැනිදා දහවල් දී තිබුණු එකක්. අගෝස්තු 16 වැනිදා එයට අදාලව පැමිණිල්ලක් පොලිස්පතිවරයාට කර තිබුණා. එහෙත් ඒ ඇමතුම ලද මොහොතේ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ සැක කර තිබුණේ එය ලොතරැයිි ඇදුණු බව පවසමින් මුදල් ගසාකන ජාවාරම්කාරයන් පිරිසක් දුන් ඇමතුමක් බව.

අප මීට පෙර වාර්තා කළ, අප කණ්ඩායමේ දැන් කටයුතු කරන තරිඳු උඩුවරගෙදරට ලබාදුන් ඇමතුමේදී මෙන්ම ලසන්තට ලබාදුන් ඇමතුමේදීත් හැඳුනුම්පත් අංකය සහ සම්පූර්ණ නම විමසා ඇත්තේ කාන්තාවක්. එම ඇමතුමෙන් පසු නැවත ඒ අංකය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත්, දූරකථනය විසන්ධියි. (ලසන්ත පසුව කතා කරන්නට උත්සාහ කරද්දී වාදනය වූ පණිවිඩයේ තිබී ඇත්තේ ‘වැරදි අංකයක්’ යනුවෙන්.)

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර යහපාලන ආණ්ඩුවට එරෙහිව මුලින් ප්‍රසිද්ධ කළ ටොප් 10 ලැයිස්තුවේ තිබුණු දූෂණ චෝදනාවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලසන්ත රුහුණගේ කළ හෙළිදරව්. රවී කරුණානායකගේ බන්ධිත ගුදම්, සුරක්ෂා රක්ෂණයේ වංචා ඇතුළු එදා ආණ්ඩුවේ වංචා ගොඩක් ඔහු හෙළිදරව් කළා.

රාජපක්ෂ ආණ්ඩු සමහන්හිදී ඔහු කළ හෙළිදරව් ඇසුරෙන් පුත්‍ර සමාගම හා රාජපක්ෂ සමාගම යන නම්වලින් පොත් දෙකක් ඔහු ප්‍රසිද්ධ කළා.

රාජපක්ෂ පවුලට සම්බන්ධ සමාගම් ජාලය, ග්‍රෑන්ඩ් හයට් හෝටල ඇතුළු සමාගම් පිහිටුවමින් කළ මූල්‍යමය ගනුදෙනු විශාල ප්‍රමාණයක් පිළිබඳ, ශිරන්තිගේ සිරිලිය සවිය ගිණුම්, දිවිනැගුම මුදල් මැතිවරණයට පෙර ලබාගැනීම පිළිබඳ සිදුවීම, තාරුණ්‍යයට හෙටක් පිළිබඳ, විමල් වීරවංශගේ හැඳුනුම්පත් වංචාව, විමල්ගේ හෝමාගම මන්දිරය ආදී ලංකාවේ ප්‍රකටම දූෂණ වංචා සහ බලය අවභාවිත කිරීමේ සිදුවීම් ගැන හෙළි කළේ ඔහු. මත්පැනට එරෙහි බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දියණියට බාර් ලයිසන් තිබෙන බව හෙළිදරව් කළේත් ඔහු.

ලංකාවේ මූල්‍යමය වශයෙන් වැඩිම වටිනාකමක් ඇති ගනුදෙනු ගැන හෙළිදරව් කළේ ඔහු, ඒ වගේම විවිධ පුද්ගලයන්ට අයිති සැකසහිත සමාගම් ගැන වැඩිම මහා පරිමාණ හෙළිදරව් කර ඇත්තේ ඔහු. විශේෂයෙන් රාජපක්ෂ පවුල පිළිබඳ වැඩිම සංවේදී හෙළිදරව් සංඛ්‍යාවක් කළේ ඔහු.

ඔහු කළ ප්‍රකට හෙළිදරව් ගැන ලියා නිම කරන්නට මේ ඉඩ මදි නිසා තවදුරටත් ලියන්නේ නැහැ. කෙසේ වෙතත් දූෂිත බලවේගවලට මාධ්‍යවේදීන්ගෙන් තර්ජනයක් එල්ලවෙනවානම් අංක එකේ තර්ජනය එල්ල වන්නේ ඔහුගෙන්.

ලසන්ත රුහුණගේ කළ පැමිණිලි ලිපිය මෙහෙමයි,

‘සීඩී වික්‍රමරත්න මහතා

පොලිස්පති

ශ්‍රී ලංකා පොලීසිය

දිනුම් ඇදීමක් පිළිබඳ ව්‍යාජ දූරකථන ඇමතුමක් ගැන පරීක්ෂණයක් කරන ලෙසට දැනුම්දීම

අගෝස්තු 14 වැනිදා දහවල් 12.39ට පමණ මාගේ දූරකථන අංකයට 0741840442 යන දූරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණි. ඩයලොග් ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් අමතන බව කියමින් මගේ නම කියා ඇමතූ තැනැත්තියක් විමසා සිටියේ ඩයලොග් මෙගා වාසනා දිනුමක් මට හිමි වී ඇති බවත්, ලැබෙන දැනුම්දීම් නොබලන්නේදැයි අසන ලදී.

මා කීවේ ලැබෙන ඇමතුම් දැනුම්දීම් බලන බවත් එවැනි දැනුම්දීමක් නොදුටු බවත්ය. මා භාවිතා කරන්නේ මගේම දූරකථනයදැයි අසා ඔව් කී විට එය තහවුරු කිරීම සඳහා මගේ ජාතික හැඳුනුම්පත් අංකය විමසා සිටි අතර ඉන්පසු මාගේ රැකියාව කුමක්දැයි විමසා සිටින ලදී.

මා වර්තමානයේ අනිද්දා පුවත්පතේ සේවය කරන බව කීමෙන් පසු පසුව ඇමතුමක් ලබාදෙන බව පවසා දූරකථන සම්බන්ධතාව අවසන් කරන ලදී.

මෙම දූරකථන ඇමතුම පිළිබඳ විශාල සැකයක් ඇති වූ බැවින් ඉහත කී දූරකථන අංකය පිළිබඳව ඩයලොග් ආයතනයෙන් විමසීමක කළ අතර එය ව්‍යාජ ඇමතුමක් බව දැනගන්නට ලැබුණි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට දූරකථන ඇමතුමක් ලබා ගත්තේ දිනුම් ඇදීම් පිළිබඳ ව්‍යාජ තොරතුරු මිනිසුන්ට ලබා දී ඒ මගින් මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත පිරිසක් බව පැහැදිලිය.

එම නිසා මට හට එම ව්‍යාජ ඇමතුම ලබාදුන් ඉහත සඳහන් දූරකථන අංකය පිළිබඳ පරීක්ෂා කර මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පිවරක් ගන්නා ලෙස මේ මගින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. එසේම මේ පිළිබඳ මා වැඩිදුරටත් දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

ස්තූතියි.

ලසන්ත රුහුණගේ

නියෝජ්‍ය කතෘ

අනිද්දා පුවත්පත’

මීට පෙර තරිඳු උඩුවරගෙදරට පැමිණි ඇමතුම ගැන විස්තරය පහතින්,