පොලිස්පතිට අපි දාපු පැමිණිල්ල

පොලීසියෙන් කියා අපට ආ ඇමතුම ගැන පොලිස්පතිවරයා වෙත කරපු පැමිණිල්ල පහත දැක්වෙනවා.

‘2021-08-24

චන්දන වික්‍රමසිංහ,

පොලිස්පති,

ශ්‍රී ලංකා පොලීසිය.

පොලීසිය ලෙස පෙනී සිටිමින් සැක සහිත තොරතුරු විමසීමක් ගැන දැනුම් දීම

තරිඳු උඩුවරගෙදර වන මම ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමි. මීට පෙර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කළෙමි.

මම රාවය සහ අනිද්දා පුවත්පත්වල කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළෙමි. මේ වන විට ‘සටහන් රේඩියෝ’ නම් යූටියුබ් නාළිකාව සහ satahan.blog අඩවිය ප්‍රමුඛව අනෙකුත් සමාජ මාධ්‍යවල දේශපාලන මත පළ කරන මාධ්‍යවේදියෙක් වෙමි.

පොලීසිය ලෙස පෙනී සිටිමින් තොරතුරු ලබා ගැනීමක් පිළිබඳ මෙසේ සඳහන් කරමි. මෙලෙස තොරතුරු ලබා ගත්තේ කවුරුන්ද යන්න සැකසහිත නිසා ඒ පිළිබඳ සොයාබැලීමට සුදුසු ආයතනයක් වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටිමි.

අගෝස්තු 24 වැනිදා උදෑසන 9.13ට 0778475244  දූරකථනයෙන් මා වෙත ඇමතුමක් පැමිණි අතර කාන්තාවක් කතා කළාය.

තමන් පොලීසියෙන් බව හඳුන්වාදෙමින් එන්නත්කරණය සඳහා තොරතුරු අවශ්‍ය බව ඇය ප්‍රකාශ කළාය. සාමාන්‍යයෙන් දූරකථන ඇමතුම් පටිගත නොකරන නමුත් ඇය එලෙස තමන්ව හඳුන්වාදුන් පසු මම ඇමතුම පටිගත කිරීමට පටන් ගත්තෙමි.

එම ඇමතුමේදී ඇය තමන්ව කොළොන්නාව එම්ඕඑච් (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී) කාර්යාලය අනුබද්ධව සේවය කරන පොලිස් නිලධාරිනියක ලෙස හඳුන්වා දුන්නාය. ඇය ඉල්ලා සිටියේ මාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ස්ථීර ලිපිනය වේ.

එම ඇමතුම් විස්තරය මෙසේය.

දිනය – 2021-08-24

වෙලාව – උදෑසන 9.13

ඇමතුම් කාලය – විනාඩි 3

දූරකථන අංකය – 077 847 5244

හඳුන්වාදුන්නේ – නම සඳහන් නොකළ පොලිස් නිලධාරිනියක් ලෙස කතා කළ කාන්තාවක්

(මෙතැන් සිට එන්නේ ඇමතුමේ පටිගත කළ කොටස වන අතර ඊට පෙර ඇය පොලිස් කාන්තාවක ලෙසින් තමන් හඳුන්වා දී, එන්නත්කරණය සඳහා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළාය.)

කාන්තාව – ඔබතුමාගෙ ඒකට ඩීටේල් ටිකක් එකතු කරගන්න ඕන.

මම – හරි හරි. මට ඩීටේල් දෙන එක ප්‍රශ්නයක් නැහැ. මට පොඩ්ඩක් ආයතනය කියන්න පුළුවන්ද?

කාන්තාව – මම දැනට නම් ඉන්නේ කොළොන්නාව එම්ඕඑච් එකේ. ඒක වෙනුවෙන් තමයි. ඔව්.

මම – මොකද, මම.. ජර්නලිස්ට් කෙනෙක් නිසා.

කාන්තාව – පර්සනල් නම්බර් එකෙන් ගත්තේ ලෑන්ඩ්ලයින් එකේ පොඩි ට්‍රබල් එකක්. ඒ නිසා. අපට දවසකට කවර් කරන්න තියෙනවානෙ. ටාගට් එක. කවර් කරන්න තමා මම.

මම – හරි. ප්‍රශ්නයක් නැහැ. මම ජර්නලිස්ට් කෙනෙක් නිසා ඇහුවේ. මම කෑගහන්නෙ නෑ. කියන්නං. අහන්න ඕනෑ මොනවද. දැනගන්නයි ඇහුවේ. මොනවද? වැක්සීන් එක ගැහුවද කියන එකද?

කාන්තාව – ඔබතුමාගෙ නමයි, අයිඩී නම්බර් එකයි, පෞද්ගලික ලිපිනයයි දෙනවනම් ඇති මහත්තයා.

එයින් පසු සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ස්ථීර ලිපිනය ඉල්ලූ අතර එම තොරතුරු ලබා දුන්නෙමි.

සාමාන්‍යයෙන් සංවේදී පෞද්ගලික තොරතුරු නොදන්නා කෙනෙක් ඇමතූ පසු ලබා නොදෙන නමුත් වසංගතය පවතින මෙම කාලසීමාවේ සැබෑ ලෙසම එන්නත් ලබාදීමේ කාර්යක්ෂමතාව වෙනුවෙන් තොරතුරු එකතු කිරීමක් සිදු විය හැකි නිසාත් වත්මන් රජය මෙවැනි තොරතුරු එකතු කිරීමට සහ එන්නත් ලබාදීමට ආරක්ෂක අංශ මැදිහත් කරගන්නා නිසාත් එම කටයුතුවලට සහයෝගය දීමේ අරමුණෙන් තොරතුරු ලබා දුන්නෙමි.

මාධ්‍යවේදියෙකු වුවත් මෙලෙස තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලියකට හරස් ප්‍රශ්න විමසමින් අනවශ්‍ය බාධා නොකළ යුතු බව මම ඒ මොහොතේ කල්පනා කළෙමි.

ලබාදුන් තොරතුරු සාමාන්‍යයෙන් අප දූරකථන සමාගම්, වෙළඳ ආයතන, බැංකු, අන්තර්ජාල වෙළඳාම් ආදී බොහෝ ආයතනවලට ලබා දෙන ආකාරයේ රහසක් නොවන අනන්‍යතා තොරතුරු වන නිසා මෙලෙස ඉල්ලූ පසු ලබා දීමට පසුබට නොවීමි.

නොදන්නා දූරකථන අංකයකින් විමසූ පසු සංවේදී තොරතුරු ලබාදීම ආරක්ෂිත නොවන බව දැන සිටි නිසා ඉන් එහා ගිය අතිශය සංවේදී තොරතුරක් විමසුවහොත් තොරතුරු ලබා නොදී සිටීමටත් කල්පනා කළෙමි. එහෙත්, ඇය ඉල්ලා සිටියේ පෙර කී තොරතුරු පමණි.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු වැඩි ආරක්ෂාව සඳහා අපි කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ඇමතුමක් ගත්තෙමු. පොලීසිය යොදවා තොරතුරු එකතු කිරීමේ මෙහෙයුමක් තිබේදැයි විමසුවෙමු. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දැනුම් දුන්නේ එවැනි මෙහෙයුමක් නොමැති බවය.

ඒ නිසා මෙම සිදුවීම ගැන යම් සැකයක් ඇති විය.

ඉන් පසු දැනගැනීමට ලැබුණේ මාගේ පෞද්ගලික මිතුරෙකු සහ වෘත්තිය සගයෙකු වන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට 077-8475244 දූරකථන අංකයෙන් කාන්තාවක ඇමතුමක් ලබා දී මගේ දූරකථන අංකය විමසා ඇති බවය.

ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ නම ‘අමායා වික්‍රමසිංහ’ වන බවත් අඩයාලම නම් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන බවත්ය. (අඩයාලම නමින් ෆේස්බුක් ගෲප් එකක් හෙවත් සාමූහික එකමුතුවක් මෙන්ම ෆෙස්බුක් ගිණුමක් ක්‍රියාකාරීව පවතී. ඒවා පවත්වාගෙන යන්නේ බ්ලොග් රචකයෙකු වන අතර ඔහු මාගේ මිත්‍රයෙකි.)

ඒ අනුව පොලීසියෙන් බව කියමින් මා හට ඇමතුම ලබා දුන් දූරකථන අංකයත්, ‘අඩයාලම’ සහ ‘අමායා වික්‍රමසිංහ’ යන නම් සඳහන් කරමින් තරිඳු ජයවර්ධනට ඇමතුම් ලබා දුන් දූරකථන අංකයත් එකකි.

පොලීසියෙන් බව කියමින් මාගේ පෞද්ගලික තොරතුරු ලබාගත් කාන්තා කටහඬේ හිමිකාරිය ඊට පෙර තරිඳු ජයවර්ධන අමතා බ්ලොග් අඩවියක් ගැන බොරු තොරතුරු කියා මගේ දූරකථන අංකය ලබාගෙන ඇත. එමෙන්ම මා ඇමතූ අවස්ථාවේ කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සම්බන්ධයක් ඇතැයි බොරු කියා ඇත.

පොලීසිය හෝ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව ලෙස තමන්ව හඳුන්වාදෙමින් සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයන් මෙරට පුරවැසියන්ගේ තොරතුරු විමසූ සිදුවීම් කිහිපයක් මෑත දිනවල වාර්තා විය. මෙය එවැනි සිදුවීමක්දැයි සැකයක් ඇති විය.

ඒ අනුව මම උක්ත දූරකථන අංකයට අමතා කරුණු විමසන්නට උත්සාහ කළෙමි. එහෙත් හවස් වරුවේ සිට එම දූරකථන අංකය විසන්ධි කර ඇත. උදේ වරුවේ මෙරට පුරවැසියන්ට එන්නත් ලබාදීම වෙනුවෙන් කරුණු විමසා පෞද්ගලික දූරකථනයෙන් ඇමතුම් ලබාගත් ඇය, හැන්දෑවරුවේ දූරකථනය විසන්ධි කරන්නේ ඇයිදැයි සැකයක් ඇති වේ.

දැන් පෙනී යන්නේ වෙන්නේ එක්කෝ පොලීස් නිලධාරිනියක සාමාන්‍ය එන්නත්කරණ අරමුණක් නොව, වෙනත් අරමුණු මත උක්ත ලබාගෙන ඇති බවකි. එසේ නැත්නම් ශ්‍රී ලංකා පොලීසිය ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් වෙනත් කවුරුන් හෝ හැඳුනුම්පත් අංකය ආදී තොරතුරු ලබාගෙන ඇති බවකි.

මෙලෙස අනන්‍යතාව සඟවමින්, පොලීසිය යැයි සඳහන් කරමින් ඇමතුම් ලබා දීම සිතට වධ දෙන කාරණයක් විය. එවැන්නක් සඳහා වුවමනාවක් තිබෙන්නේ කාටද, මෙහි සැබෑ යටි අරමුණ කුමක්ද, මෙවැනි ඇමතුම් ලබා දුන්නේ නම් ඉදිරියේදී වෙනත් ආකාරයක තර්ජනාත්මක ක්‍රියාවක් සඳහා අවදානමක් තිබේද ආදී කාරණා සිතට වධ දෙයි.

එම නිසා මෙම තත්වය පිළිබඳ සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටිමි.

මේ ඇමතුමට තවත් අර්ධ සැක මතු වෙන සිදුවීම් පෙළක්ද සම්බන්ධය. මේ පිළිබඳ සොයා බැලීමකදී වැඩිදුර කරුණු සඳහන් කිරීමක් ලෙස ඒ පිළිබඳ මෙසේ සඳහන් කරමි.

තරිඳු ජයවර්ධනට ඇමතුමක් ලබා දී මා ගැන විමසා තිබුණේ ‘අඩයාලම’ නම් ෆේස්බුක් පිටුවක් ගැන සඳහන් කරමින් බව මම කලින් සඳහන් කළෙමි.

‘අඩයාලම’ නම් ෆේස්බුක් පිටුවකට ලියන බව සඳහන් කරමින් අපගේ ‘සටහන්’ නමින් ඇති ෆේස්බුක් පිටුවට මීට පෙර ‘Maya Wickramasinghe ‘ නම් ෆේස්බුක් ගිණුමකින් ෆේස්බුක් කෙටි පණිවිඩ ලැබී තිබුණි. (එහි ස්ක්‍රීන්ෂොට් ඇමුණුම් ලෙස ඇත.)

අපගේ බ්ලොග් අඩවියේ ලිපි ලියන්නේ කවුද? ආදී වශයෙන් එහි තොරතුරු විමසා තිබුණි. තමන් ‘අඩයාලම’ නම් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව එම ගිණුම හිමි තැනැත්තා/තැනැත්තිය එහිදී කියා තිබුණි.

ඊට අමතරව මාගේ පාසල් මිතුරෙකු වෙත ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යැවූ ‘Maya Wickramasinghe’ නම් ෆේස්බුක් ගිණුමේ හිමිකාරිය/හිමිකරු මිතුරාගෙන් මගේ විස්තර විමසා තිබුණි. ඒ බ්ලොග් අඩවියකට ලිපි ලබාගැනීම සඳහා බව කියමිනි.

කෙසේ වෙතත් එලෙස කෙටි පණිවිඩ එවූ ෆේස්බුක් ගිණුම සැබෑ පුද්ගලයෙකු සතු ගිණුමක් නොවන බව එය පරීක්ෂා කර බැලීමේදී හැඟෙයි. අනන්‍යතාව තහවුරු කළ හැකි ආකාරයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් එම ගිණුමේ නැත. ගිණුම හිමි පුද්ගලයාගේ ඡායාරූප නැත. වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක ලිපි ෂෙයා කිරීම් පමණක් ඇත.

‘අඩයාලම’ ෆේස්බුක් සමූහය පවත්වාගෙන යන ලක්මාල් කන්දෙවිදානගේ නම් මිතුරාට උක්ත සිදුවීම ගැන දැනුම් දී විස්තර විමසුවෙමි. ඔහු ප්‍රකාශ කළේ තමන් ‘Maya Wickramasinghe’ නම් කෙනෙකු නොදන්නා බවය.

මේ ගැන ‘Maya Wickramasinghe’ ගිණුමට ෆේස්බුක් පණිවිඩ යවමින් කරුණු විමසුවෙමු. තමන් කිසි කෙනෙකුට දූරකථන ඇමතුම් ලබා නොදුන් බවත්, ෆේස්බුක් පිටුවලට ලිපි ලබාගැනීම පමණක් කළ බවත් පිළිතුරු ලෙස පැවසීය.

මෙම සිදුවීම් පෙළ සාමාන්‍ය සිදුවීම් ලෙස පෙනී ගියත්, මා මාධ්‍යවේදියෙකු වන නිසා ඒ ගැන සැකසහිත හැඟීමක් ඇති වීම සාධාරණ බව ඔබ වටහාගනු ඇතැයි සිතමි.

මා මෙහි සඳහන් කළ තොරතුරු සලකා බලා නිසා මෙම කාරණය ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

මීට,

තරිඳු උඩුවරගෙදර

ජනමාධ්‍යවේදී.

ලිපියේ පිටපත් – මාධ්‍ය සංවිධාන එකමුතුව, ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.’