Forgotten

කොරියානු චිත්‍රපටියක් වන Forgotten 2017 වර්ෂයේ ලෝක සිනමාව තුළ තිරගත වූ හොඳම අබිරහස්, ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටියක් ලෙස සැලකිය හැකිය. කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක Jang Hang-jun විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක කර ඇත.චිත්‍රපටිය විචාරක අවධානය දිනාගන්නට මෙන්ම බොක්ස් ඔෆිස් වාර්තා තබන්නටද සමත් විය.

චිත්‍රපටයේ කතාව දිව යන්නේ පවුලක් වටාය. මෝටර් රියක ගමන්කරන Jin-seok  නම් යොවුන් තරුණයෙක් තමන්ගේ පවුල හඳුන්වාදෙමින් කතාව ආරම්භ කරයි.  මෝටර් රථයේ සිටින තමන්ගේ මව, Yoo-seok නම් ඔහුගේ සහෝදරයා සහ පියා ගැන කථක තරුණයා විසින් හඳුන්වා දෙයි. ඔවුන් නව නිවසකට ගමන් කරන බව ඔහු පවසයි.

නව නිවසට යන මේ පවුල කාමර බෙදාහදාගන්නා අතර නිවසේ එක් කාමරයක් පමණක් සම්පූර්ණයෙන් වසා දමා ඇති බව නිවසට යන ඔවුන්ට දැනගන්නට ලැබෙයි. ඒ කාමරයට කිසිසේත්ම ඇතුළු නොවෙන ලෙස පවුලේ අයට දැනුම්දෙනු ලබයි.

තරුණයාට නිවසේ වසා දමා ඇති කාමරයෙන් වරින් වර ශබ්ද ඇසෙන්නට පටන්ගනියි. එහෙත් පවුලේ අනෙක් අයට ඒ ශබ්ද ඇසෙන්නේ නැති බව පවුලේ අය පවසයි. ඔහුගේත් ප්‍රේක්ෂකයාගේත් කුතුහලය ඒ සමඟ වර්ධනය වෙයි.

ඒ සිදුවීම්වලින් දිනකට දෙකකට පසු තරුණයාගේ සහෝදරයා අතුරුදන් වෙයි. අතුරුදන්වූ  පසුව විමර්ශණය සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ හැසිරීමද කථකයාගේ සහ ප්‍රේක්ෂකයාගේ කුතුහලය වර්ධනය කරයි. දින 19 කට පසු අතුරුදන් වූ සහෝදරයා යළි පැමිණෙයි. එතැනින් පසුව කුතුහලය තවත් පැතිවලට දිවෙයි.

චිත්‍රපටිය නරඹන ප්‍රේක්ෂකයාගේ මෙන්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේද කුතුහලය චිත්‍රපටියේ ධාවන කාලය පුරාවටම වරින් වර විවිධ දිශාවන්ට රැගෙන යෑමට චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සමත්වෙයි. ප්‍රේක්ෂකයාගේ අනුමානයන් සියල්ල පුපුරුවා හරිමින් නොසිතූ අවසානයක් කරා චිත්‍රපටිය ගෙනයන්නට අධ්‍යක්ෂවරයා සමත්වෙයි. ඒ නිසාම චිත්‍රපටිය උච්ච අවස්ථා එකකින් නොව රැසකින් පිරි එකක් ලෙස හඳුනාගත හැකිය.

සිනමාවේ මේ යුගය තුළ කුතුහලයෙන් පිරි චිත්‍රපටියක් නිර්මාණය කිරීම විශාල අභියෝගයකි. Usual Suspects වැනි චිත්‍රපටියක් සැලකිල්ලට ගතහොත් එකල ප්‍රේක්ෂකයාට සැඟවී සිටින භයානක අපරාධකාරයෙකු වන කයිසර් සුසේ යනු ආබාධිත අහිංසකයෙකු ලෙස පෙනී සිටින වර්බල්ම බව හෙළිදරව් වන මොහොත ප්‍රේක්ෂකයාට අපූරු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් මේ වෙද්දී එවැනි චිත්‍රපටියක් නරඹන අයෙක් වර්බල් යනු කයිසර් සුසේ බව මුල සිටම අනුමාන කරන්නට ඉඩ ඇත. ඒ නිසාම මේ වෙද්දී The Loft වැනි සංකීර්ණ අබිරහස් චිත්‍රපටි නිර්මාණය වෙමින් පවතියි.

කතා ආකෘතිය තුළට කුතුහලය රැගෙන ඒම දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති යුගයක Forgotten චිත්‍රපටිය අපූරු කතාවක් ලෙස සැලකිය හැකිය.